IMG-LOGO

2024 මැයි මස 10 වන සිකුරාදා


මව්වරු මහ මඟට ඇද දමන නරුමයෝ

 

ලොව උත්තරීතරම පදවිය මාතෘත්වය වේ. දස මසක් පුරා අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් මහමෙරක් සේ දරා සිටිමින් දරුවෙක් බිහිකරන ඇගේ රුහිරු සුදුවන් කිරට හැරෙන්නේ ඇය සතු අපරිමිත දාරක ප්‍රේමය නිසාවෙනි. දිවා රාත්‍රී නොබලා නිදි වරමින් දරුවන් රැකබලා ගන්නේ ඇය සතු වූ අපරිමිත දාරක ප්‍රේමය නිසාවෙනි.


සමාජය හමුවේ නොයෙකුත් ගැහැට විඳිමින් සිය දරුවන් දෑස් මෙන් සුරකින්නේ ඇය සතු අපරිමිත දාරක ප්‍රේමය නිසාවෙනි. දරුවන්ගේ දුක් තමන්ගේ දුක් ගිනි කරගනිමින් ඔවුන්ගේ කුස පුරවා වතුරෙන් බඩගින්දර නිවාගන්නේ අපරිමිත වූ දාරක ප්‍රේමය නිසාවෙනි. ලොව කිසිවකට සමකළ නොහැකි එවන් වූ උත්තරීතර ප්‍රේමයක් හදවත දරා සිටින ඇය අම්මා ලෙස නම් දරන්නේ ඇයට කිසිවෙක් සමකළ නොහැකි නිසාවෙනි.


එවන් වූ ගැහැනිය වර්තමාන සමාජයේ සුරක්ෂිත වී ඇතිද යන්න ගැටලු සහගතය.


“තුන් කල් දකින්නී - සවියෙන් දිනන්නී” යන්න 2017 වසරේ මාර්තු 08 වැනි දිනට යෙදෙන කාන්තා දින තේමාව වේ. රජයේත් විවිධ වූ කාන්තා සංවිධානවලත් අපේක්ෂාව කාන්තාව සුරක්ෂිත කිරීමය. එහෙත් එය ප්‍රායෝගිකද යන්න ගැටලු සහගතය. පසුගිය දිනක දරුවන් හයදෙනෙකු මෙලොවට බිහිකළ ආදරණීය මවක් කැලෑවක තනිකර දමාගිය පුවතක් වර්තා විය.


තම කුසින් බිහිකර ලේ කිරි කර පොවා හදාවඩා ගත් දියණියගේ පා පහරකින් බැට කෑ මවකගේ දුක්බර පුවතක් ඊට දින කීපයකට පසු වාර්තා විය.


මෙවැනි සිදුවීම්වලට අමතරව සමාජයේ සැඟවී ඇති ඛේදනීය තත්ත්වයන් කොපමණ වේද? ඇතැම් මව්වරු බලු කූඩුවල සිරකර ඇත. ඇතැම් මව්වරු බස් නැවතුම්වල දමාගොස් ඇත. ඇතැම් මව්වරු මහලු මඩම්වල තනිකර ඇත. කුඩා කල දෑස් මෙන් රැකගනිමින් දහසකුත් ප්‍රාර්ථනා මධ්‍යයේ ඇති දැඩි කරනා දරුවන්ගේ පහරදීම්වලට ලක්වෙන මව්වරුන්ද එමටය. තම දරුවන්ගේම අතින් දූෂණයට ලක්වෙන මව්වරුද වෙති. බුදුන් වැඩිය ධර්මද්වීපයේ එබඳු ඛේදාන්ත සිදුවිය යුතුද?


දරුවන්ගේ දෑත් මත සැනසුම් සුසුම් හෙළිය යුතු මව්වරු එවැනි පීඩා විඳින්නේ කුමක් නිසා වෙන්ද?


“තොටිල්ල පදවන අත ලොව පාලනය කරයි යන්න” පැරණි කියමනකි. එහෙත් අද තොටිල්ලේ නැළවෙන්නා ලොව ආණ්ඩු කළද, තොටිල්ල නැළවූ අත මහපාරට වැටී සිඟමන් යදිනා යථාර්තයක් හිමිවී ඇති බව නොරහසකි.


ආදරය, කරුණාව, ආරක්ෂාව, පෝෂණය දරුවාට ලබාදෙන මව මහලු වූ විට දරුවෙකු බඳු වේ. “වැලට ගෙඩි බර නෑ” ලෙසින් මව දරුවා රැකගත්තද, ඔවුන් මහලු වූ පසු දරුවන්ට බරක් ලෙස දැනීම චින්තනයේ ඇති දුර්වලතාවකි. එම චින්තන දුර්වලතාවට හේතුව ධර්මතා බිඳවැටීමය. මුදල, තත්ත්වය, බලය ජීවිතය කරගන්නා තාරුණ්‍යය තමාට ජීවිතය දුන් මව්පියන් කරදරයක් ලෙස සලකන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය.


වැඩිහිටියන්ට සැලකීම, වැඩිහිටියන් ආරක්ෂා කිරීම යන මානුෂික ගුණාංග සිය දරුවන්ට කියා නොදෙන මෙවැනි මුග්ධයෝ තමන්ද යම් දිනක මහලු වයසට යන බව නොසිතති. එවන් වූවෝ තම දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ කුමන අභිමනක්ද? ඔවුනගේ දරුවන් සැබෑවටම ඔවුනට සලකාවිද? සිතිය යුතු යථාර්තය ගැඹුරුය. ජීවිතය චක්‍රයකි. ළදරුවකු, ළමයකු, ගැටවරයකු, තරුණයකු, වැඩිහිටියකු, මහල්ලකු යන සෑම තත්ත්වයක්ම සෑම අයෙකුටම පොදුය. කුමන හෝ දවසක තමා කළ යහපත් අයහපත් ක්‍රියාවන්වල ප්‍රතිඵල තමාද විඳිය යුතුය.


ස්වාමියාගේ ගැහැට හමුවෙත්, මහමඟදී සිදුවන තාඩන පීඩන හමුවේත්, කාර්යාලයේ සිදුවෙන කායික හා මානසික හිංසනයන් හමුවේන්, දරුවන්ගේ නොමනාකම් හමුවේත් පීඩනයට පත්වෙන ඇය සැබවින්ම ප්‍රචණ්ඩත්වයේ  ගිනිදළුවලින් දැවෙන්නීය.
2017 වසරේ 107 වැනි ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී ඇත. කාර්මීකරණයත් සමඟ ලෝකය තාක්ෂණික අතින් දියුණු වූවද කාන්තාවට හිමි අයිතීන් නොලැබුණි. ඇය කලක් වහල් වෙළඳාමේ දුක්ඛ දෝමනස්සයන්ට ලක් වූ අතර පසුකාලයේ අඩු වැටුපකට දිවා රාත්‍රී සේවා මුරවල යෙදෙමින් ශ්‍රමය මුදා හැරියාය. පහරදීමේ, පිළිස්සීම්, ලිංගික හිංසා යන සියලු අසාධාරණයන්ට ලක්වූ ඇයට ඡන්ද අයිතියවත් නොවූවාය.


එවන් වූ වාතාවරණයක සිටි ඇඟලුම් කම්හල් සේවිකාවන් පිරිසක් සිය සේවා කාලය පැය 10ට සීමාකර දෙන ලෙස ඉල්ලමින් නිව් යෝර්ක් නුවර වීදි දිගේ උද්ඝෝෂණ කළහ. ඒ 1908 වසරේ මාර්තු 08වැනි දිනය. එම සිදුවීමෙන් පසු ක්ලාරා සෙට්ෂින් නම් සමාජවාදී නායිකාව කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නගන්නට පටන් ගත්තාය. එහි ප්‍රතිඵලය ලෙස 1909 අන්තර් ජාතික කාන්තා දිනය පිළිබඳව අදහස කතිකාවට ලක් වූවාය. 1910 ඩෙන්මාර්කයේ අගනුවර කෝපන්හේගන් නුවරට රැස්වූ සමාජවාදීහු මාර්තු 08 ලෝක කාන්තා දිනය ලෙස නම් කළහ.


මෙම කාන්තා දිනයේ අරමුණ වූයේ කාන්තා අයිතීන් හා කාන්තා අභිවෘද්ධිය සුරක්ෂිත කිරීමය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇරඹි කාන්තා දිනයේ 107 වැන්න සැමරීමට රජය කටයුතු කරමින් සිටී.


සැබැවින්ම දිනයකට පමණක් සීමා වී ඇති කාන්තා දිනය කෙතරම් ප්‍රායෝගිකද? යන්න ගැටලු සහගතය. එනම් අද ලාංකීය සමාජයේ ස්ත්‍රී ජනගහනය සියයට 52කි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා යන ස්ත්‍රී ජනගහනය වැඩිවුවද සේවා නියුක්තිය අතින් ස්ත්‍රී සහභාගීත්වය අඩුය. විශේෂයෙන්ම පරිපාලන අංශවලට සුදුසුකම්ලාභී කාන්තාවන්ටද අදාළ තත්ත්වයන් හිමි නොවීම ඛේදනීයය. මෙවැනි වාතාවරණයකදී උසස් අධ්‍යාපනය ලැබූ බොහෝ කාන්තාවන් අඩු වැටුපට පෞද්ගලික ආයතනවල සේවය කරන බව පෙනී යයි.


කාන්තා නිදහස, කාන්තා අයිතීන් පිළිබඳ කුමන ආකාරයේ හඬක් නැගුවද විවිධ ස්ථරවල සිටින කාන්තාවෝ ගෘහ ප්‍රචණ්ඩත්වයට ලක්වන්නේත්, විවිධ කායික මානසික  හා ලිංගික හිංසනයන්ට පත්වන්නේත් මෙම සමාජ අසාධාරණය නිසාවෙනි.


කලක් ස්වාමියා යටතේ පීඩාවිඳින කාන්තාව තවත් කලක දරුවන් යටතේ පීඩා විඳින්නේ ඇයට ලැබිය යුතු ගෞරවය හා තත්ත්වය පවුල හා සමාජය තුළදී නොලැබීම හේතුවෙනි. සමාජ විද්‍යාත්මකව බලන කල මෙය පවුල් සංස්ථාව දෙදරා යාමට හේතුපාදක වෙන ගැටලුවක් වන අතර සමාජ ප්‍රශ්න රාශියක් ඇති කරන්නකි. එනම් ගණිකා නිවාස, මහලු මඩම්, සිඟාකන රැකියාවල නිරතවීම ආදී සමාජ ප්‍රශ්න රාශියක් මින් නිර්මාණය වන අතර සමාජ සාරධර්ම බිඳවැටීමක්ද සිදුවේ. කාන්තාවගේ මෙම අස්ථාවර ජීවන චක්‍රය පිළිබඳව තවදුරටත් විස්තර දැක්වීමට පේරාදෙණිය සරසවියේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය දයා අමරසේකර මහතා සම්බන්ධ කර ගත්තෙමු.


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්ය දයා අමරසේකර මහතා,
“කාන්තාව දිහා අපිට විවිධ මානයන්ගෙන් බැලිය හැකියි. ඇය විටෙක දැරියක් ලෙසත්, තවත් විටෙක තරුණියක් හැටියටත්, තවත් විටෙක අම්මා කෙනෙක් හැටියටත්, ඉන් පසු අත්තම්මා කෙනෙක් හැටියටත් ජීවිතයේ විවිධ භූමිකා පසුකරනවා. මේ අය දෙස බලන විට අපිට පැහැදිලිව පෙනෙන ගැටලු රාශියක් තිබෙනවා.


එක් පැත්තකින් කාන්තා ශ්‍රමය සුරා කෑම සිදුවෙනවා. තවත් පැත්තකින් කාන්තාවන්ට විවිධ වධබන්ධනවලට ලක්වීමට සිදුවෙනවා. ඔවුන්ව ගෘහස්ථ පීඩනයන්ට ලක්වෙනවා. කුඩා දැරියන්ගේ සිටම අනාරක්ෂිතභාවයක් දක්නට ලැබෙනවා. විවිධ කාමාතුරයන්ගේ අසම්මත ආශාවන් පිරිමසා ගැනීමට ඔවු න්ව භාවිත කරනවා. ඊට හේතුව දැරියන්ට අවශ්‍ය ආදරය රැකවරණය අහිමිවීම. මව්පියන් අහිමිවීම, මව්පියන් වෙන්වීම, පවුලේ අසමගිය, මව්වරු විදෙස්ගතවීම යන සිදුවීම් ඊට බලපානවා. පෙර පාසල් අවධියේ සිටම ඔවුන් අනාරක්ෂිතයි.


තවත් පැත්තකින් තරුණියන්ට නවීකරණ සමාජය තුළ තරුණයන්ට හා සමාන වෘත්තීය තත්ත්වයන් නිර්මාණය වෙලා තිබෙනවා. පාසල, විශ්වවිද්‍යාලය තුළ වැඩි ප්‍රතිශතයක් ඉන්නේ තරුණියන්. ඔවුන් අධ්‍යාපනික වශයෙන් බොහොම ඉහළට ඇවිත් තිබෙනවා. එක පැත්තකින් ඒ ආකාරයට ඉහළට ආවත් ඒ නිසාම ඔවුනට අකටයුතුකම් රාශියක් නිර්මාණය වෙලා තිබෙනවා. රැකියාවක් ලබාගැනීම සඳහා වූ සම්මුඛ පරීක්ෂණවලදී, රැකියාවක් ලබාගැනීමට යාමේදී උසස්වීම් ලබාගැනීමේදී වැනි අවස්ථාවලදී ඉහළ නිලධරීන් අතින් විවිධ අකටයුතුකම් සිදුවෙනවා.


මව්වරු පිළිබඳව නිර්මාණය වී ඇති ඛේදවාචකය වෙන්නේ දරුවන් සිටියදීම මව්වරු අනාරක්ෂිත වීම. එනම් දරුවන්ගෙන් ලැබිය යුතු මානසික හා ශරීරික ආරක්ෂිතභාවය ඔවුනට ලැබෙන්නේ නෑ. දරුවන් ඔවුන්ගේ ජීවිත පෞද්ගලිකව ගත කරන අතර මෑණිවරු හුදකලා වෙලා. දරුවන්ගේ අසාධාරණකම්වලට ලක්වෙලා ජීවත්වෙනවා. සමහර මිත්තණියන් වැඩිහිටි නිවාසවල ජීවත් වෙනවා. තවත් සමහරු විශ්‍රාමික නිවාසවල ජීවත් වෙනවා. සමහරු මහමඟ දමා යනවා. සමහරුන්ට ආහාර පාන නොදී නොයෙකුත් වධබන්ධන පමුණුවනවා. එවැනි අය හුදකලාව පීඩා විඳිනවා.


ඇයි මේ වගේ තත්ත්වයක් මේ සමාජයේ ඇති වුණේ කියන එක අපි විමසා බැලිය යුතුයි.


සාපේක්ෂ සාරධර්ම හා නිරපේක්ෂ සාරධර්ම ලෙස සාරධර්ම කොටස් දෙකක් වෙනවා. සාපේක්ෂ සාරධර්ම රටින් රටට සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙනවා. නිරපේක්ෂ සාරධර්ම සියලු දෙනාටම පොදු වූ ඒවා. නිරපේක්ෂ සාරධර්මයන් වැඩිහිටියන්ට සැලකීම, ස්ත්‍රිය ආරක්ෂා කිරීම. ඒත් අද සමාජය තුළ එම සාරධර්ම පරිහානියට ගිහිල්ලා.


මීට බලපාන ප්‍රධාන හේතුවක් වෙන්නේ සාරධර්ම ජීවිතයට සම්බන්ධ කරගන්නා ප්‍රධාන මාර්ග වෙනස්වීම. පවුල කියන ආයතනය අතීතයේ පරම්පරා තුනක එකතුවක්. කුඩා දරුවන් වැඩිහිටියන්ගේ ආරක්ෂාව මත හැදුනා. ඔවුන් සමාජානුයෝජනය වුණේ වැඩිහිටි උපදෙස් මත. නාගරීකරණය නිසා ඒ පවුල් පසුබිම වෙනස් වෙලා. මව්පියන් හා දරුවන් පමණක් තරගකාරී සමාජයට මුහුණ දෙනවා. පහේ ශිෂ්‍යත්වයේ සිට උසස් පෙළ දක්වා තරගයක් තිබෙන්නේ. ඔවුන් ජනප්‍රිය පාසල් ලබාගන්න, විශ්වවිද්‍යාලයට යන්න යන තරගකාරී මාර්ග ඔස්සේ දුවන කොට සාරධර්ම පැත්ත ගිලිහිලා ගිහින් තිබෙනවා. ඉන් දරුවන් සහ මව්පියන් අතර තිබිය යුතු සදාචාරාත්මක බැඳීම විපරීතවෙලා තිබෙනවා. අම්මා කියන චරිතය දෙස බලන්නේ පූජනීයත්වයකින් නෙවෙයි.


බුදුහාමුදුරුවෝ තමාට සමාන කළ එකම චරිතය අම්මා. අධ්‍යාපන තරගය නිසා ඒ උත්තරීතර මාතෘත්වය පිළිබඳ චින්තනය දරුවන්ගේ හිත්වලින් දුරස් වෙලා තිබෙනවා. තරගකාරී අධ්‍යාපනය පසුපස දුවන දරුවෝ බොහෝ වැරදි කරන්නේ අම්මා කියන චරිතයට ඇතිවන චිත්ත පීඩාවන් ගැන නොසිතා. මුහුණු පොත හරහා පසුගිය කාලයේ බොහෝ ඛේදවාචක සිදුවුණා. ඒ වගේම අද ඉන්න බොහෝ තරුණ තරුණියන් තාක්ෂණයත් එක්කයි වැඩි සබඳතා පවත්වන්නේ. ගෙදර පරිසරයෙන් ඔවුන් දුරස්වෙලා තිබෙනවා. ලොකු මිනිහෙක් වෙන්න උත්සාහ ගන්නවා මිස හොඳ මිනිසෙක් වෙන්න උත්සහ ගන්නේ නෑ. මව්පියෝ ඊට අවශ්‍ය මාර්ගය සලසලා දෙන්නෙත් නෑ. 


අද උගත් දරුවෝ වෙනත් රටවල ජීවත්වෙනවා. ඔවුන්ගේ මව්වරු විශ්‍රාමික නිවාසලව ජීවත් වෙනවා. එම මව්වරුන්ට භෞතික සැප සම්පත් ලැබෙනවා. ඒත් දරුවන්ගෙන් ලැබිය යුතු ආදරය ලැබෙන්නේ නෑ. මුනුබුරන් සමඟ ආදරයෙන් කාලය ගතකරන්න ලැබෙන්නේ නෑ. ජීවිත කාලයම දරුවෝ වෙනුවෙන් වෙහෙසුන ඔවුන් චිත්ත පීඩාවෙනුයි පසුවෙන්නේ.


මෙවැනි මව්වරුන්ගේ දරුවෝ සියලු සැප සම්පත් ලබාගත්තේ අම්මා නිසානේ කියලා පිළිගන්න සූදානම් නෑ. එය ශෝචනීය තත්ත්වයක්. තවත් අම්මාවරු දරුවන්ගේ දරුවන් වෙනුවෙන් මෙහෙකාරියන් බවට පත්වෙලා. උදේ සවස බෙහෙත් බිබී මුනුබුරන් වෙනුවෙන් ජීවිත කාලය ගෙවා දමනවා. ඔවුන්ට මානසික සතුටක් නෑ. චිත්ත පීඩවෙනුයි පසුවෙන්නේ.


අද විශාල වශයෙන් ටෙලි නාට්‍ය ලෝකයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒවා බොහොමයක් පවුල කියන ආයතනය බිඳවැටුණු, කෘත්‍රිම ලෝකවල එකිනෙකා ජීවත්වෙන ඒවා. ඒ නාට්‍යවලට මිනිස්සු කැමැතියි. ඒවා මිනිස් සිත් බොහොම ඉක්මණින් වැලඳගන්නවා. ඒවායේ ස්ත්‍රීත්වය හෑල්ලුවට ලක්කරනවා. ඔවුන් ඕනෑම තැනකට ගෙනයන්න පුළුවන් ඕනෑම දෙයක් කරගන්න පුළුවන් පිරිසක් හැටියටයි හඳුන්වලා දෙන්නේ. ඒ තුළිනුත් මිනිසා තුළ ගොඩනැගෙන්නේ කාන්තාවන්ට අහිතකර පුරුෂාර්ථයන්. එවැනි සමාජයකයි අද කාන්තාව පීඩනයට පත්වෙන්නේ. 


ඒ වගේම ඇතැම් අවස්ථාවල සමහර මව්වරු තරුණ දරුවන්ගේ ලෝකය තේරුම්ගන්නේ නෑ. ඔවුන්ගේ ආදරය, විවාහය ඔවුනට රුචි පරිදි සිදුකරගන්න දෙන්නේ නෑ. නොයෙකුත් බලපෑම් කරනවා. විවාහයෙන් පසුත් විවිධ බලපෑම් කරනවා. එවැනි තත්ත්වයන් තුළදී ඇතිවෙන වාචික හා මානසික ගැටුම්ද දරුවන් මව්වරුන්ගෙන් ඈත්වීමට හේතු පාදක කරගන්නවා.


ළඟදී බසයක වමනය දැමූ ගැබිනි          මාතාවකට කියලා මුළු බසයම හෝදවලා තිබෙනවා. අපි අනුකම්පා කළ යුතු, ආරක්ෂා කළ යුතු පුද්ගලයෙක් ඇය. ඒත් ඇයි සමාජය මෙතරම් සාරධර්ම පිරිහුණ තත්ත්වයකට පත්වුණේ. හේතුව විකෘතිය ප්‍රකෘතිය බවට පත්වීම.
මෙවැනි තත්ත්වයන් වළක්වාගන්න සිදුවීම් උද්දීපනය කිරීම පමණක් හේතු පාදක වෙන්නේ නෑ. අද ජනප්‍රිය බුදු දහම පුද පූජාවලට මුල්තැනදීලා තිබෙනවා. ඒත් විය යුත්තේ එය නොවෙයි. සාරධර්ම කියන දේවල් කුඩා කාලයේ සිටම දරුවාට කියාදිය යුතුයි.

වැඩිහිටියන් ඊට ආදර්ශ සැපයිය යුතුයි. මාතෘත්වය පිළිබඳව ගෞරවයක් ඇති කළයුතුයි. ඒ සඳහා හොඳ දැනුම්වත්වීමක් තරුණ දූ පුතුන්ට ලබාදිය යුතුයි. පවුල තුළ සංවේදී සබඳතා ඇති කළ යුතුයි. මව්පියන් දරුවන්ට දැනෙන්න ආදරය කළ යුතුයි. තරගකාරී අධ්‍යාපනයටම තල්ලු නොකර හොඳ ගුණධර්ම දරුවාගේ ජීවිතයට කියාදිය යුතුයි. ඒ වගේම රාජ්‍ය අංශයේ රැකියා කරන තරුණියන්ගේ ආරක්ෂාව පිළිබඳව කාර්යාලයීය මට්ටමෙන් නිසි පියවර ගත යුතුයි. සමාජීය වශයෙන් කාන්තාව ආරක්ෂා කරන පසුබිමක් නිර්මාණය කළ යුතුයි. මීට අවශ්‍යවන්නේ ආකල්ප සංවර්ධනය. ඒ මුළු සමාජ පද්ධතියම ඊට අනුගත විය යුතුයි.

සටහන කුමාරි හේරත්

 



අදහස් (0)

මව්වරු මහ මඟට ඇද දමන නරුමයෝ

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 4112 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 64 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1523 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 496 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 176 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 288 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 588 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2079 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1820 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site