IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය

අනුෂා ගෝකුළ ප්‍රනාන්දු

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන්  කොටු වී  සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා පිළිබඳව ලෝකයට පෙන්වා දීමේ අවස්ථාව ගිලිහී යන්නේය. උගත්කමින්, අත්දැකීම්වලින් සුපෝෂණය කරමින් ඇය තමාගේ හැම භූමිකාවකටම එක ලෙස සාධාරණය ඉටු කරන්නේ විඩාව ගැන මැසිවිලි නඟන්නේ නැතිවය. වරක් අසාර්ථක වුවත්  එයම සාර්ථකත්වයට මඟක් ලෙස හැඳිනගන්නට ඇයට පුළුවන.  සත්තකින්ම එසේ කළ හැක්කේ ගැහැනියටම පමණක් නොවේද..? 


අනුෂා ගෝකුළ ප්‍රනාන්දු නමැති රාජ්‍ය නිලධාරිනිය ඒ සත්‍යය ප්‍රබල සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වා තිබේ. 


මේ වෙන විට ඇය ධීවර අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියකි. එහෙත් මා මුලින්ම ඇය හැඳිනගත්තේ ග්‍රන්ථ කර්තෘවරියක ලෙසිනි. ඇය මේ වෙන විට පොත් හැටක් පමණ ලියා ඇත්තීය. නැටුම්, විද්‍යාව වැනි විෂයානුබද්ධ පොත්, නිර්මාණාත්මක ග්‍රන්ථ, කවි පොත් ඒ අතර තිබේ. ඇය ගීත රචිකාවකි. ඇය ලියූ ගීත විසිපහකට ආසන්න ප්‍රමාණයක් ජනප්‍රිය ගායක-ගායිකාවෝ ගායනා කරති. ඇය  සමාජ පර්‌යේෂිකාවකි. විවිධ විෂයයන් ඔස්සේ මේ වෙන විටත් ඇය පර්‌යේෂණ පනහක් පමණ කර ඇත. ගම්මාන දහනවයක් පුරා කරන ලද පර්‌යේෂණ තතු උපයෝගී කරගෙන ඇය විසින් ලියන ලද සොකරි නාඩගම පිළිබඳ පර්‌යේෂණ ග්‍රන්ථය අපේ පැරණි නාට්‍ය සම්ප්‍රදායන් හදාරන්නන්ට මහඟු‍ අත්වැලකි. එමතුදු නොව ඇය දයාබර බිරිඳකි. තිදරු මාතාවකි. 


“වැඩියෙන් කැමති කවුරු විදියට අඳුන්වනවට ද..?”


මා ඇසූ විට ඇය පියකරු සිනාවක් පෑවාය. 


“මගේ නමින්ම හඳුන්වනවට.. මීට අවුරුදු ගණනාවකට කලින් ඔය ප්‍රශ්නෙ ඇහුවා නම් මම තනතුරින් මාව අඳුන්වන්න තිබ්බා.. ඒත් දැන් මම දන්නවා අපිට යම් තනතුරක්  ලැබුණම අපෙන් තනතුර බබළවනවා මිසක් තනතුරෙන් අපි බැබළෙන්න ඕනැ නෑ කියලා.. මම හැම වෙලාවෙම උත්සාහ කරන්නෙ මගෙන් ඉටු විය යුතු සේවය නිසියාකාරව ඉෂ්ට කරන්න විතරයි..” ඇය කීවාය. 


“මෙච්චර දේවල් කරන්න කාලෙ හොයාගන්නෙ කොහොමද..?” මට දැන ගන්නට වුවමනා වූයේය. 


“මගෙ තාත්තයි අම්මයි ගුරුවරු.. ඒ දෙන්නා බාහිර වැඩ ගොඩක් කෙරුවා.. පුංචි කාලේ ඉඳලම කාලය කළමනාකරණය කරගෙන පැය හැත්තෑ දෙකක වැඩ පැය විසිහතරෙන් කරන හැටි මට ඉගැන්නුවේ මගේ තාත්තා.. හරියට සැලසුම් කර ගත්තොත් අපිට ඕනෑම දෙයක් කරන්න කාලය තියෙනවා..” 


සැබැවින්ම කුඩා වියේ සිටම ඇය අපූරු චරිතයකි. අම්මාත් තාත්තාත් ගුරුවරුන් බැවින් පාසල් කිහිපයකම ඉගෙන ගන්නට ඇයට සිදුවිය. විද්‍යා අංශයෙන් ඉගෙනුම ලැබුවත් ඇගේ අම්මා ගෙදරම කලායතනයක් පවත්වාගෙන ගිය බැවින් ඇය නැටුම් හා සංගීත විෂයයන් ද හැදෑරුවාය. ගාන්ධර්ව අවසන් විභාගයෙන් සමත් වෙන්නට ද ඇයට හැකි විණි. නැටුම් ගුරුවරියක ලෙස පත් වීමක් ලැබුණත් ඇය එය බාර ගත්තේ නැත. 


පින්නවල මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වූ ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම අංශයට ඇතුළත් වූවාය. එහෙත් එහි නවකවදය කෙරෙහි කලකිරුණ ඇය ඉන් ඉවත් වී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ජීව විද්‍යා අංශයෙන් උපාධිය ලබා ගත්තාය. ටික කාලයක් පෞද්ගලික පාසලක ගණිතය හා විද්‍යාව ඉගැන්නුවත් තමාට ඊට වඩා පුළුල් පරාසයක සේවය කරන්නට හැකි බැව් ඇයට වැටහිණි. ඇය පරිපාලන සේවා විභාගයට පෙනී සිටියේ එම නිසාය. ඒ වාරයේ එම විභාගයට අයැදුම්කරුවන් විසිදාහක් පමණ පෙනී සිටි අතර ඉන් තෝරා ගනු ලැබුවේ එකසිය හතළිස් හතරකි. අනුෂාත් ඒ අතර සිටියාය. 


ඇය පරිපාලන සේවයට ඇතුළත් වූයේ 2000 වසරේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂවරියක ලෙසිනි. නවක නිලධාරිනියක් වූ ඇය හැම දෙයක් දෙසම විමසුම් ඇසින් බලමින් හැම විටම අලු‍ත් යම් ඉගෙන 


ගැනීමේ උද්​යෝගයෙන් පසු වූවාය. 


දිනක් ඈත පළාතක ගුරුවරයෙකු ඇය වෙතට යොමු කරනු ලැබ තිබුණේ ඔහුගේ ණය මුදලක් සම්බන්ධ ගැටලුවක් නිරාකරණය කරනු පිණිසය. ඇය ඉදිරියට පැමිණි විගසම ඔහු මහ හඬින් බැණවදින්නට පටන් ගත්තේය. 


“මේ මනුස්සයා බැණගෙන බැණගෙන යනවා.. මට එයාගෙ ගැටලුව ගැන කිසිම දෙයක් තේරුම් ගන්න බෑ.. මම අලු‍ත් කෙනෙක්.. ණය මුදල් සම්බන්ධ ක්‍රියා පටිපාටිය ගැන මම කිසිම දෙයක් දැනගෙන  හිටියෙ නෑ.. ඒ මදිවට මෙයා බණිනවා හරියට මගෙන් ලොකු වරදක් වෙලා වගේ.. කාර්යාලයේ හැමෝමත් පුදුම වෙලා බලාගෙන ඉන්නවා.. මම විෂය භාර නිලධාරි ගෙන්නලා ගැටලුව විශ්ලේෂණය කරලා බලනකොට තේරුණා ඒ ණය මුදල අනුමත කරන්න බැරි හේතු තියෙනවා කියලා.. ඒකට තිබුණෙ වෙන විකල්පයක්.. පස්සෙ මම ඔහුට සන්සුන් වෙන්න කියලා බොහොම කරුණාවෙන් ඒක පහදලා දුන්නා..” අනුෂා කීවාය.  


ඇය එය මොන තරම් සිත් කාවදින ලෙස පැහැදිලි කළේ ද යත් ගුරුවරයාගේ ඇස්වලට කඳුළු පිරිණි. අවුරුදු හතළිස් පහක් පමණ වයසැති ඔහු මේසය වටෙන් පැමිණ මේ ළාබාල නිලධාරිනියට දණ ගසා වැන්දේය. කලබල වූ ඇය වහා නැගී සිටියාය. 


“මම  හිතේ ආවේගෙට කෑ ගැහුවට මට සමාවෙන්න මැඩම්. මම පොළොන්නරුව පළාතෙ කෙනෙක්.මේ ණය මුදල ගැන කාරණාවට දවස් හතළිස් දෙකක් රස්තියාදු වෙන්න වුණා. අතනින් මෙතෙන්ට යන්න කියනවා. මෙතනින් අතෙන්ට යන්න කියනවා. අන්තිම විකල්පේ විදිහට තමයි මෙහාට ආවේ. මගෙ වැඩේ නොවුණත් කමක් නෑ, මැඩම් වගේ කවුරු හරි මේ විදියට පැහැදිලි කරලා දුන්නා නම් මට මෙච්චර රස්තියාදු නොවී ඒ දවස් හතළිස් දෙක මගේ ඉස්කෝලේ ළමයින්ට උගන්නන්න තිබ්බා” 


අනුෂා ගල්ගැසී බලා සිටියදී ඔහු කියාගෙන ගියේ දුක්මුසු හඬිනි. 


ඇය රාජ්‍ය සේවය පිළිබඳ මුල්ම මෙන්ම බැරෑරුම් ම පාඩම් දෙක උගත්තේ එදාය. පළමු පාඩම නොසන්සුන් පුද්ගලයන් හමුවේ උපාය මාර්ගිකව කටයුතු කිරීමය. දෙවැනි පාඩම සිය සේවය බලාපොරොත්තුවෙන් එන කිසිම කෙනෙකු කිසිම දිනෙක රස්තියාදු නොකිරීමය. 


“අපි කාව හරි එහෙම රස්තියාදු කරවනවා කියන්නෙ ඒ මනුස්සයගෙ වැදගත් කාලේ නාස්ති කරනවා කියන එක. ඒකෙන්  තවත් අයට අයහපතක් වෙන්න පුළුවන්. ඒ හින්දා මම කවදාවත් ඒක කරන්නෙ නෑ. මට අවසාන කරන්නට තියෙන ලිපි ගොනු එදාම අවසාන කරලා මිසක් මම කවදාවත් කාර්යාලයෙන් පිට වෙන්නෙ නෑ.මම දැන් රාජ්‍ය සේවයේ අවුරුදු විසි තුනක්. මේ විසිතුන් අවුරුද්දටම මම කෙටි නිවාඩු අරගෙන නෑ. මට හිමි නිවාඩු අරගෙන තියෙන්නෙත් ඉතාම අඩුවෙන්.”  ඇය කියන්නේ තෘප්තියෙනි. 


“ඉතින් එතකොට තමන්ගෙ පවුල වෙනුවෙන් කරන්න ඕනැ යුතුකම් වගකීම් මඟ හැරෙන්නෙ නැද්ද.?”  මම කුතුහලයෙන් විමසීමි.


“නැත්තෙ නෑ. මඟ ඇරෙනවා. ඒත් මම පවුලට විතරක් නෙවෙයි රටේම ජනතාව වෙනුවෙන් කැප වෙන්න ඕනැ කියන එක සැමියා වගේම දරුවොත් තේරුම් අරගෙන ඉන්නෙ. එහෙම වැටහීමක් නැති පවුලක හිටියා නම් මට මෙච්චර දේවල් කරන්න බැරි වෙන්න තිබුණා. මම විවාහ වුණේ අවුරුදු විසි දෙකෙන්. විශ්වවිද්‍යාලයට යනකොටත් විවාහක කාන්තාවක්. පිට වෙනකොට ලොකු දුව කුස දරාගෙන හිටියෙ. පරිපාලන සේවා විභාගයෙන් සමත් වෙනකොට දෙවෙනි පුතා කුසේ. ඒත් ඒ කිසිම දෙයක් මගේ ගමනට හරස් වුණේ නෑ. මගේ සැමියා මං ගැන අධිකතර විශ්වාසයක් තියෙන කෙනෙක්.  මම රෑ කීයට ගෙදර ආවත් මං එනකම් ඇහැරලා ඉන්න තරම් ඔහු දයාබරයි. අද මගෙ දුව වෛද්‍යවරියක්. ඒ වගේම ඇය ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායිකාවක්. දෙවෙනි පුතත් රැකියාවක් කරනවා. තුන් වෙනි පුතා තවම ඉගෙන ගන්නවා. මගෙ අතින් ගෙදර වැඩ මඟ ඇරුණත් මම පවුල එක්ක තියෙන බැඳීම රැක ගන්නවා.”  ඇය පැවසුවාය. 


ඇය අපේ සොඳුරු පවුල තේමාව යටතේ පොත් දොළහක් ලියා තිබේ.  පවුලක බැඳීම රැකගන්නා ආකාරය ඒවායේ විස්තර වී තිබේ. ඇය විසින් රචිත ‘ලේ කිරි කඳුළු’ අවුරුදු දහයක රාජ්‍ය සේවයේදී ඇය ලද අමතක නොවන අත්දැකීම්වලින් සමන්විතය. ඇය ඒ පොත ලේ කිරි කඳුළු යනුවෙන් නම් කර ඇත්තේ එහි සඳහන් වෙන ඉතාම සංවේදී අත්දැකීම පදනම් කරගෙනය. 


ඇගේ බාල පුතු බිලිඳු සමයේදී අනුෂා ඉතා කාර්යබහුල නිලධාරිනියක් වූවාය. ඔහු පිටිකිරිවලට හුරු වූයේ නැත. සේවයට වාර්තා කළ යුතුම බැවින් ඇය සේවයට ගියේ ඔහු වෙනුවෙන් කිරි දොවා බෝතල්වලට දමා තබමිනි. එහෙත් ඉක්මන් බඩගිනි කාරයෙකු වූ පුතා, දවසේ කිරි වරුවෙන් අවසන් කරන්නේය. ඇය සවස නිවසට එද්දී සිටින්නේ කුසගින්නෙන් හඬා හෙම්බත් වූ දරුවෙකි. එය මව් හදවතකට දරා ගත හැකි වේදනාවක් නොවේ.


“ඉස්සරහ ගෙදර හිටිය බාලන් මල්ලිගෙ නෝනටත් දරුවෙක් ලැබිලා තිබුණා. අපේ පුතාට වැඩිය දවස් ගණනක් ඒ දුව වැඩිමල්. මම එනකම් මගේ පුතාට කිරි ටිකක් දෙන්න පුළුවන් ද කියලා මම ඒ නංගිගෙන් අහන්න හිත හදා ගත්තේ වෙන කරන්නම දෙයක් නැති හින්දා. ඇය ඉතාම කැමැත්තෙන් ඒ ඉල්ලීම පිළිගත්තා. එච්චර විතරක් නෙමෙයි, ඇය හිතුවේ ඒක තමන්ට කරපු ගෞරවයක් කියලා.  ඇත්තටම ඒ දුවටත් වැඩිය ඇගෙන් කිරි බිව්වේ මගේ පුතා.අදටත් ඒ අය එක්ක තියෙන්නෙ පුදුමාකාර බැඳීමක්.  ලෝකේ පවතින්නෙ ජාති කුල භේද මත නෙමෙයි, මනුෂ්‍යත්වය මත කියලා කියන්න මීට වැඩිය හොඳ උදාහරණයක් තවත් තියෙනව ද..?” ඇය අසන්නීය. 


සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව අනුෂාගේ වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයකි. එහි අධ්‍යක්ෂ ලෙස පත් වූ ප්‍රථම කාන්තාව මෙන්ම ළාබාලම කාන්තාව වෙන්නේත් ඇයයි. ඇය ග්‍රාම සංවර්ධන පුහුණු ආයතනය, සමාජ සේවා දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යංශය, මිනිස්  බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව, ජාතික චිත්‍රපටි සංස්ථාව ඇතුළු ආයතන රාශියක තනතුරු උසුලා තිබේ. ඒ හැම තැනදීම ඇය උත්සාහ කළේ අලු‍තින් යමක් කරන්නටය. 


“මෙතන හොඳයි, මෙතන හොඳ නෑ කියලා වෙන් කරන්න මම කවදාවත් උත්සාහ කරලා නෑ.. ලැබෙන ඕනෑම තැනක් හොඳ තැනක් කර ගන්න අපි දැන ගන්න ඕනැ.”


වැඩියෙන්ම කැමති කුමන ආයතනයටදැයි මා ඇසූ පැනයට පිළිතුරු ලෙස ඇය පැවසුවාය. කාර්යබහුලතාව යනු මිනිසුන්ගේ සැලසුම්වල දුර්වලකමක්  බැව් ඇය විශ්වාස කරන්නීය. 
“සමහරු හිතනවා කාර්යබහුලතාව කියන්නෙ වටිනාකමක් කියලා. ඒත් මම හිතන්නෙ වැඩ බෙදලා දීලා වගකීම තමන් ගත්තම ඕනැම කෙනෙකුට සැහැල්ලු‍වෙන් ඉන්න පුළුවන්. හරි සැලසුම, අධීක්ෂණය, පසු විපරම, අගය කිරීම හරියට කරනවානම් ඕනෑම කෙනෙක් වැඩට යොදවන්න පුළුවන්. වගකීමට වැඩිය වග වීම තුළින් කාර්යබහුලකම අඩු කර ගන්න පුළුවන් කියලා මම හිතනවා. හැමදේටම වැඩිය තමන්ට තමන් ගැන විශ්වාසයක් තියෙන්න ඕනැ. එතකොට ඉබේම අනිත් අය ගැන විශ්වාසයක් ඇති වෙනවා.”ඇය කියන්නීය. 
අනුෂා ජීවත් වීම කලාවක් බැව් අදහන තැනැත්තියකි. තමන්ගේ වපසරිය තුළ ඇති සතුට හැඳිනගත නොහැකිව සැපට දුක් විඳින මිනිසුන් ඇයට අනන්තවත් හමු වී තිබේ. 
“සල්ලිවලින් විතරක් සතුටින් ජීවත් වෙන්න බෑ. තමන්ගේ ආකල්ප  වෙනස් කර ගන්න ඕන. ‘‘ආර්ට් ඔෆ් ලිවින්’’ කියන්නෙ අන්න ඒකට..” ඇගේ එවදන් තුළ ඇත්තේ අප සියලු‍ දෙනාටම ඉගෙන ගත හැකි වටිනා පාඩමකි. 

 

 

■ චන්දි කොඩිකාර



අදහස් (0)

වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය

ඔබේ අදහස් එවන්න

තක්සලාව

තුන්කල් සැරි සැරූ ලේඛකයා
2024 ජුලි මස 26 10 0

මෙරට කෘතහස්ත ලේඛකයන් පවා කෙළින්ම අත නොගැසූ ඉසව් කරා තම නිර්මාණාත්මක පරිකල්පන රටාව මෙහෙයවමින් සහෘදයන් කුල්මත් කළ ලේඛක පරපුරක මුදුන් මුල ලෙස කේ. ජයතිලක


ඔලිම්පික් උළෙල ඇරඹේ පැරිස් නුවර සීරුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට
2024 ජුලි මස 26 14 0

ප්‍රංශයේ පැරිස් නුවරදී 33 වැනි නූතන ගිම්හාන ඔලිම්පික් උළෙල ඊයේ (26) එරට ජනාධිපති එමානුවෙල් මැකරොන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.


ඉන්දියාව පරදන දිනයක් මේ සතියේ එයි ද?
2024 ජුලි මස 26 11 0

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය ඇරඹෙන්නේ බොහෝ විට ඔබ මේ සටහන කියවන සෙනසුරාදා දිනයේ දීය. පල්ලෙකැලේ දී සෙනසුරාදා ඇරඹෙන විස්සයි20 තරගයෙන් පසු


මොහොතකට ලොව නතර කළ පරිගණක තාක්ෂණ දෝෂය ’ක්‍රවුඩ්ස්ට්‍රයික් ’ අවලංගුයි
2024 ජුලි මස 26 8 0

තාක්ෂණයේ දියුණුවත් සමග අන්තර්ජාලයේ පිහිටෙන්, මුළු ලොවම විශ්ව ගම්මානයක් වී අවසන්ය. දෛනික කටයුතු සිදුවන්නේ ඔන්ලයින් ක්‍රමයටය. තොරතුරු තාක්ෂණයේ උදව්වෙ


පැරිස් ඔලිම්පික් යන අපේ අයගේ වත ගොත
2024 ජුලි මස 23 24 0

සිකුරාදා (26) නිල වශයෙන් ආරම්භ වන 33 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා ප්‍රංශයේ පැරිස් නුවර මේ වන විට සූදානම්ය. එහිදී රටවල් 206 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10714 දෙනෙ


ආගම් බේදයක් නැතිව සහනය පතා එන කොච්චිකඩේ පල්ලිය
2024 ජුලි මස 23 25 0

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම නත්තල් දේව මෙහෙයන් සිදු කරන පල්ලියක් ලෙසත්, කතෝලික, බෞද්ධ, හින්දු, මුස්ලිම් සියලු ආගම්වල බැතිමතුන් තම ගැටලු දෙවියන්ට පවසා සහනයක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site