
පණ ඇති ඕනෑම ජීවියකුගේ අරමුණ ලිංගික ප්‍රජනනය හරහා වර්ගයා බෝ කරමින්, තම පැවැත්ම ස්ථාවරව පවත්වා ගැනීමයි. ඒත්, තම පැවැත්ම වෙනුවෙන්ම ලිංගික ප්‍රජනනය ප්‍රතික්ෂේප කරන ජීවියකු සත්ත්ව ලෝකයේ සිටින බව විද්‍යාඥයෝ පවසති. ඒ නව සොයා ගැනීමකිනි. සරලව කීවොත්, සෙක්ස් එපා කියන මේ ජීවියා කුඩා පරපෝෂිතයෙකි. මෙවැනි හැසිරීමක් පෙන්වන ලොව එකම ජීවියා මෙම පරපෝෂිතයා යැයි සත්ත්ව විද්‍යාඥයෝ පවසති.
පරපෝෂිතයන් යනු තවත් ජීවියෙකු මත හෝ ජීවියෙකු තුළ ජීවත් වෙමින්, එම ජීවියා ගෙන් තමන්ට අවශ්‍ය ආහාර සහ නවාතැන් ලබාගන්නා සත්ත්ව හෝ ශාක කාණ්ඩයකි. මෙහිදී පරපෝෂිතයා වාසිය ලබා ගන්නා අතර, පරපෝෂිතයා ජීවත් වන අනෙක් ජීවියාට (සත්කාරකයා) හානියක් හෝ රෝගී තත්ත්වයක් ඇති කරවයි. ඇතැම් පරපෝෂිතයන් මිනිසුන්ට පමණක් නොව, විවිධ සත්ත්ව විශේෂ රැසකට ආසාදනය වෙයි. අපගේ මෙම කතාවට අදාළ පරපෝෂිතයා ගැන ලොවට හෙළි කළේ ඔස්ට්‍රේලියාවේ වෝල්ටර් සහ එලිසා හෝල් වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ විද්‍යාඥයන් කණ්ඩායමකි. මෙම පරපෝෂිතයා ගියාඩියා ඩියෝඩෙනාලිස්ය. ගියාඩියා, පාචනය ඇති කරන පරපෝෂිත විශේෂයකි. වෝල්ටර් සහ එලිසා හෝල් වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ විද්‍යාඥයන්, ගියාඩියා සම්බන්ධයෙන් පර්‌යේෂණ රැසක් සිදු කර ඇත.
ගියාඩියා පරපෝෂිතයාගේ ප්‍රභේද දෙකක් පරීක්ෂා කළ විද්‍යාඥයන්ට පෙනී ගියේ, ලිංගික ප්‍රජනනයකින් තොරව (අලිංගිකව) වර්ගයා බෝ කරන්න උනන්දුවක් දක්වන ගියාඩියා පරපෝෂිතයන් පරම්පරාවන්ට ඉතා වේගයෙන් විවිධ සතුන් කරා පැතිරීමේ හැකියාව ඇති බවය. මෙම පරපෝෂිත විශේෂය, ලිංගික ප්‍රජනනය ප්‍රතික්ෂේප කර ඇත්තේ තම පරම්පරාව වඩ වඩාත් ව්‍යාප්ත කිරීමේ අරමුණින්ය. ලිංගික ප්‍රජනනයකින් තොරව සිදුවන අලිංගික ප්‍රජනනයේදී, මෙම පරපෝෂිතයන්ට මිනිසුන්, සුරතල් සතුන්, ගොවිපොළ සතුන් මෙන්ම වනාන්තරවල සිටින සතුන් අතර පවා ඉතා පහසුවෙන් ව්‍යාප්ත වීමට හැකියාව ලැබෙයි.
තම අරමුණ වෙනුවෙන්, මේ ආකාරයට තම ජීවන රටාව වෙනස් කරගැනීම අවාසියක් ද වෙයි. සාමාන්‍යයෙන් ලිංගික ප්‍රජනනයේදී ජාන මිශ්‍ර වීමක් සිදු වුවද, අලිංගිකව බෝ වන පරපෝෂිතයන්ගේ සිරුර තුළ කාලයත් සමඟ අහිතකර ජාන විකෘතිතා එකතු වීමට පටන් ගැනෙයි. මෙලෙස හානිකර ජානමය වෙනස්කම් එක් රැස් වෙද්දී, දිගුකාලීනව එම පරපෝෂිත පරම්පරාව දුර්වල වී විනාශ වී යෑමේ අවදානමක් පවතින බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මෙම සොයා ගැනීම වෛද්‍ය විද්‍යාවට ඉතා වැදගත් වන්නේ, සතුන් ගෙන් මිනිසුන්ට රෝග බෝවන ආකාරය සහ ඇතැම් රෝග කාරකයන් ඖෂධවලට ඔරොත්තු දීමේ හැකියාව ලබාගන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට මගපාදන බැවිනි. කෙටිකාලීන පැවැත්ම සඳහා පරපෝෂිතයන් කරන මෙම ’ජානමය කැපකිරීම’ ඔවුන්ගේ ව්‍යාප්තියට මෙන්ම විනාශයට ද හේතු වියහැකි බව මෙයින් පැහැදිලි වෙයි.
පරපෝෂිතයකුට එක් සත්ත්ව විශේෂයකින් තවත් විශේෂයකට මාරුවිය හැකිනම්, එය මහජන සෞඛ්‍යයට විශාල තර්ජනයකි. අපට අවධානය යොමු කිරීමට සිදුවන්නේ මිනිසුන් ගැන පමණක් නොව, සුරතල් සතුන්, ගවයන්, වනසතුන් සහ මේ සියල්ලන් ගැවසෙන ජල මූලාශ්‍ර ද රෝග බෝවීමේ අවදානමට ලක් වෙයි. ඔස්ට්‍රේලියා විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ පරපෝෂිතයන්ගේ ජානමය රටා හඳුනා ගැනීමෙන්, අනාගතයේදී රෝගයක් පැතිරීමට පෙර, ඒවා පාලනය කිරීමට හැකි වන බවය.
ගියාඩියා ඩියෝඩෙනාලිස් යනු සාමාන්‍ය උදරාබාධයක් සහ පාචන තත්ත්වයක් ඇති කරන ජීවියකු පමණක් නොවේ. මෙම පරපෝෂිතයා අප සිරුර තුළට රිංගාගත් පසු, කුඩා බඩවැල්වල පෝෂ්‍ය පදාර්ථ උරා ගැනීම අඩපණ කර දමයි. එහි ප්‍රතිඵලයක් ලෙස, දිගුකාලීන පාචන තත්ත්වයකට මුහුණ දීමට සිදුවෙයි. මන්දපෝෂණය සහ ශරීර වර්ධනය බාල වීම සිදු වෙයි. ලොව පුරා වසරකට මිලියන 280 කට වඩා පිරිසක්, ගියාඩියා ඩියෝඩෙනාලිස් නිසා පීඩාවට පත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.
ජීවීන් දෙදෙනකු අතර පවතින අන්තර් සබඳතා අතරින්, පරපෝෂිතතාවට සුවිශේෂී ස්ථානයක් හිමි වෙයි. වෙනත් ජීවියකුගේ (සත්කාරකයාගේ) දේහය මත හෝ දේහය තුළ ජීවත් වෙමින්, එම සත්කාරකයාට හානි පමුණුවමින් තමාට අවශ්‍ය ආහාර සහ නවාතැන් ලබාගන්නා ජීවීන් පරපෝෂිතයන් ලෙස හැඳින්වේ. මෙම සබඳතාවයේ ඇති විශේෂත්වය වන්නේ පරපෝෂිතයා සැමවිටම ලාභ ලබන අතර, සත්කාරකයාට පෝෂණ ඌනතා, පටක හානි හෝ ලෙඩ රෝග වැනි අවාසිදායක තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වීමය.

පරපෝෂිතයන් වර්ගීකරණය කිරීමේදී ඔවුන් සත්කාරකයා සමග සම්බන්ධ වන ආකාරය ප්‍රධාන වෙයි. සත්කාරකයාගේ බාහිර පෘෂ්ඨය මත ජීවත් වන ජීවීන් බාහිර පරපෝෂිතයන් ලෙස හැඳින්වෙයි. අපගේ හිස කෙස් අතරේ වෙසෙන උකුණන්, බල්ලන් වැනි සතුන්ගේ සිරුරේ වෙසෙන මැක්කන් මෙයට උදාහරණ වේ. මීට වෙනස්ව, සත්කාරක දේහය තුළ පටක හෝ අවයව ඇතුළත වාසය කරන ජීවීන් අභ්‍යන්තර පරපෝෂිතයන් ලෙස හැඳින්වෙයි. වටපණුවන්, පටිපණුවන් සහ රුධිරය තුළ වෙසෙන ප්ලාස්මෝඩියම් වැනි ඒක සෛලීය ජීවීන් මීට අයත් වෙයි. අභ්‍යන්තර පරපෝෂිතයන් බොහෝ විට සත්කාරකයාගේ ආහාර ජීර්ණ පද්ධතියට හෝ රුධිර සංසරණ පද්ධතියට දැඩි බලපෑම් එල්ල කරයි.
ශාක ලෝකය දෙස බලද්දී, පරපෝෂිතතාව පැහැදිලිව දැකගත හැකිය. මෙය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. ඇතැම් ශාක සත්කාරක ශාකයෙන් ජලය සහ ඛනිජ ලවණ පමණක් උරා ගන්නා අතර ප්‍රභාසංශ්ලේෂණය මගින් තමාට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කර ගනී. මේවා අර්ධ පරපෝෂිත ශාක (උදා: පිළිල) ලෙස හඳුන්වයි. එහෙත් කූඩලු වැනි ශාක තමාට අවශ්‍ය ආහාර සහ ජලය යන දෙකම සත්කාරක ශාකයෙන් ලබා ගන්නා බැවින් ඒවා පූර්ණ පරපෝෂිත ශාක ලෙස වර්ග කෙරෙයි. සත්කාරක ශාකයේ පටක තුළට කිඳා බැසීමට පරපෝෂිත ශාක සතුව ‘හොස්ටෝරියා‘ ලෙස හඳුන්වන විශේෂිත මුල් වැනි ව්‍යුහයන් පවතී.
පරපෝෂිතයන් තම ජීවන රටාව සාර්ථක කර ගැනීම සඳහා විවිධ අනුවර්තන පෙන්වයි. උදාහරණයක් ලෙස සත්කාරකයාගේ අන්තර් බිත්තිවල තදින් ඇලී සිටීමට කොකු හෝ චූෂකර වැනි ව්‍යුහයන් පණුවන් සතුව ඇත. එමෙන්ම බොහෝ පරපෝෂිතයන්ට ඉතා සංකීර්ණ ජීවන චක්‍ර පවතින අතර, තම වර්ගයා බෝ කිරීම සඳහා ඔවුන් සත්කාරකයන් එකකට වඩා වැඩි ගණනක් භාවිතා කරයි. පරපෝෂිත ආසාදන නිසා සත්කාරකයා දුර්වල වීම, ප්‍රජනන හැකියාව අඩුවීම සහ ප්‍රතිශක්තිය දුර්වල වීම වැනි අහිතකර ප්‍රතිඵල ඇති වේ. එබැවින් විද්‍යාත්මකව පරපෝෂිතයන් පාලනය කිරීම මිනිසාගේ මෙන්ම සතුන්ගේ ද සෞඛ්‍යාරක්ෂාව සඳහා ඉතා වැදගත් වේ.
අර්ත් ඩොට් කොම් ඇසුරිනි
ලුසිත ජයමාන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd