පැරණි රජ දවස සිහිපත් කරමින් තද පාෂාණමය ගුණයෙන් යුත් කළු ගලක් අපූර්ව මූර්ති නිර්මාණයක් බවට පත් කරන්නට හැකි කලාකරුවකු පිළිබඳ හෙළිදරව්වකි.   


පඹදෙණිය, මැදගම්පොල ජනාධිපති විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා අලව්ව ශ්‍රී රාහුල ජාතික පාසලින් විශ්ව විද්‍යාල ප්‍රවේශයට සමත් වූ ඔහු කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් චිත්‍ර හා මූර්ති කලාව පිළිබඳව ගෞරව උපාධිය ලැබු​වේය. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව වසර ගණනාවක් දියසෙන්පුර කොහොඹදබන ක.වි., අත්තනකඩවල මහා විද්‍යාලය, පොලොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලය, අලව්ව මැදගම්පොල ජනාධිපති විද්‍යාලය, අලව්ව ශ්‍රී රාහුල ජාතික පාසල හා නාරම්මල මයුරපාද ජාතික පාසල යන විදුහල්වල චිත්‍ර හා මූර්ති විෂය ගුරුභවතෙකු ලෙස විශාල සේවයක් සිදුකොට ඇත. මූර්ති ශිල්පීන්, චිත්‍ර ශිල්පීන් වැනි කලාකරුවන් රැසක් ලංකා මාතාවට දායද කිරීමට ඔහු සමත් විය. වර්තමානය වනවිට කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ දෘෂ්‍ය කලා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස හා මූර්ති කලා අධ්‍යයන අංශයේ අංශාධිපති ලෙස සේවයේ යෙදී සිටින ඔහු එම්.එම්. දයානන්ද මුහන්දිරම්ය.   


 සෞන්දර්ය විශ්ව විද්‍යාලය තුළ අභාවයට යමින් පැවතුණු ගල් කැටයම් කලාවේ මූර්ති නෙළීම් සඳහා නව ජීවයක් ලබා දෙමින් මෙම විෂය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආකර්ෂණය කර ගැනීමට දයානන්ද මහත් පරිශ්‍රමයක් දරා ඇත. වර්ෂ 2000-2006 කාලය තුළ ගල්වලින් සිදුකරන මූර්ති නෙළීම විශ්ව විද්‍යාල විෂය නිර්දේශයෙන් ගිලිහී ගොස් තිබුණි. මූර්ති අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඩී.ඩී. ජයදේව, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජේසේකර, රංජිත් ලියනගේ, ධර්මතිලක ද සිල්වා යන මහත්වරුන්ගේ මග පෙන්වීම හා උපදේශකත්වය මත යළි ගල් කැටයම් කලාව විශ්ව විද්‍යාලය තුළ ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කිරීමට දයානන්ද කලා කරුවා සමත් විය. ගල් කැටයම් මූර්ති කලාව සඳහා අවශ්‍ය වන උපකරණ, භාණ්ඩ, ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය විශ්ව විද්‍යාලය සතුව නොතිබුණු අවධියක මෙලෙස අනාගත පරපුර වෙනුවෙන් මං දොරටු විවෘත කර මාතෘ භූමියට උදාර කලා ශිල්පීන්, ශිල්පිනීන් බිහිකිරීමට ඒ මහතා ගත් වෙහෙස පැසසිය යුත්තේය.   


 මේ වන විට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ සම්මානලාභී කලා ශිල්පීන් රැසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කරන බව ඔහු පැවසූයේ ඉමහත් සතුටිනි. දිවයිනේ විවිධ ප්‍රදේශවල ඒ මහතා විසින් ඉදිකරන ලද මූර්ති නෙළීම්, ගල් කැටයම්, ශෛලමය ප්‍රතිමා ආදිය දැක ගත හැකි වුවත් නිර්මාණ ශිල්පියා පිළිබඳව බොහෝ දෙනෙකු දන්නේ නැත. ඔහු විසින් ඉදිකරන ලද නිර්මාණ කිහිපයක් මෙසේය.   


■ අම්පාර, කොන්ඩුවටුවාන යුද හමුදා කඳවුරේ ඉදිකර ඇති යුද ස්මාරකය.   
■ හබරණ හංදියේ ඇති යුද ස්මාරකය.   


අරන්තලාව භික්‍ෂු ඝාතනයේ ඉන්ද්‍රසාර හිමිගේ අම්පාර විහාරස්ථානයේ ඉදිකර ඇති පිළිරුව.   
පේරගස්වැල්ල භාවනා අසපුවේ ආරම්භක හිමි නමගේ පිළිරුව.   


මහරච්චිමුල්ල කන්දේගෙදර භාවනා අසපුවේ ඉදිකර ඇති අපවත්වී වදාළ ප්‍රධාන හිමි නමගේ පිළිරුව.   
පොලොන්නරුව නව නගරයේ සමාධි උයනේ අඩි දහනවය හමාරක් පමණ උසට ඉදිකළ ගල් විහාර හිටි පිළිමය.   


අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා ඇති දෙළොස්මහේ පහන සහිත පහන් ගෙය ප්‍රතිසංස්කරණය.   
කොළඹ ආර්කේඩ් වෙ​ෙළඳ සංකීර්ණයේ ගලින් නෙළන ලද සිංහ පවුල.   


චීනයේ BiginLingwang පංසලට වර්තමාන අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ප්‍රදානය කරන ලද ගලින් නෙළන ලද සමාධි බුදු පිළිමය ඒ මහතා කළ නිර්මාණ කිහිපයකි.   


කථිකාචාර්ය දයානන්ද මහතා මෑතකදී තවත් අලුත් වැඩකට අත ගසා තිබේ. අලව්ව පඹදෙණිය මවුන්ප්ලසන්ට් නම් තම නිවස පිහිටි භූමි භාගයේ ගල්කැටයම් කලාවට තවදුරටත් පුණර්ජීවයක් ලබා දීම වෙනුවෙන් වැඩබිමක් ස්ථාපනය කර ඇත. ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවශ්‍යතා උත්පාදනය කරමින් විවිධ කලා නිර්මාණ සඳකඩපහන්, මුරගල්, බුද්ධ ප්‍රතිමා, සත්ව රූප, ශ්‍රේෂ්ඨ පුද්ගලයින්ගේ ප්‍රතිමා ආදී නා නා විධ මූර්ති ඉදිකරන කලා ගම්මානයක් බඳු ස්ථානයක් ඔහු විසින් නිර්මාණය කරනු ලැබ ඇත. නගරයෙන් දුරස්ව පිටිසර ප්‍රදේශයක ස්වභාවසෞන්දර්යයෙන් අනූන ස්වාභාවික පරිසරයක් තුළ ගල්වඩුවන් විසින් සිදුකරන විවිධ නිර්මාණ දෙස බලා සිටීමේදී පසක් වන්නේ “මේ තරම් සියුමැලිද කළුගල්” යන්නය. මූර්ති කලාව පිළිබඳ උපාධි ලබා ඇති අයද ගල්කුඩු වලින් නැහැවෙමින් දහඩිය කදුළු වගුරුවමින් වෙහෙසකාරීව වැඩ කටයුතුවල නියැලෙන අන්දම දුටුවිට පෙර අතීතය සිහිපත් කරවයි. 

 

 


 එදා රජ දවස ගලින් නෙළන ලද පිය ගැටපෙළ, බුද්ධ ප්‍රතිමා, ඉසුරුමුණි පෙම් යුවළ වැනි කලා නිර්මාණ කළ වකවානුවක් තුළ අදටත් වඩා තාක්‍ෂණික දැනුම ඇති කලා ශිල්පීන් සිටින්නට ඇතිදැයි දයානන්ද මහතා සඳහන් කර සිටියි. අද දියුණු යැයි කියනු ලබන ඇ​ෙමරිකාවේ අතීත ජනයා කොළ අතු අඳින පළඳින අවස්ථාව වන විට අපගේ මාතෘ භූමිය කෘෂිකාර්මික මෙන්ම මෙවැනි කලා කෘතීන් නිර්මාණය කළ උදාර ජාතියක් ලෙස සිටින්නට ඇතැයි තහවුරු කිරීමට අවශ්‍ය සාක්‍ෂි මෙම කලා නිර්මාණ වලින් විද්‍යමාන වන බව දයානන්ද මහතාගේ අදහසයි. ඉදිරි පරම්පරාවටද මෙවැනි දෑ දායද කරමින් සම්ප්‍රදාය හා නවීන යුගයට ගැලපෙන පරිදි සිදු කරන ගල් කැටයම් හා මූර්ති කලාව අපේ අනන්‍යතාව විදහා පාන හෙළ මහා සංස්කෘතියේ වැදගත් ස්ථානයක් වන්නේය. 

 
මේ සඳහා රජයේ අවධානය යොමුවන්නේ නම් මේ ඉගැන්වීම් ශිල්පය වැඩිදියුණු කළ හැකි බව ඔහු කියයි. විවිධ නිර්මාණ සඳහා දිවයිනේ නන් දෙසින් ඇණවුම් ලබුණත් කඩිනමින් මෙවන් කටයුතු හමාර කළ නොහැකි බව ඔහු සඳහන් කරයි. බොහෝ අයට ඉතා ඉක්මනින් එම කාර්යය ඉටුකරගැනීමට අවශ්‍ය වූවත්, මෙවැනි කලා නිර්මාණ ඉවසීමෙන්, සංයමයකින්, භාවනාවක් ආකාරයට සිදු කළ යුතු යැයිද මා සමග පැවසුවේය.   
  

 

සටහන හා ඡායාරූප   
මහානාම පතිරණ අලව්ව