IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


තෙල් සම්පතින් සුපිරි දිවියක් ගෙවන බෘනායි රජ්ජුරුවෝ

 

• මාලිගය සෑදීමට ඩොලර් බිලියන 1.4 ක් වැය වෙලා
• ලෝකයේ සුපිරි වාහන වැඩියෙන්ම ඇත්තේ ඔහුටයි
• සෑම තත්පරයකදීම ඩොලර් 100ක් ඔහුගේ ගිණුමට බැර වන්නේ, තෙල් සම්පතින් ලැබෙන ආදායම නිසාය

 ලෝකයේ, මිනිසකු සහ පවුලක් සතු ලොකුම නිවස අයත් වන්නේ කාට ද කියා ඔබ දන්නවාද? ලෝකයේ ලොකුම නිවස අයත් වන්නේ බෲනායි රාජ්‍යයේ 29 වැනි සුල්තාන්වරයා මෙන්ම රටේ අගමැති වන හසනාල් බෝල්කියා හටය. එරට රාජකීය උතුමාණන් ලෙස ගෞරවණීය නාමයෙන් හැඳින්වෙන්නේ හසනාල් බෝල්කියා රජුය. රටක් පාලනය කරන අගමැතිවරුන් අතරින් අති සුපිරි දිවියක් ගත කරන රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස ඔහු හැඳින්විය හැකිය. හසනාල් බෝල්කියා රජු, එලෙසින් මහා ධනවතකු වී සිටින්නේ, රටේ සම්පත් හෝ ධනය කොල්ලකා නොවීම විශේෂත්වයකි. එසේ නම් ඔහු මේ තරමට ධනවතකු වූයේ කෙසේ ද?

2017 දී ඔහු සතු වූ සුපිරි මෝටර් රථ සංඛ්‍යාව 2500 කට වඩා වැඩි යැයි සඳහන් විය. ඒවායෙහි වටිනාකම 2017 දී ඇස්තමේන්තු කළ පරිදි ඩොලර් බිලියන 5 කි. ලෝකයේ වඩාත් මිල අධික ලක්‍ෂරි මෝටර් රථ අයත් මිනිසා ඔහු ලෙස හැඳින්විය හැකිය. ඔහු සතු ඒ වාහන මොනවා ද කියා අපි විපරම් කර බලමු.   


විවිධ මාදිලියේ සුපිරි බෙන්ස් වර්ගයේ මෝටර් රථ පමණක් 500 ක් ඇතැයි හැඳින්වේ. 

 
• BMW (බී.එම්.ඩබ්ලිව්.) රථ 200 කට වඩා ඇතැයි සඳහන් වේ.   
• අධික මිලකින් යුතු රෝල්ස් - රෝයිස් රථ 500 කි.   
• බොහෝ ලෝක ධනවතුන් භාවිත කරන බෙන්ට්ලි රථ 350 කි.   
• අධි සුපිරි මෝටර් රථ නිෂ්පාදනයක් වන ලැම්බෝර්ගිනි 20 කි.   
• සුපිරි බුගාටි රථ 37 කි.   
• එපමණක්ද නොවේ, සුපිරි ෆෙරාරි රථ 300 කි.   
• ජගුවාර් රථ 170 කි.   

ඒ සියල්ලට අමතරව ලෝකයේ සෑම නිෂ්පාදන නාමයකට අයත් තවත් සුපිරි ​මෝටර් රථ එකී ගොන්නට අයත් යැයි සඳහන් වේ.   
දවසට එක බැගින් අලුත් කාර් පාවිච්චි කළ හැකි මේ රාජ්‍ය නායකයා කවුද? ඔහුට මෙච්චර සල්ලි කොහෙන්ද? ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය ඔස්සේ අද අපි ඒ විස්තර කියවමු.   

හසනාල් බෝල්කියා ඉබින් ඕමාර් අලි සයිෆුඩීන්   

 

බෲනායි රාජ්‍යයේ ගෞරවණීය රජුවන ‘‘හසනාල්’’ රජුගේ සම්පූර්ණ නාමය හැඳින්වෙන්නේ එලෙසනි. මෙම සුල්තාන්වරයා (එරට රාජකීය පරම්පරාවට අයත්) උපත ලැබුවේ 1946 ජූලි 15 වැනිදා. එවකට බෲනායි රාජ්‍යයේ අගනුවර ලෙස හැඳින්වූ දාරුස්සලාම්හි ඉස්තානාහිදීය. වත්මනෙහි බෲනායිහි ප්‍රධාන නගරය වන එය හැඳින්වෙන්නේ ‘‘බන්දාර් සේරී බෙගවාන්’’ නමිනි. උපදින විට ඔහු හැඳින්වූයේ පෙන්ගිරන් මුඩා හසනාල් බෝල්කියා නමිනි. පෙන්ගිරන් මුඩා යනු ‘‘කුමාරයා’’ යන අදහසය. එවකට බෲනෙයි හැඳින්වූයේ බෲනෙයි දාරුස්සලාම් යනුවෙන් විය. මලයාසියාවේ (ක්වාලාලම්පූර්) නගරයේ වික්ටෝරියා උසස් පාසලෙන් අධ්‍යාපනය ලබා පසුව එක්සත් රාජධානියේ සෑන්ඩ්හර්ස්ට් රාජකීය හමුදා ඇකඩමියෙන් උපාධිය ලබා ගැනීමට ඔහු සමත් විය. 1967 ඔක්තෝබර් 5 වැනි දින බෲනායි දාරුස්සලාම් හි සුල්තාන්වරයා බවට ඔහු පත් වූයේ, එතෙක් එරට සුල්තාන්වරයා ලෙස කටයුතු කළ ඔහුගේ පියා එය අත්හැරීමෙන් පසුවය. හසනාල් රජු එරට පාලකයාවීමේ අභිසෙස් මංගල්‍යය පැවැත් වූයේ 1968 වසරේදීය. එවිට ඔහු පසු වූයේ විසි දෙහැවිරි (22) වියේය. ඉනික්බිතිව බෲනායි හි ව්‍යවස්ථාවට අනුව සියලු බලතල ඇතුළු විධායක බලතල සහිත රාජ්‍ය නායකයා වන්නේ ඔහුය. 1988 වසරේ දී ලොව ධනවත්ම මිනිසා ලෙස ‘‘ෆෝබ්ස්’’ සඟරාව වාර්තා කළේ සුල්තාන් හසනාල් බෝල්කියාගේ නාමයයි.   


බෲනෙයි, නොහොත් බෲනායි යනු, අග්නිදිග ආසියාවේ රටවල් අතරින් තෙල් සම්පතින් පොහොසත් පස්වැනි ස්ථානයේ පසුවන රටය. වර්ග කිලෝමීටර් 5765 ක් වන මෙරටේ ජනගහනය ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවකි. හත්වැනි සියවසේ සිට සමෘද්ධිමත් රාජ්‍යයක් වූ මෙය ‘‘විජයපුර’’ නමින් හැඳින් වූ ශ්‍රී විජය අධිරාජ්‍ය යටතේ පැවැති බව සඳහන්ය. දෙවියන් වහන්සේගේ මග පෙන්වීම යටතේ සැම සේවය කරන්න යනු බෲනායි රාජ්‍යයේ පරමාර්ථ පාඨය වේ. හසනාල් බෝල්කියා රජු, ධනයෙන් පොහොසත්ව සිටින්නේ, නැත්නමි ආදායම් උපයන්නේ ඛණිජ සම්පත් සහ ස්වාභාවික ගෑස් නිසාය.   


සුල්තාල් හසනාල් බෝල්කියා විවාහ වූයේ එරට කිරුළ ලැබීමට පෙරදීය. එනම් 1965 වසරේදීය. ඒ, අනාක් හජාහ් සලේහා සමගය. ඒ විවාහය තිබිය දී 1982 දී, හජාහ් මාරියම් සමග විවාහ වූ අතර, ඒ විවාහයට තිත තැබුවේ 2003 දීය. මුල්ම විවාහය එසේ තිබිය දී දෙවැනි විවාහයෙන් දික්කසාද වූ ඔහු තෙවැනි විවාහය කර ගත්තේ, අෂ්රිනාස් මෂ්හාර් සමගය. ඒ විවාහය පැවැතියේ 2005 - 2010 දක්වා පමණි. මෙම සුල්තාන්වරයාගේ බිසව හෙවත් රැජිණ වන්නේ මුල්ම විවාහයේ රාජා ස්තේරී සෙන්හිරාන් අනාක් හජාහ් සලේහාය.

 

සුල්තාන් - හසනාල් බෝල්කියාගේ දූ දරුවන්

 

මෙම සුල්තාන්වරයාගේ දියණියන් සහ පුතුන් ගණන 12 කි. එයින් සත් දෙනෙකු කුමාරියන් වන අතර පස් දෙනෙකු කුමාරවරු වේ. ඊළඟට ඔටුන්න හිමි කුමරා වන්නේ, අල් මුහ්තාදී බිල්ලාහ් ය.   
දෙවැනි එළිසබත් රැජිණට පසුව දීර්ඝ කාලයක් ඔටුන්න දරා සිටින රාජකීයයා වන්නේ මෙම සුල්තාන්වරයාය.   
සුල්තාන් හසනාල් බෝල්කියාගේ රාජකීය කිරුල නැතහොත් රාජ්‍යත්වයට වසර 55 ක් (2022ට) සපිරේ. එම දීර්ඝ කාලය දෙවැනි වන්නේ දෙවැනි එළිසබත් රැජීණට පමණකි.

 

රාජකීය පවුල සුපිරි රථ එකතුව නිසා අමාරුවේ වැටීම

මෙම සටහනේ මුල දී සඳහන් කළ ආකාරයට වතාවක ලොව මෝටර් රථ වැඩිම ප්‍රමාණයක් සතු පුද්ගලයා ලෙස හැඳින්වූයේ මෙම සුල්තාන්වරයාය. නමුත්, ඔහුගේ සහෝදරයා වන ජෙෆ්රි කුමාරයාගේ විවිධ හැසිරීම් නිසා එනම්, අනවශ්‍ය මූල්‍ය වියදම් නිසා වතාවක මේ රාජකීය පවුල අමාරුවේ වැටුණු බව සඳහන් විය. පසුව එම සුපිරි මෝටර් රථ වෙන්දේසි කොට, එකතුව තවදුරටත් උමතුවක් කර නොගැනීම නිසා, ඔවුනට ප්‍රශ්නයක් නොවුණි.   

 

සහෝදරයා සල්ලි නාස්ති කරන්න ගත්තාම ඉවරයක් නැහැලු

 

මෙම රාජකීයයා ඔහුගේ සහෝදරයා සමග පවතින්නේ දැඩි බැඳීමකි. නමුත් ඔහුගේ සහෝදරයා ජෙෆ්රි, බෝල්කියා යනු නාස්තිකාර පුද්ගලයකු යැයි වාර්තාවල සඳහන් වේ. ඔහු දිනකට ඩොලර් 747,000 බැගින් වියදම් කිරීමට තරම් වූ කුමාරයකු වූ බව සඳහන්ය. කොහොම වුණත් පවුලකට නාස්තිකාරයකුත් ඉන්න එපායැ?   

 

50 වැනි උපන් දිනය සැමරීමට සුල්තාන්වරයා කළ දේ

 

මෙම රාජකීයයා, ඔහුගේ 50 වැනි උපන් දිනය සැමරීම වෙනුවෙන්, ලෝකයේ පොප් ගී රජු වූ මයිකල් ජැක්සන් ගෙන්වා ප්‍රසංගයක් කළේය. ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 17 ක් වැය කළ බව සඳහන් වේ. (ජැක්සන් හට දුන් මුදල) එයින් ද නොනැවතුණු ඔහු ලෝකයේ ගී තාරකාවක වූ ‘‘විට්නි හුස්ටන්’’ ගෙන්වා ප්‍රසංගයක් කිරීමට කටයුතු කළේය. එම ප්‍රසංගය ඔහු වෙනුවෙන්ම පමණකි. ඒවාට සහභාගී කරවා ගත්තේ රාජකීය පවුලේ අය සහ සීමිත පිරිසකි. විට්නි හට ගණන සඳහන් නොකළ චෙක්පත් ලබා දුන්නේ ඇයට කැමති ගණන ලියා ගන්න යැයි කියාය. විට්නි ​ඩොලර් මිලියන 7 ක් පමණක් ලබා ගත්තාය. ලෝක ප්‍රකට ගායන තරු වන එල්ටන් ජෝන්ස්, ඩයනා රෝස්, ස්ටීව් වොන්ඩර්, බොන්ජෙව්, ටීනා ටර්නර් ගෙන්වා මෙලෙසින් ප්‍රසංග පැවැත් වූයේ ඔහුගේම රසකාමීත්වය වෙනුවෙනි.   

 

ලෝකයේ ලොකුම නිවසේ හිමිකාරයා වීම

 

 

ලෝකයේ පවුලක් ජීවත්වන ලොකුම නිවස වන්නේ මෙම රාජකීය පවුල ජීවත්වන මාලිගයයි. මෙය නම්කර ඇත්තේ ‘‘ස්ටානා නූරූල් ඉමාන් පැලස්’’ යනුවෙනි. ‘‘විශ්වාසයේ ආලෝකයේ මාලිගය’’ යන්න මෙම සුවිසල් මැදුරේ අරුත වෙයි. අති රමණීය බෲනායි නදිය අසබඩ මෙම මාලිගයේ ඉදිකිරීම් කටයුතු ඇරඹුණේ 1981 දීය. 1984 දී සාදා නිම කළ මෙහි ඇති කාමර ගණන 1788 කි. විවේකාගාර 257 ක් තිබේ. මෙහි ඇති පල්ලියේ වන්දනා කටයුතු කිරීම වෙනුවෙන් පිරිස 1500 කට පමණ ඉඩ ඇත. ප්‍රිය සම්භාෂණ ශාලාවේ 5000 (පන්දහසකට) ඉඩ ඇත. පිහිනුම් තටාක 5 කි. ඒවා පොඩි පහේ ඒවා නම් නොවේ. අසුන් පිට නැගී රජු පෝලෝ ක්‍රීඩාව කිරීම ඉතා කැමතිය. ඒ වෙනුවෙන් ඇති ගෘහස්ත පෝලෝ ක්‍රීඩාංගණය ලෝකයේ තවත් තැනෙක නැති තරමේ එකකි. මහල් 17 කින් මාලිගය සමන්විත වේ. මිල කළ නොහැකි තරමේ වටිනාකමකින් යුතු විදුලි ආලෝක පද්ධති (චැන්ඩලියර්ස්) 564 කි. විදුලි සෝපාන 18 ක් සහ තරප්පු පේලි 44 ක් තිබේ. මුළු මාලිගයෙහි විදුලි බල්බ 51,000 ක් සවිකර තිබේ. මාලිගය සතු විශාලත්වය වර්ග අඩි වලින් කිවහොත්, වර්ග අඩි මිලියන දෙකකි. එක් පවුලක් වෙනුවෙන් සාදා නිම කළ නොව විශාලතම නිවස (මාලිගය) වන මෙය නිම කිරීම වෙනුවෙන් එවකට (1984) ඩොලර් බිලියන 1.4 ක් වැය කළ බව සඳහන් වේ. මාලිගයෙහි නාන කාමර හෙවත් බාත්රූම් ප්‍රමාණය ද විශාලය. වාස්තු විද‌්‍යාවේ දි යොදාගෙන ඇත්තේ බෲනායි ඉස්ලාමීය සහ මැලේ ආගමට අනුව වූ ක්‍රමවේදයන්ය. රනින් ගල්වා ඇත්තේ කැරට් 22 ආලේපවලිනි. මෙම අපූරු සහ පුදුමය - විශ්මය ගෙන දෙන මාලිගය නිර්මාණ සැලසුම කළ ශිල්පියා වන්නේ පිලිපීන ආදිවාසී සම්භවයක් ඇති ලියනාර්ඩ්රෝ වී ලොක්සින් ය. වාර්ෂික ඉස්ලාමීය සැමරුමක දී සහ රාමසාන් උපවාස සමයේ දී දින 10 දී හැරෙන්නට, මෙය මහජනතාව සඳහා විවෘත නොවු මාලිගයකි. මෝටර් රථ ගරාජ් 110 ක් මාලිගය සතුය.   


මේ මාලිගය ගැන මෙසේ විස්තර කරන විට මෙය සුරංගනා කතාවක් දැයි කියා ඔබට සිතෙනවා විය හැකිය. එහෙත් එය සුරංගනා කතාවක් නොව සැබෑ කතාවකි.   

හසනාල් බෝල්කියා රජුගේ කොණ්ඩය ට්‍රීම් කිරීමට පමණක් මසකට වතාවක් ඩොලර් 21,000 ක් වැය කරන බව සඳහන් වේ.   


එපමණක් ද නොවේ, ලොව මිල අධික පෞද්ගලික ජෙට් යානය සතු වන්නේ ඔහු සතුව යැයි සඳහන් වේ. ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 233 ක් වැය කළ බව සඳහන්ය.   


• මෙතරම් සැප සම්පත් ඇති රජු සංචාර සඳහා යන්නේ තමන්ට වඩාත් පක්‍ෂපාතී 100 (සිය දෙනෙකු) සමග වීම විශේෂත්වයකි. එලෙසින් යන සංචාරයක දී, විවිධ වර්ගයේ සපත්තු 100 ක් එක්වර මිලදී ගැනීම ඔහුගේ විනෝදාංශය බව සඳහන්ව තිබිණි.   


• රජු සතු සුපිරි රථ අතරින් රෝල්ස් රෝයිස් වර්ගයේ රථයකට කැරට් 22 රන් ආලේපිතව නිම කර තිබේ. එහි වටිනාකම ඩොලර් මිලියන 14 කි.   


• ඊළඟට කිරුල හිමි රජුගේ වැඩිමල් පුතුවන අල් මුහ්තාදි බිල්ලාහ් විවාහ වූයේ, 2004 දීය. ඊට ජපානයේ නරුහිතෝ කුමරු ඇතුළු, සවුදි, බහරේන් රජවරු මෙන්ම ග්ලෝෂ්ටර්හි ආධිපාදවරයා මෙන්ම ලොව විවිධ රටවල ප්‍රභූන්ට ආරාධනා කර තිබිණි. බෲනායි රාජ්‍යයේ රාජකීය යුද හමුදාවේ ජෙනරාල්වරයා වන ඔහු රාජකීය පොලීසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයාය.   

 

බෲනායි රාජ්‍යයේ රජු වන හසනාල් බෝල්කියා යනු ඔහුගේ පියා මෙන් දෙවැනි එළිසබත් රැජිණගෙන් නයිට් පදවි ලැබූ අයෙකි. එම නයිට් නාමයට අමතරව ඒ හා සමානව ඔහු ලබා ඇති නම්බු නාම, ගෞරව නාම, ප්‍රමාණය ලෝකයේ වෙනත් රාජ්‍ය නායකයකු නොලැබූ තරමට විශාල ප්‍රමාණයකි. ඔහු රටේ මුදල් මංකොල්ලකෑවේ නම් ලෝකයෙන් මෙලෙස ඇගැයුම් - පැසසුම් කිසිදා නොලැබේ. ලෝකයේ බොහෝ රටවල ඔහු සහ මාලිගා ඇත්තේ නිවාඩු ගත කිරීමටය.   


ඉතින් මේ විස්තර කියවන අපට ඇත්තේ ‘‘දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි - පහන ළඟයි ආලෝකේ දුරයි’’ කීම හැර වෙන කුමක් ද?

 

 

පරිවර්තන සටහන : සඳුන් ගමගේ  
[email protected]



අදහස් (0)

තෙල් සම්පතින් සුපිරි දිවියක් ගෙවන බෘනායි රජ්ජුරුවෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 563 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site