• 2016 දී නිකුත්කරන ලද සංඛ්‍යා  ලේඛනවලට අනුව ශ්‍රී ලංකාවට ලොව  සියදිවි නසාගැනීම් ලැයිස්තුවේ 31 වෙනි  ස්ථානය හිමිවී ඇත
  • වසර 2017 දී ලොව මරණවලින් 1.4%ක් සියදිවි නසාගැනීම නිසා සිදුවන මරණ බව එම වාර්තාව පෙන්වා දෙයි
  • වයස අවුරුදු 15 -19 අතර  කණ්ඩායම්වල මරණවලට තෙවැනි  වැඩිම හේතුව සියදිවි නසාගැනීමයි

 

 බොහෝ විට ශ්‍රී ලාංකිකයන්ගේ මුහුණුවල සිනහවක් ඇත. එහෙත්, ඔවුන් ඇත්තටම සතුටින්ද? ඔවුන් ඇත්තටම ජීවත් වන්නේ ස්ථාවර මනසකින්ද? ඔබේ මානසික සෞඛ්‍යය ගැන ඔබ කොපමණ අවධානයක් ලබා දෙන්නෙහිද?   

උපදෙස් සේවා සහ මනෝ සමාජීය මැදිහත්වීම් මගින් මානසික වියවුල් අවම කළ හැකි වුවද, අකල් මරණ වළක්වා ගැනීමට උපකාර වන මූලික ප්‍රතිකාර පවා ලබා ගන්නේ මානසික වියවුල් සහිත රෝගීන්ගෙන් සුළු ප්‍රතිශතයක් පමණි.   


ජාත්‍යන්තර මානව හිමිකම් සමඟ මානසික සෞඛ්‍ය නීතිවලට අනුකූල වීම තක්සේරු කිරීමට කැප වූ අධිකාරියක් හෝ ස්වාධීන ආයතනයක් ශ්‍රී ලංකාව තුළ නොපැවතීම අප රට සම්බන්ධයෙන් ගත්විට ඉතා අවාසනාවන්ත තත්ත්වයකි.   

 

  • ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව සියදිවි නසාගැනීම් නිසා වසරකට ලොවට අහිමිවන ජීවිත ගණන ලක්ෂ 8කි. එනම් සෑම තත්පර 40 කටම එක් අයෙක් මිය යයි.   
  • 1989 - 1993, 1997-1999 යන වසරවල දී මෙම ලැයිස්තුවේ ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයේ පසු වූ අතර, 2000න් පසුව සෝවියට් සමූහාණ්ඩුවේ රටවල සංඛ්‍යා ලේඛන වෙන් වෙන්ව වාර්තා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ පහළට වැටිණි. 
  • ඒ අනුව සියදිවි හානිකරගැනීම් හේතුවෙන් වසරකට අහිමිවන ජීවිත ගණන ඒඩ්ස් රෝගය නිසා මියයන පිරිසට වඩා ලක්ෂයකින් අඩු ය.   

මානසික අවපීඩනය සහ  ශ්‍රී ලාංකිකයන් 

2009 දී ශ්‍රී ලංකාවේ 30 වසරක යුදගැටුම අවසන් වූයේ 100,000 කට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් සහ දිගුකාලීන ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍ය බලපෑම්ද ඇති කරමිනි. එවැනි විනාශකාරී යුද්ධයක් අවසන සිවිල් වැසියන්ට සහ සොල්දාදුවන්ට ඉතිරි කරන්නේ කල්පවතින කම්පනය, සහ මානසික අවපීඩනයයි. ඒ, ඔවුන් අත්විඳින ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිඵලයක් ලෙසිනි. යුද්ධයේ හා ගැටුම්වල ප්‍රතිඵල සෞඛ්‍යය අංශය ද රෝගීභාවයට පත්වන්නේ රටේ ආර්ථිකය හා මූල්‍ය හැකියාවන් ද පීඩාවට පත් කරමිනි.   


2004 දී ඉන්දියන් සාගරයේ ඇති වූ සුනාමි ව්‍යසනයෙන් ශ්‍රී ලාංකිකයන් 30,000ක් පමණ මියගිය අතර තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තුවාල ලබා නිවාස අහිමි වූහ. ඉන්පසුත් කලින් කල ඇති වූ ස්වභාවික ව්‍යසනයන් සහ පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි ඛේදවාචක හේතුවෙන් ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට ද ඉතා අහිතකර ලෙස බලපෑවේය. 
  

කොරෝනා වසංගතය  සහ මානසික සෞඛ්‍යය

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද විද්‍යාත්මක වාර්තාවලට අනුව, කොරෝනා වසංගතයේ පළමු වසර තුළ, කම්පනය සහ මානසික අවපීඩනයේ ගෝලීය ව්‍යාප්තිය 25% කින් අතිමහත් ලෙස වැඩි විය.   


ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට ලෝකයේ මානසික සෞඛ්‍යයට කොරෝනා වසංගතයෙහි බලපෑම පිළිබඳව දැන් අප සතුව ඇත්තේ තොරතුරු ඉතා ස්වල්පයක් පමණකි.   


මෙම තත්ත්වය සඳහා එක් ප්‍රධාන පැහැදිලි කිරීමක් වන්නේ වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස සමාජ හුදකලාව නිසා ඇති වූ පෙර නොවූ විරූ ආතතියයි. මෙයින් මිනිසුන්ගේ වැඩ කිරීමට ඇති හැකියාව, ආදරය කරන අයගෙන් සහය ලබා ගැනීම සහ ඔවුන්ගේ ප්‍රජා සමග කටයුතු කිරීමට සීමා පැනවිණි.   


තනිකම, ආසාදනය වීමට ඇති බිය, තමාට හෝ ආදරණීයයන් දුක් විඳීමට සහ මරණයට පත්වීම, වියෝවෙන් පසු ශෝකය සහ මූල්‍ය කරදර යන සියල්ල ද මානසික ආතතියට තුඩු දෙන හේතු විය.   


ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම් අඩු වුවත් වෑයම් කිරීම් ඉහළ මට්ටමක පවතී   


සියදිවි නසාගැනීමෙන් මරණය යනු ලොව පුරා සෑම වසරකම සිය දහස් ගණනකට වේදනාවක් ගෙන දෙන අතිශය සංකීර්ණ ගැටලු‍වකි. සෑම සියදිවි නසා ගැනීමක්ම ඛේදවාචකයකි. මෙම ඛේදවාචක වළක්වා ගැනීමට නම් කාලෝචිත, සාක්ෂි පදනම් කරගත් මැදිහත්වීම් අවශ්‍යය.   

 

ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය සිය බ්ලොග් අඩවියේ ලෝක බැංකුව උපුටා දක්වමින් කියා සිටියේ 2016 වසරේදී ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම් මරණ අනුපාතිකය (ජනගහනය 100,000කට) සියයට 14.6ක් ලෙස වාර්තා වූ බවයි. කෙසේ වෙතත්, කාලයත් සමඟ 2022 වසර වනවිට මෙම තත්වය යහපත් අතට හැරී ඇත.   

ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම් අඩුවී ඇතත්, සියදිවි නසාගැනීමේ උත්සාහ සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතී. එමෙන්ම සියදිවි නසාගැනීමේ උත්සාහ අතින් අප රටේ තත්වය ගල්ෆ් සහ දකුණු ඇමරිකානු රටවලට වඩා නරක අතට හැරී ඇත.   


දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ළමා මනෝ වෛද්‍ය ජයමාල් ද සිල්වා මහතා සුමිත්‍රයෝ පදනම සංවිධානය කළ දැනුවත් කිරීමේ වැඩසටහනකදී පවසා සිටියේ මෙවැන්නකි.   
“බොහෝ හේතු නිසා ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා. කලින් ලක්ෂයට 45ක් වගේ තිබුණ තැන දැන් 14කට කිට්ටු. නිශ්චිත පලිබෝධනාශක තහනම් කිරීමෙන් බොහෝ සියදිවි නසාගැනීම් වළක්වා ගත හැකි බව ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල් පෙන්වා දෙනවා. පළිබෝධනාශක මිලදී ගැනීමේ සිට පැරසිටමෝල් දක්වා සංස්කෘතිය මාරු වී තිබෙනවා. ඒ නිසා වර්තමානයේ සියදිවි නසාගැනීම් අඩුවෙලා,”   


“රෝහල් වෙත යන මාර්ග සංවර්ධනය කිරීම සහ සියදිවි නසාගැනීමේ උත්සාහයකින් දිවි ගලවා ගත් රෝගීන්ට ලබා දෙන ප්‍රතිකාරවල වෙනස්කම් වැනි නිශ්චිත හේතු නිසා මෙම අඩුවීම සිද්ධ වෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් රෝගියෙකු ඇතුළත් කළ විට, හැකි ඉක්මනින් සියලු‍ම විෂ ඉවත් කිරීමට අපි උත්සාහ කරනව,” ඔහු වැඩිදුරටත් පැවසීය.   

 

මානසික සෞඛ්‍ය සහය සහ රැකවරණය නොමැතිකම

 

මෙම මානසික සෞඛ්‍ය ගැටලු‍ ව්‍යාප්තිය වැඩිවීම මානසික සෞඛ්‍ය සේවාවල අඩුකමට සමාන්තර වේ. සේවා වඩාත් අවශ්‍ය අයට පවා ලබන රැකවරණයෙහි විශාල හිඩැස් තිබේ.   
2021 වසර අවසන් වන විට තත්ත්වය තරමක් දුරට දියුණු වී ඇති නමුත් අද වන විට බොහෝ දෙනෙකුට පෙර පැවති සහ අලු‍තින් වර්ධනය වූ මානසික සෞඛ්‍ය තත්ත්ව සඳහා අවශ්‍ය රැකවරණය සහ සහාය ලබා ගැනීමට නොහැකි වී තිබේ. සීමා සහිත සම්පත් ඇති රටවල් තුළ මෙය ප්‍රධාන අභියෝගයක් ලෙස පවතී. ශ්‍රී ලංකාව අතින් ගත් කල මානසික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ ව්‍යාපෘති සඳහා සම්පත් සහ අරමුදල් හිඟකම ශ්‍රී ලංකාවේ පූර්ණ මානසික සුවතාවයට ඇති ප්‍රධාන බාධාව වේ.   


කෙසේ වෙතත්, මානසික සෞඛ්‍යය සඳහා වන මෙම කැපවීම රාජ්‍ය සහ ආයෝජන සමඟ අත්වැල් බැඳගත යුතුය. එහෙත් අවාසනාවකට මෙන් අද දක්වාම මානසික සෞඛ්‍ය සම්පත්වල ගෝලීය හිඟයක් පවතී. නවතම මානසික සෞඛ්‍ය පිළිබඳ වාර්තා පෙන්නුම් කළේ 2020 දී ලොව පුරා රජයන් ඔවුන්ගේ සෞඛ්‍ය අයවැයෙන් සාමාන්‍යයෙන් 2% කට වඩා වැඩි ප්‍රමාණයක් මානසික සෞඛ්‍ය සඳහා වැය කරන බවයි. එමෙන්ම බොහෝ අඩු ආදායම්ලාභී රටවල් පුද්ගලයන් 100,000 කට 1 මානසික සෞඛ්‍ය සේවකයෙකුට වඩා අඩු සංඛ්‍යාවක් සිටින බවයි.   

 

සතුට මනින්නේ කෙසේද?

රටවල් 149 ක් සැලකිල්ලට ගෙන ඉදිරිපත් කළ ගෝලීය සතුට පිළිබඳ වාර්තාව ජීවිත පිළිබඳ ජනගහනයේ තෘප්තිමත් මට්ටම පිළිබිඹු කරන අතර, එය ඔවුන්ගේ මූල්‍ය තත්ත්වය සමඟ ඉතා සමීපව සම්බන්ධ වේ. සන්තෝෂවත් රටවල් ශ්‍රේණිගත කිරීම ලෝකයේ ධනවත්ම රටවලට වඩා දුෂ්කර ය. දෙවන අවස්ථාවේ දී, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ මට්ටම ප්‍රධාන නිර්ණායක ලෙස භාවිතා කරන අතර අද ධනවත්ම ලැයිස්තුවට විශාල තෙල් හා ගෑස් සංචිත ඇති කලාප ඇතුළත් වේ - කටාර්, බෲනායි, කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඊට නිදසුන්ය. කෙසේ වෙතත්, සාමාන්‍ය මිනිසුන්ගේ සතුටේ මට්ටම සැමවිටම ජාතික ධනයට අනුරූප නොවේ.   


ඒ අනුව ශ්‍රී ලංකාවට එහි හිමිව ඇත්තේ රටවල් 149 අතරින් 129 වන ස්ථානයයි.   


අසල්වැසියන් අතර, වාර්තාවේ දෙවැනි අඩුම අගය ඉන්දියාව (139) හිමි කර ගෙන ඇති අතර ඇෆ්ගනිස්ථානය අවසාන ස්ථානයේ සිටී. මෙම ලෝක සතුට පිළිබඳ වාර්තාව නිකුත් කරනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ ගෝලීය මුලපිරීමක් වන තිරසාර සංවර්ධන විසඳුම් ජාලය විසිනි. ඒ අනුව පසුගිය වසර කිහිපය සමග සැසදීමේ දී ශ්‍රී ලංකාව යම් පසුබෑමක් පෙන්නුම් කරයි. 2018 වසරේ දී 116 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 2020 දී 130 වැනි හා 2021 දී 129 වැනි ස්ථාන දක්වා දැවැන්ත පසුබෑමකට ලක්ව තිබේ.   


සන්තෝෂ දර්ශකය හරහා රටක පුරවැසියන්ගේ යහපැවැත්ම සහ සතුට තීරණය කිරීමට උපකල්පනය කරන දර්ශක අටක් සලකා බලයි. පළමුවැන්න නම් ජාතියක ධනය හෝ මිලදී ගැනීමේ ශක්තිය පැහැදිලි කරන ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයයි. දෙවැන්න ජාතියේ සෞඛ්‍ය ප්‍රමිතීන් පෙන්නුම් කරන උපතේදී ආයු අපේක්ෂාවයි. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය සහ ආයු අපේක්ෂාව රටක “සාමාන්‍ය” වන අතර, ඉතිරි පියවර පදනම් වන්නේ සරල ප්‍රශ්න සමූහයකට දක්වන පුද්ගල ප්‍රතිචාර මත ය.   


තෙවනුව, සමාජ සහයෝගය වේ. එය පදනම් වී ඇත්තේ ඔබට කරදරයක් වූවා නම්, ඔබට අවශ්‍ය විටෙක ඔබට උපකාර කිරීමට විශ්වාස කළ හැකි ඥාතීන් හෝ මිතුරන් ඔබට සිටීද යන ප්‍රශ්නයට තනි පුද්ගල ප්‍රතිචාර මත ය. සිව්වැන්න ජීවන තේරීම් කිරීමට ඇති නිදහසයි: එය පදනම් වී ඇත්තේ ඔබේ ජීවිතය සමඟ ඔබ කරන දේ තෝරා ගැනීමට ඔබට ඇති නිදහස ගැන ඔබ සෑහීමකට පත්වේද යන ප්‍රශ්නයට පුද්ගල ප්‍රතිචාර මත ය.   


පස්වැන්න ජනතාවගේ ත්‍යාගශීලී ආකල්පයයි: ප්‍රතිචාර සඳහා ඉදිරිපත් කරන ප්‍රශ්නය නම් “පසුගිය මාසය තුළ ඔබ පුණ්‍යායතනයකට මුදල් පරිත්‍යාග කළාද?” යන්නයි. හයවැන්න: “රජය පුරා දූෂණය වංචාව පැතිරී තිබේද?”‍ සහ ”‍ව්‍යාපාර තුළ දූෂණය වංචාව බහුලව පැතිරී තිබේද?”‍යන සාධකයි. 

 
හත්වැන්න “ධනාත්මක බලපෑම”‍ ලෙස හඳුන්වනු ලබන්නේ ප්‍රතිචාර දැක්වූවන්ට පෙර දිනයේ සිනාසීමට සහ විනෝද වීමට හැඟීම් තිබේද යන්න මැන බැලීම සඳහා ය. අටවැනි ප්‍රශ්නය එහි ප්‍රතිවිරුද්ධයයි, ප්‍රතිචාර දැක්වූවන්ට පෙර දිනයේ කනස්සල්ල, දුක සහ කෝපය දැනුණාද යන්න මැන බැලීම සඳහා ”‍ඍණාත්මක බලපෑම”‍ ලෙස එම දර්ශකය හැඳින්වේ.   


මෙම සටහන සියදිවි නසාගැනීමේ මාතෘකාව පිළිබඳ සාකච්ඡාවක් අඩංගු වේ. ඔබට ඔබේ සියදිවි නසා ගැනීමට තැත් කිරීමට හැඟේ නම්, හෝ තැත් කිරීමට ඉඩ ඇති වෙනත් කෙනෙකු ගැන සැලකිලිමත් වන්නේ නම්, සුමිත්‍රයෝ සමඟ කතා කරන්න. (දුරකථන: 011 269 6666)   

 

 

 

සටහන 
පියුමි ෆොන්සේකා