ශ්‍රී ලංකාව වූ කලී ලොව ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය ලත් පෙරදිග ලෝකයේ සුවිශේෂී රාජ්‍යයකි. ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ බෞද්ධ සංස්කෘතික හර පද්ධතීන් ප්‍රමාණවත් පසුබිමක් යටතේ ස්ථාපිත වූයේ ක්‍රි. පූ. 3 වැනි සියවසේ දී නොහොත් බුද්ධ වර්ෂ 236දී සිදු වූ මහින්දාගමනයෙන් පසුවය. 


එබැවින් බුදු සමයේ ආභාෂය මත එතෙක් මෙරට පැවැති සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බවට පරිවර්තනය විය. තත්කාලීනව සමාජගතව පැවැති අභිචාරවිධි සියල්ලක් ද අනුක්‍රමයෙන් වෙනස් මගකට අවතීර්ණ විය. බෞද්ධ ජීවන ප්‍රතිපදා මාර්ගයට අනුගත වූ ජනතාව ආගමික උත්සව පැවැත්වීම කෙරෙහි ද වැඩි රුචිකත්වයක් දැක් වූහ. එබැවින් අවිහිංසාව, සද්ධාව භක්තිය හා බුද්ධිය පදනම් කරගත් ආගමික උත්සව රැසක් ද ඒ හා සමගම ආරම්භ විය.මෙම පූජෝත්සවයන් පැවැත්වීම තුළින් අපේක්ෂිත පරමාර්ථය වූයේ හුදෙක් ධාර්මික විනෝදය ලබා ගනිමින් කෙමෙන් කෙමෙන් බෞද්ධ ජීවන ප්‍රතිපදා මාර්ගයට ජනතාව අනුගත කරවීමයි. අනුක්‍රමයෙන් සංඛ්‍යාත්මකව වැඩිදියුණු වී ගිය මෙබඳු උත්සව වසර පුරාම මහත් හරසරින් පවත්වන තත්ත්වයක් පෙන්නුම් කෙරිණි. අනුරාධපුර යුගයේ පටන්ම ක්‍රමවත් පදනමක් යටතේ ඇරඹි මෙම උත්සව ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ තදින් ද මුල්බැස ගත්තේ ඒවායෙහි පවත්නා උසස් ආගමික, දාර්ශනික හා සංස්කෘතික වටිනාකම් නිසාය. 


මේ අතර පාරම්පරික රාජ්‍ය චාරිත්‍රයක් වන වෙසක් උත්සවය ශ්‍රී ලාංකේය බෞද්ධයනට අන් හැම උත්සවයකටම වඩා වැදගත්ය. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුදුවීම හා පිරිනිවීම යන අවස්ථාත්‍රය සිහි කිරීම් වස් මැයි මාසයේ දී මෙම වෙසක් උත්සවය පැවැත්වෙයි. වෙසක් මගුල අතිපුරාණ බෞද්ධ උත්සවයක් බවත් ආදි කාලයේ පටන් ඉන්දියාවෙහි පවා පැවැත්වුණ බවත් චීන ජාතික ෆාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවලින් හෙළි වෙයි. 
පුරාතන ශ්‍රී ලංකාවේ පැවති වෙසක් උත්සවයක් පිළිබඳ ප්‍රථම වාර්තාව මහාවංශයෙහි හමුවන්නේ දුටුගැමුණු (ක්‍රි. පූ. 101-77) රාජ්‍ය සමයේදීය. ‘මහා වේසාඛ පූජාච චතුවීසති කාරයිං’ යනාදී වශයෙන් දුටුගැමුණු රජු වෙසක් උත්සව විසි හතරක් පැවැත් වූ වග එහි කියවෙයි. ඓතිහාසික ලිඛිත වාර්තා නොමැති වුවද වෙසක් උත්සවය එයට කලින් ද පැවැත්වුණු බව විශ්වාස කළ හැකිය. දේවානම් පියතිස්ස රජු වෙසක් උත්සවය සිදු කරන්නට ඇතැයි පිළිගත හැකිය. එබැවින් බෞද්ධ ලංකාවේ වීරයා වූ දුටුගැමුණු රජු වෙසක් උත්සවය යළි පිහිටුවා පෙරටත් වඩා විචිත්‍ර අන්දමින් පැවැත් වූ බව සිතීම යුක්ති සහගතය. 


දුටුගැමුණු රජුගෙන් පසු තවත් බොහෝ රජවරු වෙසක් උත්සවය අඛණ්ඩුව පැවැත් වූහ. භාතිය රජු (ක්‍රි.ව. 38-67) වෙසක් උත්සව විසි අටක් සිදු කළේය. බුද්ධ රූපය තනා රථයක තැන්පත් කොට වීථි සංචාරය කරමින් පැවැත්වූ මෙම උත්සවයේ දී දුගී මගී යාචකාදීන්ට කෑම බීම් දීමේ සිරිත ද පැවැත්විණි. වසභ රජු ද (ක්‍රි.ව. 127-171) ඔටුනු පලන් වර්ෂයේ පටන්ම පිළිවෙලින් වෙසක් උත්සව විසි හතරක් සිදු කළේය. වෝහාරතිස්ස රජු ද (ක්‍රි.ව. 269-291) වෙසක් උත්සවය සිදුකොට ලක්දිව සියලු භික්ෂූන් වහන්සේලාට තුන් සිවුරු පිදීය. එමතු නොව ගෝඨාභය රජු ද (ක්‍රි.ව. 323-333) ජෙට්ඨතිස්ස රජු ද (ක්‍රි.ව. 611-617) දල්ල මොග්ගල්ලාන රජු ද (ක්‍රි.ව. 851-885) 2 වැනි සේන රජු ද රටවාසීන් හා එක්ව මහත් හරසරින් වෙසක් උත්සවය පැවැත්වූ බව සඳහන්ව තිබේ. 
වෙසක් උත්සවය රාජානුග්‍රහය මත වර්ෂයක් පාසාම අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම කෙරෙහි පුර්වෝක්ත රජවරුන් උත්සාහ ගෙන ඇත. මේ අනුව රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් විශාල ප්‍රමාණයක් ද වෙසක් උත්සවය සඳහා වෙන් කෙරිණ. සෑම රජ කෙනෙකුගේම අනිවාර්ය රාජ්‍ය චාරිත්‍රයක් වූ මෙය පොළොන්නරු යුගය වනවිට තව තවත් දියුණුවට පත්විය. දඹදෙණි යුගයේ පැවති ඉතා චමත්කාර ජනක වෙසක් උත්සවයක් පිළිබඳ පූජාවලිය තුළ මෙවන් වාර්තාවක් හමුවෙයි. 


ඒ දවස් මේඝ රාජයාණන් හස්තිරූප ව්‍යාජයෙන් බුදු මඟුලට බැස මිහි මඩලෙහි ඇවිදිනා සේ ඒ ඒ දිග් හි යන්ත්‍ර ලයෙන් ඇවිදිනා හස්තිරූප පංක්තීන් හා පූජා ලෝලීන් දිවූ සමුද්‍ර රාජයාගේ මහ රළ පෙළ සේ ඒ ඒ දිග්හි යන්ත්‍ර බලයෙන් දිවන අශ්වරූප පංක්තීන් හා බුදුන්ගේ මහා මංගල්‍යයෙහි අලංකෘත වූ පූජාවෙන් වෙහෙර සරසා සහස් සුවහස් ගණන් සංඝයා හා මුලු ලක්දිව සියලු මනුෂ්‍ය සේනා රැස්කොට වෙහෙර සිසාරා ගවු ගවු මානයෙහි පූජා පෙළහරින් සිටගත් මනුෂ්‍ය සේනාවම අතුරු නොදී සිටිනා සේ නියෝග කොට.........
 මෙම වෙසක් උත්සවය සිදු කරනුයේ දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ (ක්‍රි.ව. 1250-1285) මූලිකත්වයෙනි. ඒ තුළින් වෙසක් උත්සවයක තිබිය යුතු සියලුම අංග ප්‍රකාශ වෙයි. එබැවින් මෙය පුරාතනයේ පැවැති වෙසක් උත්සවයක නියම ස්වරූපය යැයි නියත වශයෙන්ම පැවසිය හැකිය. ‘මෙහි බුදු මඟුලට බැස’ යනුවෙන් සඳහන්ව ඇති බැවින් වෙසක් උත්සවය සඳහා ‘බුදු මඟුල’ යන්න යොදා ඇති බැව් පැහැදිලිය. 


මහනුවර යුගයේ මෙරට පැවැති උත්සව හතරක් ගැන සඳහන් වන අතර එහි පළමුවැන්න වෙසක් උළෙල ලෙස දක්වා ඇත. වෙසක් උත්සවය පැවැත්විය යුතු ආකාරය දක්වමින් සම්මත නීති මාලාවක් ද එකල පැවැති බව මහා වංශයෙන් තහවුරු වෙයි. වෙසක් උත්සවය ආරම්භ කළ යුත්තේ කෙසේද? ආරම්භ කරන්නේ කුමකින්ද? යන්න එම නීති මාලාවට අන්තර් ගතවී තිබෙන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. 


කෝට්ටේ යුගයෙහි කළ වෙසක් උත්සව ගැන කරුණු විරලය. බුද්ධ පූජා පැවැත්වූ රජවරුන් රාශියක ගැන සඳහන් වෙතත් ඒවා වෙසක් උත්සව දැයි නිර්මාණ කිරීම අපහසුය. කොළඹ යුගයේදී ඉතා විචිත්‍ර අන්දමින් වෙසක් උත්සවය සිදු කෙරිණි. අද වනවිට රාජ්‍ය වෙසක් උත්සවය ප්‍රමුඛව ලංකාවේ වෙසක් උත්සව ඉතා චිත්තාකර්ෂණීය අන්දමින් සිදු කෙරෙයි. වෙසක් පොහොය වෙනුවෙන් වෙසක් පහන් කූඩුවක් හෝ වෙනයම් වෙසක් සැරසිල්ලක් නොමැති නගරයත් ගමක් හෝ බෞද්ධ නිවසක් සොයා ගැන්මට නොහැකිය. නගරයේ නිවෙස්වල පටන් ඈත. ගම්දනව්වල නිවෙස් දක්වාම මෙම වෙනස එක සේ දැකිය හැකිය. විවිධ ජාතක කතා වස්තු හා වෙන වෙනත් බෞද්ධ තේමාවන් නිරූපණය කෙරෙන වෙසක් තොරණ ද ලංකාවේ සතර දිග් භාගයේම ප්‍රදර්ශනය කෙරෙහි වෙසක් තොරණ හා පහන් කූඩු නිර්මාණයෙහි යම් තරඟකාරී බවක් මෙකල පෙනෙන්නට තිබේ. විශාල පහන් කූඩු ඉදිකොට ඒ වටා එක් එක් ප්‍රමාණයෙන් පරිවාර පහන් කූඩු ද රැසකින් අලංකාරවත් කොට සිදු කෙරෙන නිර්මාණකරණය එයට උදාහරණයකි. එලෙස වඩාත් දැකිය හැකි වන්නේ පොදු මහජන ප්‍රදර්ශනය සඳහා නිර්මාණය කෙරෙන පහන් කූඩුවලය. ඒවායෙහි එකිනෙක පරයා යන අන්දමේ නිර්මාණ කෞශල්‍යයන් සුලභව දැකිය හැකි වෙයි. 


ඇතැම් නගරවල හා ආයතනවල වෙසක් පහන් කූඩු ප්‍රදර්ශන තරඟ පවත්වා ජයග්‍රාහකයන් තේරීමත් මෙකල බහුල වශයෙන් සිදුවේ. තවද වෙසක් සමය වෙනුවෙන් සිද්ධස්ථාන වැඳීම හා වෙසක් නිර්මාණ නැරඹීම සඳහා චාරිකා කරන සැදැහැවතුන් උදෙසා සංග්‍රහ කිරිම පිණිස යම්යම් පුද්ගලයින් සමිති වශයෙන් සංවිධානය වී රට පුරාම දන්සැල් පැවැත්වීම ද මෙකල බහුල වශයෙන් ම දැකිය හැකි දෙයකි.