මියගිය මව හා නිවුන් දරුවන්

 

ශිෂ්ට සම්පන්න ලෝක සම්මතයට ගරු කරමින් සරණ බන්ධනයෙන් අත්වැල් බැඳගන්නා යුවතිපතින්ගේ ඒකායන පැතුම දරු සම්පතයි.   


එයින් ඇය උත්තරීතර මව් පදවියෙන් පිදුම් ලබන්නේ, සැමියාට ද එලෙසම ගරු බුහුමන් ලබන පිය පදවිය උරුම කරවමිනි.   


එලෙස එම පදවිය උරුම කරගෙන දරු සම්පතක් තුරුලු කරගන්නට පෙරුම් පිරූ රණවිරු පියෙකුගේ පැතුම් පසුගියදා ඔහුගේ ඇස්පනාපිටම බොඳව ගියේය.   


ඒ, මොළකැටි සිඟිත්තන් පමණක් නොව ඔහුගේ දයාබර බිරිඳ ද මරුවාට ගොදුරු වීම නිසාය.   
මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූවේ පොල්පිතිගම, කිරිබමුණේගමයාය ග්‍රාමයේ සිටි අමරසිංහ මුදියන්සේලාගේ ඉෂානි චතුරිකා බණ්ඩාර නමැති 27 වැනි වියේ පසු වූ තරුණ කාන්තාවකි.   
ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවයේ නිරතව සිට ඉකුත් නොවැම්බර් 1 වැනිදා සේවයෙන් විශ්‍රාම ගිය ඒ.එම්. ප්‍රේමරත්න බණ්ඩා හා ඔහුගේ බිරිය වූ පී. ශාන්ති යුවළට දාව උපන් පවුලේ එකම ගැහැනු දරුවා ඇයයි.   


ඇය පවුලේ වැඩිමලාය.   


ඔවුන් දෙපාර්ශ්වයේම ආශිර්වාදය මැද අතිනත ගත්තේ, 2020 ජුලි මස 27 වැනිදාය. සහකරු වූවේ හර්ෂ අමරනාත් රත්නායක ය. ඔහු ගල්ගමුව, ඇහැටුවැව, දිවුල්ගනේ ග්‍රාමයේ පදිංචිකරුවෙකි. මංගල උත්සවය ජයටම සිදු කෙරුණි. ඔහු ඇයව ඔහුම ඉදිකළ සුන්දර නිවහනකට රැගෙන ගියේය.   
විවාහයෙන් පසුව ඔවුනට දරු පල ලැබීමේ මංපෙත් විවර විය. ඒ අනුව පොල්පිතිගම මාතෘ සායනයට මුලින්ම ගිය ඇය වෛද්‍යවරුන්ගෙන් ලද ඉඟියක් මත නිකවැරටිය මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු වුණේ එය සක් සුදක් සේ දැනගැනීම සදහාය.   


ඇයට නිවුන් පුතුන් දෙදෙනකු පිළිසිඳ ගෙන ඇති බව එහිදී අනාවරණය විය. නිම් හිම් නැති සතුට අතරේ ඇය සෑම මසකම අදාළ සායනවලට නිකවැරටියට පා තැබුවාය. ඇයගේ රැකවරණයට සෙවනැල්ලක් මෙන් සැමියා ද සිටියේය.   


කාලය ටිකෙන් ටික ළංවී තිබුණි. එළැඹෙන දෙසැම්බර් මාසයේ මුල් සතියේ දී ඇයට නිවුන් දරු පැටවුන් ලැබීමට නියමිතය. ඒ සඳහා පවුලේ දෙපාර්ශ්වයම ඇඟිලි ගනිමින් පසු වූයේ දෙපැත්තෙන්ම දරු පැටියකු ගෙට ගැනීමේ වාසනාව උදා කරගන්නා පළමු උදවිය මොවුන් වෙන නිසාය.   
පුතුන් දෙදෙනකුට අවැසි සියලු ඇඳුම් ඉෂානිම මැසුවාය. ඇයගේ අම්මා හා නැන්දම්මා ඊට රටා දමමින් මල් ගෙතුම්වලින් ඇඳුම් හැඩ කළහ.   


ඇය නොවැම්බර් 2 වැනි දින උදේම කෑම නොකා වතුරවත් නොබී නිවෙසින් පිටත් වූවාය. ඒ, පොල්පිතිගම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට අවශ්‍ය රුධිර සාම්පල් ලබාදීමටය. එතැනට ඇය අවස්ථා කිහිපයකදීම රුධිර සාම්පල් ලබා දී ඇත. ඒ, එම මධ්‍යස්ථානයට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරයාට පෙන්වීම සඳහාය.   
පසු දින එනම් 3 වැනි දිනයේදී ඇය ඒ කරා පිය නැගුවාය. අදාළ පරීක්ෂණ වාර්තා අතට ගත්තාය. එහෙත් විශේෂඥ වෛද්‍යවරයා පැමිණියේ නැත. ඒ අනුව ඇය නිවෙස බලා පිටත් වූවාය. මේ සියල්ල සඳහා ඇය ගමන් කළේ තනිවමය. ඒ තරම් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් ඇය පසු වූවාය.   
4 වැනි දින ඇයට උගුර රිදෙන්නට විය. යෝගට් කිහිපයක් කෑවත් සුවයක් නැත. පවුලේ අය වහා ඇය පොල්පිතිගම පෞද්ගලික වෛද්‍යවරයකු වෙත යොමු කළේය. ඔහු ප්‍රතිකාර ලබාදීමක් නොකර කුරුණෑගල ශික්ෂණ රෝහලට යන ලෙසට උපදෙස් දුන්නේය.   
“කුරුණෑගලට බැහැ. සායන සඳහා යන්නේ නිකවැරටියට” ඇය කීවාය. එසේ නම් එහේ යන්න. අදාළ ලිපියක් ලියා වෛද්‍යවරයා ඇයට දුන්නේය.   


එදින සවස ඔවුන් සතු වාහනයකින් නිකවැරටිය මූලික රෝහල බලා පිටත් වූහ. “වේගයෙන් යන්න එපා. මට අමාරු නැහැ.” ඒ යන ගමනේදීත් ඇය කීවාය.   
සිදු කර තිබූ පරීක්ෂණ වාර්තා හා පොල්පිතිගම වෛද්‍යවරයා දී තිබූ ලිපිය පවුලේ අය නිකවැරටිය රෝහලට පෙන්වන ලදී. ඇය ඒ අනුව එම රෝහලට ඇතුළත් කෙරුණි.   
එම රෝහලේ වෛද්‍යවරු ඇයට ඩෙංගු වැළඳී ඇති බවට අනුමාන කළහ. එහෙත් සිදු කළ පරීක්ෂණවල දී එවැන්නක් වැළඳී නැත. තවත් අය ඇයට මී උණ වැළඳී ඇති බවට තීරණය කළහ. ඒ සම්බන්ධව කළ පරීක්ෂණවලදී ද ඇයට එවැනි රෝගයක් වැළඳී නැත. කොව්ඩි එන්නත්කරණයට හිමි මාත්‍රා දෙකමත් ඇය ලබාගෙන සිටියාය. හිටි හැටියේ රෝගී වූ ඇයට ඊට පෙර කිසිදු රෝග ලක්ෂණයක් පහළ වී තිබුණේ ද නැත.   
එහෙත් රෝහල්ගත කළ ඇයගේ තත්ත්වය එන්න එන්නම දරුණුය. උපතින් පැහැපත්ව සිටි ඇය කහ පැහැති වී තිබේ. ඇය වහාම කොළඹ, ද සොයිසා කාන්තා මාතෘ රෝහල වෙත යවන්නට වෛද්‍යවරු තීරණය කළහ. ඒ සඳහා ගමනට ගිලන් රථය සූදානම් කෙරුණි. වෛද්‍යවරයකු, හෙදියක හා සුඵ සේවිකාව ද ගමනට සහභාගි වූහ. ඒ අනුව ඇය 6 වැනි දිනයේ දී කොළඹ, ද සොයිසා කාන්තා මාතෘ රෝහල වෙත ඇතුළත් කෙරුණි.   


 එම රෝහලේ දී ඇය පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍යවරුන්, ඇයගේ දිවි බේරා ගැනීම සඳහා පවුලේ අයගේ කැමැත්ත මත කුස තුළ සිටි දරුවන් දෙදෙනා වැකුම් තාක්ෂණයට අනුව එළියට ගැනීමට යුහුසුලුව කටයුතු කළේය.   


අට මසක් වයසැති බිලිඳු සිරුරු දෙකක් එළියට ගෙන ඇත. එහෙත් ඒ දෙදෙනාම මළ දරු උපත්ය.   
 එම බිලිඳුන්ට ලොව දැකීමේ වරම අහිමි වුවත් දෙදෙනාම උපත් බරින් සම්පූර්ණ වී සිටිති. අම්මාට පියවි සිහිය ලැබුණු පසු ඇයට පෙන්වන්නට එම බිලිඳු සිරිරු ආරක්ෂා කර දෙන්නැයි සැමියා කළ ඉල්ලීමට කාර්ය මණ්ඩලය අවනත විය. ඒ අනුව එම ළපටි සිරුරු දෙක ආරක්ෂිතව තබන්නට ඔවුහු පියවර ගත්හ.   
එහෙත් තමා කුස තුළ හොවා සිටි ඒ පුතුන්ගේ නිසල සිරුරු දැකීමට හෝ ඇයට යළි පියවි සිහිය ලැබුණේ නැත. එම සිඟිත්තන්ගේ මරණයෙන් සතියක් ගත වෙන දා එනම් ඉකුත් 14 වැනිදා අලුයම් කාලයේ දී ජීවත් වන්නා වූ සැමට වේදනාව උරුම කර දී ඉෂානි චතුරිකා ජීවිතයෙන් සමුගත්තාය. 

 
 ඇයගේ වකුගඩුවලට හා අක්මාවට හානි පැමිණ තිබේ. එහෙත් මරණවලට හේතුවක් නිශ්චිතව සඳහන්ව නැත. ඒ අනුව සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කිරීමට රෝහල් බලධාරීන් කටයුතු කරන අතරවාරයේ ඇය හා පුතුන් දෙදෙනාගේ මෘත දේහ පවුලේ අයට බාර දීමට රෝහල් බලධාරීහු කටයුතු කළහ.   
 ඇයගේ නිසල දේහය සැමියාගේ ගම් පෙදෙසට අයත් ගල්ගමුව, දිවුල්ගනේ නිවෙසේ තැන්පත් කෙරුනි. සයනය මත නිසල මවගේ ගත දෙපස මියගිය සිඟිති පුතුන් දෙදෙනා ද තබා තිබිණි. බෝනික්කන් වැනි සිරුරු හැඩකර ඇත්තේ අව්, වැසි, මැසි, මදුරු උවදුරුවලින් ආරක්ෂා වෙන්නට ඉෂානිගේ දෑතින්ම සූදානම් කර තිබු වූල් ඇඳුම් කට්ටලයෙන්මය.   


නිවෙසේ තැන්පත් කර තිබූ දේහ 16 වැනිදා හිරු අවරට බැස යන හෝරාවේ දී ආගමික වතාවත්වලින් පසුව දිවුල්ගනේ පොදු සුසාන භූමියේ මිහිදන් කෙරුණි. 

 

 

මොරගොල්ලාගම
සිසිර කැලේගම