IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බිරියට බේත් ගන්න රුසියානු යුද බිමට ගිය සමියෙකුගේ කදුළු කතාව

 එරන්ද

රුසියානු - යුක්‍රේන යුද්ධයේදී මෙරට තරුණයන් මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් බොහෝමයක් මේ ​ෙවන විටත් අප පුවත්පත පළ කළේය. රුසියාවේ ගොවිපොළක රැකියාවකට ගොස් එහිදී වෙනත් මාර්ගයකින් රුසියානු - යුක්රේන යුද්ධයට සම්බන්ධ වූ ශ්‍රී ලාංකික තරුණ​යෙකු එහිදී තුවාල ලබා රෝහල්ගත කර සිටියදී රෝහලෙන් පැන ගොස් මෙරටට පැමිණ සිටියදී අපට හමුවිය. කුරුණෑගල ඉබ්බාගමුව එරුන්කඩේ ප්‍රදේශයේ පදිංචි ආර්.එම්. එරන්ද චින්තක තිලකරත්න නමැති මෙම තරුණයා රුසියානු යුක්රේන යුදබිමේදී වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා දින විස්සකට වැඩි කාලයක් කිසිදු ප්‍රතිකාරයක් නොමැතිව දුක් විඳ ඇතැයි ඔහු පවසයි.
‘‘අපි යුක්රේන් බෝඩරේත් පහුකරල ‘‘දොනෙක්සිටි”‍ කියන පළාතට ගිහින් දාන්නේ. එතැන තියෙන්නෙ එයාල අල්ල ගත්ත ගෙදරක්. එතැනින් අපිට ඕනෑ කරන යුනිෆෝම්, බොඩි ආමර් වගේ දේවල් දීල තමයි අපිව ෆ්‍රන්ට් ලයින් එකට පිටත් කරන්නේ. මුලින්ම වාහනයකින් මගක් දුරට ගිහින් දානව. ඊට පස්සේ එතැන ඉඳන් තවත් කිලෝමීටර් 6ක් විතර කානු බටයක් දිගේ බඩගානෙන යන්න ඕනෑ. ඒක තනිකරම කළුවරයි”‍ යැයි රුසියන් යුක්‍රේන් යුද බිමේදී තමන් ලද කටුක අත්දැකීම එරන්ද එසේ විස්තර කරයි.
ඔහු මෙසේද පවසයි.


‘‘මගේ පවුලේ බාලය මං. මට අක්ක කෙනෙකුයි අයෙකුයි ඉන්නවා. එයාල විවාහ වෙලා වෙනම ජීවත් වෙන්නෙ. මම සාමාන්‍ය පෙළ දක්වාම ඉගෙන ගත්ත. ඊට පස්සෙ ටික කාලයක් ගෙදර ඉදල කුරුණෑගල පෞද්ගලික ආයතනයක රස්සාවකට බැඳෙනවා. ඒකේ අවුරුදු 6ක් විතර මං වැඩ කළා. රස්සාවට යනකොට එනකොට තමයි මට ආර්.පී. ඩිලානි නිලංකා මගේ බිරිය හමුවූයේ. පසුව අපි විවාහ වුණා. විවාහ වෙලා අවුරුදු එකහමාරකින් විතර එයා අසනීප වුණා. පස්සේ දැනගත්තා එයා ලියුකේමියාව කියන රෝගී තත්ත්වයෙන් පෙළෙනවා කියලා. කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරලා මාස තුනක් විතර එක දිගට ප්‍රතිකාර දුන්නා. වෛද්‍යවරු නම් කීවේ මේ රෝගය හොඳටම හොඳ වෙන්න නම් අඩුම තරමේ මාස හයක්වත් එක දිගට ප්‍රතිකාර ලබා දෙන්න ඕනෑ කියල. ඇයගේ රෝගී තත්ත්වය සුව අතට හැරෙන කාලයේ තමයි අපේ පුතාව හම්බ වෙන්නේ. ඒ 2020 අවුරුද්දේ. බිරියගේ අසනීප තත්ත්වයත් එක්ක පුතාට කිරි පිටි දෙන්න සතියකට 1900 ගානේ මාසෙකට කිරි පැකට් 4කට ලොකු වියදමක් දරන්න සිදු වුණා. රැකියාවෙන් ලැබුණු පොඩි පඩියෙන් ජීවත් වෙන්න අමාරු නිසා රස්සාවෙන් අයින් වුණා. ඊටපස්සේ වාහනයක රියැදුරු රැකියාවක් හොයාගත්තා. තව කුඹුක්ගැටේ පොඩි කඩයකුත් දැම්මා. බිරිය ඒකට උදවු කරගෙන ඉද්දී ආයෙ අසනීප වුණා. මම රස්සාව අතහැරියා. ඒ වෙලාවේ දොස්තරලා කිව්වා සැත්කමක් කරන්න වෙනවා. ලක්ෂ 100 ක් යයි කියලා. 
මේකට සල්ලි හොයාගන්නෙ කොහොමද කියලා කල්පනා කර කර ඉන්න කොට තමයි මට කොළඹ එජන්සියක් මාර්ගයෙන් රුසියාවේ ෆාම් එකක රැකියාවක් හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒ

එරන්දගේ නිවස

වෙනුවෙන් මට රුපියල් ලක්ෂ දොළහකට වැඩි මුදලක් වියදම් කරන්නත් සිද්ධ වුණා. ඒ රස්සාවට යන්න මෙඩිකල් පවා අපිට අතින් කරගන්න සිද්ධවුණේ. ඒජන්සිය නම් අපිට කිව්වේ ලොකු පඩියක් හම්බවෙනවා, පහසුකම් හම්බවෙනවා, ඒ නිසා බය නැතුව යන්න කියලා. ඒත් රැකියාවට ගියායින් පස්සේ තමයි දැනගත්තේ එහෙම කියපු තරම් පඩියක් හම්බවෙන්නෙ නැහැ කියල.
ඒජන්සියෙන් කරලා තිබුණෙත් තනිකර අපිව රැවටිල්ලක්. අපිට ෆාම් එකෙන් ලැබුණේ දවසකට ඩොලර් එකයි දශම නවයක් වගේ පුංචි ගාණක්. කෑම බීම පවා බොහොම අඩුවෙන් තමා දුන්නේ. ලෙඩක් හැදුණාම බෙහෙත් ටිකක් දුන්නෙත් නෑ. බොහෝ වෙලාවට අපිට ෆාම් එක ඇතුළේ මැරිච්ච ඌරෝ කපන්න දුන්නා. කිසිම සෞඛ්‍යාරක්ෂිත පහසුකමක් නැතුව තමයි අපි ඒ හැම දෙයක්ම කරේ. එතැන අපිව තියාගෙන හිටියෙ හිරකරගෙන වගේ. ශ්‍රී ලංකාවෙන් අපිත් එක්ක ගියපු තිස් දෙනාගෙන් හත් දෙනකුම මම වැඩ කරපු ෆාම් එකට වැටුණා. ෆාම් එකේ පඩි අඩු නිසාත් කන්න බොන්නවත් හරියට ලැබෙන්නෙ නැති නිසාත් අපේ ෆාම් එකේ වැඩ කරපු යාළුවො දෙන්නෙක් හොරෙන් පැනල රුසියන් හමුදාවට බැඳෙන්න ගියා. ඒ අපි ගිහින් මාස තුනකට විතර පස්සේ. ටික දවසක් යනකොට අපිටත් තේරුණා මෙතැන ඉඳල හරියන්නේ නෑ කියලා. ඊට පස්සෙ තමයි අපි හය දෙනෙක් එකතුවෙලා ෆාම් එකෙන් පැනලා මොස්කව් නගරයට ගියේ. මේ ෆාම් එක තිබුණේ මොස්කව් නගරයේ ඉදල කිලෝමීටර් 800ක් විතර දුරින් තියෙන ”‍මෙනකුලිති”‍ කියල දුෂ්කර පළාතක. අපි යනකොට ගෙනිච්ච බෑග් එකක්වත් අපිට ගන්න හම්බවුණේ නෑ. හිස් අතින්ම තමයි ඒ ෆාම් එකෙන් එන්න වුණේ.
එහෙම ඇවිල්ල මං මොස්කව් නගරයට ආසන්නයේ ”‍නව්කුශින්”‍ කියන පළාතේ තියෙන ආහාර පැකට් කරන වැඩපොළක සතියකට රූබල් 2500ක වැටුපකට වැඩ කළා. ඒ මුදල් තමයි මම ලංකාවට එව්වේ බිරිඳගේ බෙහෙත්හේත්වලටයි ගත්තු ණය තුරුස් ටික ගෙවන්නයි කියලා. ඒත් මට තේරුණා මෙහෙම කරල ගොඩයන්න බෑ කියලා. මාසෙකට ලැබුණු පඩිය කොහොමවත් ඒ වැඩ කටයුතුවලට ප්‍රමාණවත් වුණේ නෑ.”‍

 එරන්දගේ මව සහ කුඩා දරුවා

මේ අතරතුර එරංගගේ බිරිය යළිත් වරක් අසනීප වූවාය. එරන්ද කෙසේ හෝ තම බිරියගේ ශල්‍යකර්මය සිදුකරගැනීමට අවශ්‍ය මුදල් එකතු කර ගැනීමට කුමන හෝ පියවරක් ගන්නේ යැයි සිතා මීට වඩා වැඩි මුදලක් උපයා ගත හැකි රැකියා අවස්ථාවක් සොයන්නට මාන බැලු‍වේය. නැවත ලංකාවට පැමිණෙන ලෙස බිරිය පැවසුවත් පැවති ආර්ථික අපහසුතා​ෙවන් ගොඩ එන්නට නම් වැටුණු වළෙන්ම නැගිටිය යුතු බව එරංග කල්පනා කළේය.


රෝහලින් කියල තිබුණා ආයෙත් එයාට සතියකට සැරයක් එක දිගට බෙහෙත් විඳින්න ඕන කියලා. මේ දරන්න වුණු අධික වියදමත් එක්ක ගෙදර තිබුණු ත්‍රීවීල් එක විකුණන්න සිද්ධ වුණා. කනේ කරේ තිබුණු රත්තරන් බඩු ටික පවා බැංකුවලට උකස් කරන්න සිද්ධවුණා. මේ නිසා මම තීරණය කලා මොනවා හරි වෙනත් රස්සාවක් හරි කරලා රුපියල් ලක්ෂ සීය හොයාගෙන නෝනගේ ඔපරේෂන් එක කොහොම හරි කර ගන්නවා කියලා.
මේ අතරේ තමයි ගොවිපොළෙන් පැන යාළුවන්ගේ මාර්ගයෙන් දැනගත්තේ ඕනෑම කෙනකුට රුසියන් හමුදාවට බැඳෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි හයදෙනෙක් එහි හමුදාවට බැඳෙන්න මොස්කව්වල තිබුණු හමුදා කඳවුරකට ගියා. අපි ගාව කිසිම ලියකියවිල්ලක් තිබුණේ නෑ. ඒ වුණත් එයාල අපිව එහේ හමුදාවට බඳවා ගන්න කැමැති වුණා. අපිට එහෙන් කිව්වේ මේ රැකියාවෙන් මසෙකට ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ තුන හමාරකට ආසන්න පඩියක් ගන්න පුළු‍වන් කියලා. පඩියට අමතරව ඉන්න ගෙයක් දොරක් වගේම අපේ ගෙදර අයත් එක්ක එහාට ඇවිල්ල පදිංචි වෙන්න පුළුවන් කියලත් අපිට කිව්වා. ඒ නිසා අපි හිතුවෙ මේකෙන් ගොඩ යන්න පුළුවන් වෙයි කියල. ජනවාරි 10 වැනිදා මම රුසියන් හමුදාවට බැඳුණා. 
එතැනින් එළියට අපුවහම යුද්දෙ තියන ප්‍රදේශයට ගියාම එතැන මුහුණට මුහුණ සටන් නැතිවුණත් මෝටර් වෙඩි උණ්ඩ ඔළුවට උඩින් යනවා පේනවා. නිතරම ඩ්‍රෝන ප්‍රහාරවලට අපි අහුවුණා. ඒ විදිහට මට දවස් විස්සක් විතර එතැන ඉන්න වුණා. මම රුසියන් හමුදාවට බැඳුණ කියල නිලංකා දැනගත්තාම එයා ගොඩාක් දුක් වුණා. යුද බිමේ දී අපිට කෑම ටිකවත් හරියකට ලැබුණේ නෑ. බොහෝ වෙලාවට අපිට දෙන ඒ කෑම ටිකත් රුසියන් හමුදාවේ අය ගන්නවා. ඒ අරගෙන ඔක්කොම එකට දාල කලවම් කරල අපිට එක හැන්ද ගානේ තමයි දෙන්නේ. වතුර බොන්න තියෙන්නෙ ගලාගෙන යන කානුවලින්. සත්තු වතුර බොන්නෙත් ඒවායින්.
වෙඩි වැදිල මැරෙන සෙබළුන්ගෙ මිනී ඇදගෙන යන්නෙත් ඒ කානු හරහා. ඒවගෙන්ම තමයි අපි බෝතල්වලට වතුර පුරව ගන්නේත්. එහෙම අන්ත දුකක් විදින්න වුණේ. මමත් එක්ක ගියපු පිරිස අතරේ ගල්ගමුවෙ 
කෙ​ෙනකුත් හිටියා. එයා එකම එක දවසයි මට හම්බවුණේ. ඊට පස්සේ මම ආයේ එයාව දැක්කේ නෑ.
මම කලින් හිටපු ෆ්‍රන්ට් ලයින් එකෙන් දවස් විස්සකට පස්සේ ආපහු මම කඳවුරකට එනවා‍. ඒ ඉන්න අතරේ ආරංචි වෙනවා මගේ නෝනා නැති වුණා කියලා. ඒක කඳවුරට කිව්වත් වැඩක් වුණේ නෑ. ආයෙ දැම්මා අපිව යුද ටැංකි වළලන වළවල් කපන්න. එතැන දවස් දහයක් විතර ඉද්දී තමයි මට ඩ්‍රෝන එකකින් වෙඩි වදින්නේ. ඔළු‍වෙ නළලට ඉහළින් දකුණු පැත්තෙන් ගියපු බුලට් එකක් තාමත් තියෙනවා. ඒක අයින් කරන්න බෑ කියලයි වෛද්‍යවරු කියන්නේ.
වෙඩි වැදුණාට පස්සේ ඒ තුවාල පිටින්ම දවස් දෙකක් කානුවක හිටියා. රෝහලකට ගෙනියන්න ලිස්ට් එකේ ඉන්න කියල තමයි එයාල කීවේ. පස්සෙ මම එතැනින් රෝහල් ප්‍රතිකාර අරන් එම්බසිය හොයාගෙන පැනලා ගියා. ඊටපස්සෙ ලංකාවට ආවා.” 
සිය බිරියගේ ප්‍රතිකාරවලට මුදල් හොයන්න ගිය එරංග අවසානයේදී ලංකාවට ආවේ හිස්අතින්මය. එසේ පැමිණෙන විට සිය බිරිය ඔහු සදහටම අතහැර ගොසින්ය.
සුනිල් එස්. පැල්ලන්දෙණිය 

 



අදහස් (0)

බිරියට බේත් ගන්න රුසියානු යුද බිමට ගිය සමියෙකුගේ කදුළු කතාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2003 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1557 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site