ජේ.ආර්ගේ - ප්‍රේමදාසගේ  ආණ්ඩු ගැන සිරිසේන කුරේ කරන හෙළිදරව්ව 

 

  • “උපාලි කියන්නේ අපේ ළමයෙක්” සොත්ති උපාලි ගැන කුරේ මහතා රූපවාහිනියට කියයි
  • “ගාමිණී-ලලිත් එජාපයෙන් ඉවත් කරන්න ලියුම යැව්වේත්, උසාවි ගියෙත් මමයි....”

භීෂණය සමග ගැටිය හැක්කේත්, ඊට මුහුණ දිය හැක්කේත් එය ඔරොත්තු දෙන්නහුට පමණි. එක කඩදාසි තුන්ඩුවෙන් කඩ වසා දැමූ ජවිපෙ රටාවට ඔරොත්තු දිය හැකි මිනිස්සු පිරිසක් 1988 ජනාධිපතිවරණයේ සංවිධානය වෙනුවෙන් එළියට බැස්සාහ. සිරිසේන කුරේ මෙහි පෙරගමන්කරුවා විය. ඔහු අදත් අදහන්නේ යමෙක් ‘අඩෝ’ කීවොත් පෙරළා ‘මොකද අඩෝ’ යනුවෙන් ඇසිය යුතු බවය. ඒ අදහසට එකඟ පිරිසක් භීෂණය අස්සේ ජනාධිපතිවරණයේ වැඩ කළහ.   


උතුරු කොළඹ හා මැද කොළඹ ශාඛා සමිතිවල තරුණ පිරිස 88 ජනාධිපතිවරණය පුරාම පෝස්ටර් ඇලවූහ. සොත්ති උපාලි සහ ඔහුගේ පිඩලි කොන්ත්‍රාත් කළ කණ්ඩායම ජනාධිපතිවරණය පුරා වේදිකා ගැසීම සහ අවට කොළපාටින් සැරසීම කළහ. මහනුවරින් පටන් ගත් 88 පළමු ජනාධිපතිවරණ රැස්වීමේ සිට අවසානය දක්වාම වේදිකා නිර්මාණයත්, කොළ කොඩි වලින් අවට සැරසීමත් උපාලි සහ උපාලිගේ මිනිස්සු කළහ. ඒ කිසිම තැනකදී සොත්ති උපාලිට ජවිපෙ තර්ජන ගර්ජන ආවේ නැත. එක්කෝ උපාලි යනු කවුරුන් ද යන්න ඔවුන් ද දන්නා නිසා විය යුතුය. නැත්නම් උපාලිගේ වෙනස් ම ආකාරයේ සැලසුම් ක්‍රමවේද නිසා විය යුතුය. කෙසේ වෙතත් ප්‍රේමදාස මහතා ජනාධිපති පුටුවේ වාඩි කරවීමට කුරේ ගේ මෙහෙයවීම යටතේ සොත්ති උපාලි කළේ එකී වකවානුවේ හැටියට සරලව ගත හැකි කාර්යභාරයක් නොවේ.   


කෙසේ වෙතත් සිරිසේන කුරේ මහතා කියන්නේ සොත්ති උපාලි පාතාලයකු කළේ මාධ්‍ය විසින් බවය. එය වූයේ කෙසේද? එතැන් සිට අලු‍ත් මානයකට අද කතාව දිග හැරේ...   


‘ඒ දවස් වල පත්තරේක උපාලි ගැන ගිය නිවුස් එකක් දැක්කද’ කියලා ප්‍රේමදාස මහත්තයා මගෙන් ඇහුවා. ඇත්තටම මම දැකලා තිබුණෙ නෑ. පස්සේ මම පත්තරේ අරගෙන බලද්දි සොත්ති උපාලි කාටදෝ කරපු පහරදීමක් ගැන මේකෙ දාල තිබුණා. සිද්ධිය වෙලා තිබුණෙ ඔබේසේකරපුර දී. සොත්ති උපාලිගේ හොඳ යාළුවෙක් හිටියා ‘යුනුස්’ කියලා. කට්ටිය හවසට හවසට එකතු වෙන බව මම අහලා තිබුණා. මෙහෙම කට්ටිය එකතු වුණු දවසක ප්‍රේමදාස මහත්තයට යුනුස් බැණලා. ඒකට උපාලි කරලා තියෙන්නේ යුනුස් ට අල්ලගෙන ගහලා. මේ සිද්ධිය පත්තරේ උලු‍ප්පලා පෙන්නුවා. ඒ කාලේ ටීවී එකේ වැඩසටහනකට මට කතා කළා. ඒකෙදි නිවේදකයා මගෙන් ඇහුවා ‘සොත්ති උපාලි’ අඳුරනවද කියලා. ඉතින් උපාලි කොළඹ පිඩලි කොන්ත්‍රාත් එක කළ මනුස්සයා. ඊළඟට වේදිකා ටික ගහපු මනුස්සයා. මම කිවුවා,   
‘ඔව්... ඒ ළමයා මම දන්නවා’ කියලා. ඒ වගේම මම කිව්වා ‘උපාලි කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගන්නට විශාල සේවාවක් කරපු කෙනෙක්’ කියලා.   
‘නැතුව බොරු කියන්න යෑ..’ කුරේ මහතා මගෙන් අසයි.   


සොත්ති උපාලි යනු 1988 ජනාධිපතිවරණය පුරාම ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන් වේදිකාව ගැසූ හා ඒ අවට කොළ පාට කොඩි වලින් සැරසූ පුද්ගලයාය. මහ රෑ දෙගොඩ හරියේ පිටත්වී එළිවනවිට වේදිකාව ගසා, අවටම සරසා පිට වීමට තරම් උපාලිලා ට පුදුම හැකියාවක්, දක්ෂකමක් තිබිණ.   
ඊළඟට ප්‍රේමදාස මහතා සිරිසේන කුරේට කියා තිබුණේ අවට ඉතා හොඳින් ශබ්ද විකාශන යන්ත්‍ර ද සවි කළ යුතු බවය. රැස්වීමට ජනතාව අඩු වුණොත් අවට ප්‍රදේශයට හොඳින් කතාව ඇසෙන පරිදි එය කළ යුතු බව එතුමාගේ අදහස විය. ඒ අදහසට ගැලපෙන පරිදි හැම රාජකාරිය ම කුරේ මහතා ගානට මිම්මට සිදු කළේය.   
‘අපි දන්න උපාලි පිඩලි කොන්ත්‍රාත්කාරයෙක් මිස පාතාලකාරයෙක් නෙවෙයි. එයා ඉතින් එක එක රණ්ඩු කරගෙන තියෙනවා. ඒ එක රණ්ඩුවක්වත් මගේ ළඟට අරන් ආවෙ නෑ, බේරලා දෙන්න කියලා. ඒක හොඳින්ම දන්නවා ශානි අබේසේකර. එයා තමයි ඒ කාලේ මගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විදියට හිටියේ’ කුරේ මහතා පවසයි.   


‘ජේවීපී එකෙන් කියල තිබුණා ජනාධිපතිවරණයට ඡන්දෙ දාන්න ගියොත් පළ වැනි හත්දෙනා මරනවා කියලා. ඒවත් බේරගෙන තමයි මේ ජනාධිපතිවරණය බොහොම අමාරුවෙන් අපට කරන්නට වුණේ. කොහොමහරි ජනාධිපතිවරණය කළා. ඒක කරන්න පුළුවන් වුණේ අපි නිසා කියන එකත් ප්‍රේමදාස මහත්තයා දැනගෙන උන්නා.   


දැන් ජනාධිපතිවරණයත් ඉවර වුණා. එතකොට මම කොළඹ නගරාධිපති. නගරාධිපති නිල නිවසේ ජනාධිපතිවරණයට උදවු කළ සාමාන්‍ය මිනිසුන්ට කෑම වේලක් දෙන්න මම ලෑස්ති කළා. ඒකට උතුරු කොළඹ, මැද කොළඹ අපේ ළමයි ආවා. සොත්ති උපාලි සහ එයාගෙ කණ්ඩායමත් ආවා. එදා මේ මීටිම මෙහෙයුවේ හඩ්සන් සමරසිංහ මහත්තය. ඊළගට ජනාධිපතිවරණයට උදව් කරපු ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත්මුදලි, රංජන් විජේරත්න වගේ අයත් ආවා. මොකද මා එක්ක ලලිත්-ගාමිණී දෙන්නම හොඳයි. හැබැයි ජනාධිපතිවරණයෙදි ලලිත්-ගාමිණී කිසිම අවුලක් නැතුව ප්‍රේමදාස මහත්තයා වෙනුවෙන් ආවා, කතා කළා. හැබැයි ඒ දෙන්න ජේ ආර් ගේ මිනිස්සු. ජේ ආර් බැලු‍වේ මේ දෙන්නගෙන් ගාමිණී දිසානායක ව ජනාධිපති අපේක්ෂක ලෙස පත් කරන්න. ප්‍රේමදාසට අපේක්ෂකකම දෙන්න හිතුවේම නෑ’   


‘මොකද ඒකට හේතුව?’ මා විමසීමි.   


‘මම හිතන්නේ පන්ති භේදය වගේ ප්‍රශ්නයක් වෙන්න ඕනෑ..’ කෙටි උත්තරයක් දී සිරිසේන මහතා නිදහස් විය..   


‘රන්ජන් විජේරත්න මහත්තයා පක්ෂයේ මහලේකම් විදිහට රට පුරා ඇවිදලා ඇවිත්, රටේ මිනිස්සු ඉල්ලන්නේ ප්‍රේමදාස මහත්තයා කිව්වට පස්සෙයි, ඔහුට අපේක්ෂකකම දෙන්න ජේ ආර් තීරණය කළේ.’ කුරේ මහතා කියයි.

   
‘කොහොමහරි ජනාධිපතිවරණය ඉවර උනාට පස්සෙ පොඩි විවේකයක් ගන්න මම සාමාන්‍යයෙන් දුර ඈත පළාතක කැලේකට ගිහින් සුමානයක් දෙකක් නතර වෙලා ඉන්නවා. ඒ කාලේ ටෙලිෆෝන් වුණත් හරියට නෑනෙ. කැලේ ඉන්නකොට දවසක් මට ඇහුණා, ගුවන් විදුලියේ කියනවා ප්‍රේමදාස ජනාධිපතිතුමා අගමැති විදිහට ඩී බී විජේතුංග පත් කළා කියලා. ඇත්තටම ඒක ලොකු වරදක්. ඒක වරදක් බව මම අදත් කියනවා. එදත් කිව්වා. අගමැතිකම දෙන්න තිබුණෙ ලලිත්ට හරි ගාමිණීට හරි. පස්සෙ මම කොළඹට ඇවිත් ජනාධිපතිතුමාව හම්බවෙන්න ගියා. මම එයාට ඕනෑම දෙයක් කියනවා. මම ජනාධිපතිතුමා දැකපු ගමන් ඇහුවා,   


‘ඇයි.. සර්.. මේ මොකක්ද කළේ, අපිත් පාක්ෂිකයොත් හැමෝම බලාපොරොත්තු වුණේ ලලිත් හරි ගාමිණී හරි අගමැති කරයි කියලනෙ.’ මොකක්ද මේ කරපු වැඬේ තේරුම’ කියලා.   


එහෙම අහපු ගමන් ජනාධිපති ප්‍රේමදාස තම අත්ලෙන් මේසෙට හයියෙන් පහරක් ගැසුවේය. ඇත්තටම ඔහුට කේන්ති ගොස් තිබිණි.   

 

 

‘සිරි.. ඔයාට මතක නැද්ද, ඒ මිනිස්සු අපිට කරපු දේවල්?’ ප්‍රේමදාස මහතා පරණ අතීතයක් මතක් කරමින් ඇසුවේය.   


‘ඒක හරි සර්.. ඒත් ඡන්ද වෙලාවේ ඒ දෙන්නම මාත් එක්ක ජනාධිපතිවරණය දිනවන්න වැඩ කළා. ඒ දෙන්න අවංකවමයි වැඩ කළේ. එහෙම නම් මුලින් ම කියන්න තිබුණ, මේ ඔය ගොල්ල ඉලෙක්ෂන් එකේ වැඩ වලට එන්න එපා කියලා. වැඩ කලාට පස්සේ මෙහෙම කරන එක වැරදියි නේ...’ සිරිසේන කුරේ මහතා ජනාධිපතිතුමාට පැහැදිලි කළේය.   


‘සිරි... විජේතුංග ව අගමැති කළේ අවුරුද්දකට විතරයි, මම සිරි ට පොරොන්දු වෙනවා මේ අවුරුද්දක කාලය තුළ එයාලගේ හැසිරීම බලලා ඒ දෙන්නගෙන් කෙනෙක්ව අගමැති කරන්න’ ප්‍රේමදාස මහතා කීවේය.   
‘ඇත්තම කියනවා නම්, ඩී බී විජේතුංග මහත්තයා ජනාධිපතිවරණය වෙලාවේ පැත්තක හිටපු කෙනෙක්. ලලිත්-ගාමිණී දෙන්නම වේදිකාවේ ප්‍රධාන කථිකයෝ දෙන්නෙක් වුණා... දැන් මටත් හරි ප්‍රශ්නයක් මේක.. අඩු ගානෙ මගෙන් වත් මේ ගැන ඇහුවේ නෑ.. මගෙන් ඇහුවා නම්, ඒ වෙලාවේ විජේතුංග අගමැති කරනවාට මමත් අකමැති බව ජනාධිපතිතුමා දන්නවා. හැබැයි ලලිතුයි, ගාමිණීයි හොඳ ඇමතිකම් දෙකකට නම් දැම්මා. පස්සේ ඉතින් මම ලලිත් ඇතුලත්මුදලි හම්බවෙන්න ගියා. ගිහින්,   


‘ලලිත්.. විජේතුංගව අගමැති කළේ අවුරුද්දකට විතරයි. අවුරුද්දකින් පස්සේ ඔයාගේ සහ ගාමිණී ගේ හැසිරීම බලලා දෙන්නගෙන් කෙනෙක්ව අගමැති කරනවා’ කියලා ජනාධිපතිතුමා මට පොරොන්දු වුණා.’ ඒ නිසා මේ අවුරුද්ද ඉන්න ඕනෑ විදිහත් මම එයාලට කිව්වා. ලලිත් මම කිව්ව කතාව පිළිගත්තා. ප්‍රේමදාස මහත්තයා, විජේතුංග අගමැති කරයි කියලා මම නම් හීනෙකින්වත් හිතුවේ නෑ. තව දෙයක් තිබුණා. ලලිත්-ගාමිණී දෙන්න ප්‍රේමදාස මහත්තයා අගමැති කාලේ වුණත් ‘සර්’ කිව්වේ නෑ. එතුමාට කියන්නේ පී.එම්. කියලා මේ වගේ දේවලු‍ත් ප්‍රේමදාස මහත්තයාගේ හිතේ තිබුණා.   


දැන් ලලිත්ට මේ කතාව කියලා මම ගියා, ගාමිණී දිසානායක හම්බවෙන්න. මම ගාමිණීට ඒ කතාව ම කිව්ව ගමන්,   


‘සිරි.. අපි කොච්චර කල් ජීවත් වෙනවද කියලා සිරි දන්නවද? කියලා මගෙන් ඇහුවා.   
‘මේ ඔයාලා තාම තරුණ හාදයෝ.. ඇයි මේ මරණයක් ගැන කතා කරන්නේ.. මම අවුරුද්දකින් අගමැතිකම දෙන්නගෙන් එක් කෙනෙකුට දෙන පොරොන්දුව බාර ගන්නවනේ කියලා මම කිව්වා. අපි හොඳ යාළුවෝ, මම කිව්වම එයාලා අහනවා.   


‘මේ අහන්ඩ අවුරුද්දකින් ප්‍රේමදාස මහත්තයා මේ වැඩේ නොකළොත් මමත් ඔයාලා එක්ක එනවා බය නැතුව ඉන්ඩ’ කිව්වා.   


‘ඔහොම යන අතරේ නිතර කැබිනට් මීටින් තියෙනවා. ලලිත්-ගාමිණී දෙන්නත් ඇමතිවරු විදිහට කැබිනට් සාකච්ඡා වලට එනවා. ගාමිණී දිසානායක මොකද දන්නවද කරන්නේ..’ කියමින් සිරිසේන කුරේ මහතා මා දෙස එක එල්ලේ ම බැලු‍වේය.   


‘ගාමිණී කැබිනට් රැස්වීමට එද්දි හැමදාම පොතක් අරන් එනවා. එයා කැබිනට් සාකච්ඡාව ගණන් නොගෙන පොතක් දිග ඇරගෙන කියවනවා. මේක හරි ප්‍රශ්නයක් නේ..’ 

 
කාලය මෙසේ ගෙවී යමින් තිබිණ. ඒ අතරේ ප්‍රේමදාස මහතා කැබිනට් මණ්ඩලයට අලු‍ත් නීතියක් ගෙන ආයේය. එනම් කිසිම ඇමතිවරයකු පිට රටට ගොස් සති දෙකකට වඩා නොසිටිය යුතුය, යනුවෙනි. මේ අතරේ ගාමිණී දිසානායක මහතා මාස හයක් විභාගයක් සඳහා එංගලන්තයට යාමට අවශ්‍ය බවට ඉල්ලීමක් ජනාධිපතිතුමා හමුවී ඉල්ලා තිබිණ.   


‘ප්‍රේමදාස මහත්තයා ගාමිණී ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරල නෑ. ‘හා එහෙනම්’ කියලා විතරක් කියලා. කැබිනට් මණ්ඩලයේ දී ගත්ත නීතියේ හැටියට ඇමති කෙනෙක් ට සති දෙකකට වඩා පිටරටක ඉන්න බෑනේ... ඔය අතරේ දවසක් උදේ අපිත් නැගිටලා බලද්දි අගමැති විජේතුංග මහත්තයා ඉල්ලා අස්වෙලා. අගමැති අස්වුණ ගමන් ඇමති මණ්ඩලයත් අහෝසි වෙනවා නේ... උදේ බලද්දි අපි දරපු ඇමති කමත් නෑ.. මෙහෙම විජේතුංග මහත්තයට ඉල්ලා අස්වෙන්න කියලා තිබුණෙ ප්‍රේමදාස ජනාධිපතිතුමා. 

 
ආයෙත් එදා උදේ පණිවිඩයක් එනවා ආපසු ඇමතිකම් වල දිවුරුම් දෙන්න එන්න කියලා. අපි ගියා ආයෙත්. ඩී බී විජේතුංග මහත්තය අගමැති ලෙස දිවුරුම් දුන්නා. කැබිනට් මණ්ඩලයත් පත් කළා. ඇමතිවරුන් දිවුරුම් දුන්නා. හැබැයි ගාමිණී දිසානායකට ඇමතිකමක් ලැබුණේ නෑ. මම ජනාධිපතිතුමාගෙන් මේක ඇහැව්වා.   
‘සිරි... ගාමිණි මාස හයකට පිටරට යන්න ඉල්ලනවනෙ.. අපි තීරණයක් ගත්තනෙ ඇමතිවරයෙකුට රට යන්න පුළුවන් සති දෙකකට විතරයි කියලා. එයාට ගිහින් එන්න කියන්නකො. ආපුහම බලමු ඇමතිකමක් ගැන. මොකද ගාමිණීට විතරක් මාස හයක් රටයන්න දුන්නම මට අනිත් අය ඉල්ලු‍වොත් නොදී ඉන්න පුලු‍වන්ද. එහෙම කරන්න බෑනේ.. ඒ නිසයි ගාමිණීව ඇමති මණ්ඩලයෙන් අයින් කළේ’   


කියලා එතුමා කිව්වා.   


‘පස්සේ ගාමිණී දිසානායක රට ගියෙත් නෑ. ගාමිණී-ලලිත් පක්ෂයෙන් ඉවත් වෙන්න තරම් ගැටුම දුරදිග ගියේ ඔය විදිහටයි. ලලිත් හිතුවා කවදාහරි ලලිත්ටත් ජනාධිපතිතුමා මේ වැඩේම කරයි කියලා.   
ඔය අතරෙදි මමයි, රනිල් වික්‍රමසිංහයි, චොක්සි මහත්තයයි, ලලිත් සහ ගාමිණී දෙන්නට අපේ හිතවත් ගෙදරකට එන්න කියලා ගොඩක් දේවල් සාකච්ඡා කළා. අපි මෙහෙම කරමු මේ විදියට ඉමු කියලා. ඒ වෙලාවේ ගාමිණී දිසානායක මහත්තයයි, ලලිත් ඇතුලත්මුදලි මහත්තයයි, ප්‍රේමදාස එක්ක ඉන්නවා කියලා අපට පොරොන්දුවක් වුණා.. සිරිසේන කුරේ මහතා කියන්නේ ය.   


පසුවදා උදේ ගාමිණී සහ ලලිත් දෙන්නම සිරිසේන කුරේ ඇමතිතුමාගේ දුරකථනයට ගත්තේය.   
‘සිරි.. අපිට ප්‍රේමදාස එක්ක ඉන්න බෑ..’ යනුවෙන් ඔවුහු කීහ.   


සිරිසේන කුරේට ඉබේටම වගේඋඹලා මහ මෝඩයෝ’ යැයි වචනයක්ද පිටවිය. එසේ වචනයක් ආවේ ද ඒ ඒ අය සමග පැවැති කුළුපග මිත්‍රත්වය නිසාවෙන්මය.   


‘අපි එක්ක එදා රෑ කතා කරලා ගියාට පස්සේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමා ගාමිණීටයි, ලලිත්ටයි කතා කරලා තියනවා. එයා කියලා තියෙනවා ඔය කවුරුවත් කියන දේවල් පිළිගන්න එපා. ඒකෙන් වෙන්නේ ඔයාලා අතරමං වෙන එකයි’ කියලා. ඊට පස්සේ ලලිත්-ගාමිණී තවත් කාණ්ඩයකුත් එක්ක පක්ෂයෙන් ගියා. ඒ අය පක්ෂයෙන් ඉවත් කිරීමේ ලියුම යැව්වෙත් මම මයි. මොකද මම තමා ඒ වෙද්දී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ව හිටියේ. මටයි ඒ කාර්යය පැවරුණේ.   


මම පක්ෂයේ මහ ලේකම් වුණේ රන්ජන් විජේරත්න මහත්තයා මිය ගියාට පසුවයි. ලලිත්-ගාමිණී අලු‍ත් පක්ෂයක් පිහිටුවා ගත්තට පස්සේ පක්ෂයේ නීතිය අනුව උසාවියේ නඩුවක් ගියා. මේ අය නෙරපීම වෙනුවෙන්. ඒ නඩුවට ගියෙත් එජාපය වෙනුවෙන් මහ ලේකම් විදියට හිටපු මම මයි.’ කුරේ මහතා කියන්නේය.

 

සටහන / ඡායාරූප :
අසංක ආටිගල