මෙම දිනවල එංගලන්තයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ දී ක්‍රීඩා කරපු විලාසය නරඹනවිට මේ ආකාරයට වචන කීපයක් ලියන්න හිතුණා.  


ජීවිතයේ සම්පූර්ණත්වය සඳහා ක්‍රීඩාව අත්‍යාවශ්‍ය අංගයක් බවත්, දේශපාලන ජීවිතය ද ක්‍රිකට් පිටියක් බදු බව ද මුලින්ම සඳහන් කරන්න කැමැතියි. ක්‍රිකට් ක්‍රීඩාවේ දී අත්විඳින්නට සිදුවන නියත සමාජානු​යෝජනයක් ද අප දේශපාලන ජීවිතයේ දී ද නියත වශයෙන් යොදා ගනී.  


ක්‍රිකට් ක්‍රීඩාව ද යුද්ධයක් වැනිය. ජය පරාජය ක්‍රීඩාවේ පොදු ධර්මතාවයක්ය. යුද්ධයේ දී ධෛර්ය සම්පන්නභාවයත් පරාජයේදී ඊට නිර්භීතව මුහුණ දී පරාජයට හේතු සොයා බලා නිවැරදි කර ගැනීමත්, ජයග්‍රහණයේ දී මහත්මාභාවය රැක ගැනීම වැනි දෑ මෙම ක්‍රිකට් ක්‍රීඩාවටත් අයත් සත්‍ය දෙයකි.  
1981 වසරේ ජූලි 21 වැනි දා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සදා නොමැකෙන දිනයකි. එදා ටෙස්වරම් හිමිකරගත් 8 වැනි රට බවට පත් වුණා. එම අවස්ථාව උදාකර ගත්තේ ගාමිණී දිසානායක කියලා කෙනෙකු බව ඔබලා සමහර විට අහලා ඇති. මගේ පියාණන්ය. ක්‍රිකට් ක්‍රීඩාව වෘත්තිමය තත්ත්වකට එන්න හිතලවත් නොතිබුණු අවස්ථාවක, ලෝක කුසලානය දිනන එක හීනයක් වී තිබුණු කාලයක ක්‍රිකට් ක්‍රීඩාවට මහා පරිමාණයෙන් මුදල් ගලාගෙන නොආපු කාලයක, මගේ පියාණන් සහ එවක මහ රාජා අධිපති ආර්. රාජ මහේන්ද්‍රන් මහතා වැනි කුඩා කණ්ඩායමක් තමන්ට පුළුවන් උපරිමයෙන්ම ලංකාවේ ක්‍රිකට් දියුණු කරවන්න කැප වුණා. ඒ අයට ලංකාවේ ක්‍රිකට් ගැන ලොකු විශ්වාසයක් තිබුණා.  


සීතා සිවම්ලා, මයිකල් සේරලා, ඩේවඩ්හයින්ලා, ටෝනි ඕපාතලාගේ ඉදන් අනුර තෙන්නකෝන්ලා, සුනිල් වෙත්තමුනිලා, බන්දුල වර්ණපුරලා, දුලිප් මෙන්ඩිස්ලා, අර්ජුන රණතුංගලා මේ ක්‍රීඩාව වෙනුවෙන් ලේ, දහඩිය, කඳුළු හලපු හැටි අපගේ පියාණන් දැක තිබුණා.  


එම නිසයි ලෝක කුසලානය දිනාගත් ලංකා කණ්ඩායම දිවයිනට පැමිණ මුල්ම කාර්ය ලෙස කණ්ඩායමේ නායක අර්ජුන රණතුංගයන් හා උපනායක අරවින් ද සිල්වා සිය කුසලානය ද රැගෙන ශ්‍රීමා දිසානායක මාගේ මෑණියන් හමුවීමට පැමිණියේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් ගාමිණී දිසානායකයන් කළ අමරණීය සේවයට හා කැපවීමට කළගුණ සැලකීමක් වශයෙනි.  


1975 වසරේ පළමුවෙනි ලෝක කුසලානයේ දී ඕස්ට්‍රේලියාව ලබාදුන් ලකුණු 328ක ඉලක්කයක් බය නැතිව හඹා යන කොට ජෙෆ් තොම්සන්ගේ පන්දුව වැදිලා සුනිල් වෙත්තමුණි සහ දුලිප් මෙන්ඩිස් තුවාල කරගෙන පිටිය මැද ඇද වැටෙන කොට ද එකල වර්ණ භේදය ද පැවති වකවානුවකි. එනමුත් අපගේ පියාණන් වගේ අයගේ විශ්වාසය තවත් තහවුරු වුණා.  


1979 දෙවැනි ලෝක කුසලානයේ දී ක්‍රිකට් ලෝකයේ ලිලිපුට්ටො වෙලා හිටපු ලංකාව ප්‍රබල ඉන්දියාව පරද්දන කොට ඔවුන්ගේ විශ්වාසය තව තවත් වැඩිවෙලා මතු යම් දිනයක දී ක්‍රිකට් ලෝකයම පරද්දන්නට පුළුවන් යන සිතුවිල්ල එන්න ඇති. එම නිසයි ඕස්ට්‍රේලියාවට ගොස් ජගත් පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකු වන ශ්‍රීමත් ගාර්ෆීල්ඩ් සෝබස් මහතා හමු වී අපේ ක්‍රිකට් කණ්ඩායමට පුහුණුවීම් ලබා දීමට ලංකාවට පැමිණීමට ඇරයුම් කළේ. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවටත් එහි සීමා නොපෙනෙන අනාගත වර්ධනයටත් අවස්ථාවක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනි.  


ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රීඩකයා බෙහෙවින් ආදරය කළ යුතුයි. ආදරය නිසා දැඩි කැපවීමක් කළ යුතුය. එබදු සන්දර්භයක් තුළ බොහෝ දෙනෙකු සිය පුද්ගලික භාවයත් ජනප්‍රියභාවයත් තහවුරුකර ගන්නා අතරම ඔවුන්ගේ ඒකාබද්ධතාවය නැතිවීම ද ක්‍රීඩකයන් කෙරෙහි අහිතකර බලපායි. විශේෂයෙන්ම දැන් නායකයා ඇතුළු ක්‍රීඩකයන් දේශපාලන චක්‍රයට අසුවී ඇතැයි මා හට සිතේ.  


කෙදිනකවත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ තේරීම් කමිටුවේ තීරණවලට ඉහළ බලපෑම් එල්ල නොකළ යුතුයි. තේරීම් කමිටුව ස්වාධීන විය යුතුයි. ප්‍රේමසිරි ඈපාසිංහ ලියූ ලිපියක මෙසේ සඳහන් වී තිබුණි. ‘‘වයස අවුරුදු 18 දී ලාබාලතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස අර්ජුන රණතුංග කණ්ඩායමට ඇතුළත්වන විට ඔහුගේ පියා රෙජී රණතුංග දේශපාලන ප්‍රතිවාදියකු නිසා අකටයුතුකම් සිදු කිරීමට බලපෑම් ආවත් පියාණන් කළේ ඒ වෙනුවට ඔහුගේ දස්කම් දියුණු කිරීමට අවස්ථාවක් ලබා දීමයි. කවදාහරි ලංකාවට ලෝක කුසලානය ගෙන එන්නෙත් අර්ජුන රණතුංග බව ප්‍රකාශ කළ බව ද ඔහු සඳහන් කර තිබුණි. ඒ අර්ජුන රණතුංගගේ ක්‍රීඩාවට තිබූ ආදරය සහ කැපවීම උනන්දුව සාමුහික කණ්ඩායම් හැඟීම රටේ නාමය රැක ගැනීම, පරාජයන් හමුවේ නොවැටී ජයග්‍රහණය කරා උත්සාහයෙන් පිය නැගීම යන ගුණාංග තිබූ නිසයි. 1996 ලෝක කුසලානය ඔහුට ජයග්‍රහණය කළ හැකි වූයේ යැයි මා විශ්වාස කරන්නේ ය. 

 
ඉන්පසු අපේ ක්‍රිකට් ක්‍රීඩාව හිතාගන්න බැරි තැන්වලට ගියා. අප ලෝක කුසලාන ගණනාවක අවසන් මහ තරගවලට ආවා. 20 ලෝක කුසලානය දිනා ගත්තා. ලෝක මට්ටමේ ක්‍රීඩකයන් බිහි කළා. කඩන්න බැරි ලෝක වාර්තා තිබ්බා. අපගේ මේ පුංචි රටට ඒ හැමදේම කරන්න හැකි වූයේ එක දෙයක් නිසයි. ඒ අපේ රටේ ක්‍රිකට් ගැන තිබූ විශ්වාසය නිසයි.  


එංගලන්තයේ දී අපගේ ක්‍රීඩකයන් ක්‍රීඩා කරන ආකාරය දැකපු අපහට දැනුණේ දැන් ලංකාවේ ක්‍රිකට් ගැන විශ්වාසය බිංදුවටම වැටිලා ඇති බවයි. ක්‍රීඩකයන්ට රට ගැන වත් විශ්වාසයක් නැති බවත් ක්‍රිකට් ගැනවත් විශ්වාසයක් තිබුණේ නැති බවත් අවසානයේ ඔවුන්ට ඔවුන් ගැනවත් විශ්වාසයක් නැති බවත් පෙනී ගියා. 


එය නම් ක්‍රිකට් ක්‍රීඩාවේ මහා ඛේදවාචකයක් ලෙස  යි මා දකින්නේ. මේ රටේ ක්‍රිකට් ගොඩනගන්න නම් ඒ විශ්වාසය ආපසු ඇතිකරන්න  වෙනවා. එවිට සියලු ජනයාගේ ආශිර්වාදය ලැබෙනවා. ඊට කලින් ක්‍රීඩකයන්ගේ තිබූ  විශ්වාසය, උනන්දුව, කැපවීම බිඳ වැටීමට හේතු වූයේ මොනවාදැයි සොයා බැලිය  යුතුය. පලුදු වූ විශ්වාසය ඉක්මනින් ගොඩනගන්න බැරි බව තේරුම් ගන්න වෙනවා.  ක්‍රීකට්වලට ආදරය කරන අය ලෙසට අපට ඉල්ලන්න තියෙන්නේ මේ පලුදුවූ විශ්වාසය  පුළුවන් විදියට නැවත ගොඩනගන්න කියලා. එතකොට අපට ආයෙත් තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාව  සෙල්ලම් කරන්න පුළුවන් වේවි. ඔව් අපට දිනන්න  පුළුවන්. ක්‍රිකට් ක්‍රීඩාවට මුල් වූ මාගේ පියාණන් කොහේ හරි ඉඳන් මේ හැම  දෙයක් ගැනම උපේක්ෂාවෙන් බලාගෙන ඇති කියලා මා හිතනවා. ඔබ සියලු දෙනාටම වඩා  යහපත් හෙට දවසක් උදාවේවායි ප්‍රාර්ථනා කරනවා.