කෙසේවෙතත් තවම විදුලිය ගාස්තු වැඩිකරන ප්‍රතිශතය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹ නැත. ලංකා විදුලි බල මණ්ඩලය මුහුණ දී සිටින මුල්‍ය අර්බුදයේ ස්වභාවය අනුව ගාස්තු වැඩිවීමක් සිදුවිය යුතුය. ඊට සාපේක්ෂව සමස්ත රටේම ආර්ථිකය දරුණු පසුබෑමකට ලක්ව ඇති මෙවැනි අවස්ථාවක විදුලිය ගාස්තු වැඩිවීමක් සිදුවිය යුත්තේ සෑම පාර්ශ්වයකටම දරාගත හැකි වන අයුරිනි.

 

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉකුත්දාක එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ පවතින තත්ත්වය මත විදුලි ගාස්තු සංශෝධනය කළ යුතු බවය. එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 2014 වර්ෂයෙන් පසු විදුලිගාස්තු සංශෝධනයක් සිදුව නැති බවත් අඩු ආදායම්ලාභී ප්‍රජාව සහ රජයේ රෝහල්වලට බල නොපාන පරිදි ගාස්තු සංශෝධනයට පියවර ගන්නා බවත්ය.   

“විදුලි බිල වැඩි කිරීම ගැන අපි කැබිනට් මණ්ඩලයෙත් සාකච්ඡා කළා. ජනාධිපතිතුමාවත් දැනුවත් කළා. අඩු ආදායම්ලාභී ජන කොටස් හා රජයේ රෝහල් ඇතුළත් නොකර සංශෝධනය කළ හැකි සහ විදුලි ඒකක විශාල ප්‍රමාණයක් භාවිත කරන අංශ සඳහා ගාස්තු සංශෝධනයක් කඩිනමින් විය යුතුයි කියලා අපි යෝජනා කරලා තියෙනවා. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව යම් කාලයක් ඇතුළත එය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. විදුලි බිල ගාස්තු සංශෝධනය වුණොත් විශාල වශයෙන් විදුලිය ඒකක භාවිත කරන හෝටල් කර්මාන්ත හා නිවාස සඳහා දැනට අය කෙරෙන විදුලි බිල තුන් හතර ගුණයකින් ඉහළ යන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි ඒ අයට යෝජනා කරනවා සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කළ හැකි සූර්ය පැනල සඳහා යොමු වීම සුදුසුයි කියලා.”   


ලංකා විදුලි බල මණ්ඩලය මේ වසරේ මාර්තු මස 19 දාතමින් යුතුව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමු කළ ලිපියක් මගින් විදුලි ගාස්තු සංශෝධනයක් සඳහා අවසර ඉල්ලා තිබේ. අදාළ ලිපියෙහි දැක්වෙන තොරතුරුවලට අනුව විදුලි බල මණ්ඩලයේ වාර්ෂික ආදායම් අවශ්‍යතාව රුපියල් බිලියන 505 ක් වුවත් විදුලි ඒකක අලෙවියෙන් උපයන වාර්ෂික ආදායම රුපියල් බිලියන 276 කි. එබැවින් මණ්ඩලය යෝජනා කරන විදුලි බිල ගාස්තු වැඩිවීම සියයට 82.4 කි.   
විදුලි ගාස්තු සංශෝධනයක් සඳහා විදුලි බල අංශයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය අවශ්‍යය. නියමිත ක්‍රියාපටිපාටිය අනුව ලංකා විදුලි බල මණ්ඩලය විසින් සකස් කරනු ලබන ගාස්තු සංශෝධන යෝජනාවක් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවට යොමු කළ යුතු අතර එසේ ලැබෙන ඉල්ලීමක් සම්බන්ධ ක්‍රියාකාරීත්වයේදී පළමුව කොමිසම රජයේ ප්‍රතිපත්තිය විමසයි. එහිදී යම් විදුලි පාරිභෝගික කණ්ඩායමකට සහන ලබා දීමට රජය අදහස් කරන්නේ නම් ඒ පිළිබඳවද විමසයි. ඉන්පසු එය මහජනතාවගේ දැනගැනීම සහ ඔවුන්ගේ අදහස් ලබා ගැනීම සඳහා ප්‍රසිද්ධ කරයි. දැනගන්නට ලැබෙන පරිදි යෝජිත ගාස්තු සංශෝධනය සම්බන්ධ රජයේ ප්‍රතිපත්තිය විමසමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරිය දැනුම්වත් කර තිබේ. අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ යෝජිත ගාස්තු සංශෝධනයට අදාළ රජයේ ප්‍රතිපත්තිය පිළිබඳව මෙතෙක් කොමිසමට තොරතුරු දැනුම් දී නැති බවය.   


“විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා කොමිෂන් සභාවට යෝජනාවක් ඉදිරිපත් වුණහම අපි රජයේ ප්‍රතිපත්තිය අහනවා. ඒකෙදි සහනාධාර ආදිය දෙනවද යන්න විමසනවා. ඒ අනුව අපි විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්තුමියට ලිපියක් යොමු කරලා තියෙනවා. නමුත් මෙතෙක් ඒ සඳහා ප්‍රතිචාරයක් ලැබිලා නෑ. රජයේ ප්‍රතිපත්තිය දැනුම් දුන්නට පස්සෙ අපි ඒක මහජනතාවගේ දැනගනීම පිණිස යොමු කරනවා. මහජන අදහස් සහ යෝජනා ලබා ගත්තට පස්සෙ තමයි අපි ගාස්තු සංශෝධනය ගැන තීරණය කරන්නෙ.”   
පවතින උග්‍ර විදේශ විනිමය හිඟය හමුවේ දැඩි අර්බුදයට ලක් වූ එක් ක්ෂේත්‍රයක් නම් බලශක්ති අංශයයි. එහි ප්‍රතිඵලයක් ලෙස තවමත් දෛනික විදුලි කප්පාදු කිරීම් සිදු වේ. ලංකා විදුලි බල මණ්ඩලය යනු කාලයක් තිස්සේ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායකි. publicfinance.lk වෙබ් අඩවිය ලංකා විදුලි බල මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ කර ඇති අධ්‍යයනයකට අදාළ වාර්තාවක දැක්වෙන තොරතුරුවලට අනුව 2010 සිට 2019 දක්වා ගත වූ කාලයේදී එම මණ්ඩලය වාර්තා කර ඇති මුළු අලාභය රුපියල් බිලියන 246 කි. 2021 වර්ෂයේ මහ බැංකු වාර්තාවෙහි සඳහන් තොරතුරුවලට අනුව 2020 වසරේදී පමණක් විදුලි බල මණ්ඩලය ලබා ඇති පාඩුව රුපියල් බිලියන 69.2 කි. කෙසේවෙතත් 2021 වර්ෂයේ වාර්තා කර තිබෙන්නේ රුපියල් බිලියන 22 ක අලාභයකි. ඊට අමතරව බැංකුවලින් ගත් කෙටි කාලීන ණයවලට සහ විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හා තවත් ස්වාධීන බලශක්ති නිෂ්පාදකයන් වෙනුවෙන් 2020 වසරාවසානය වෙන විට ගෙවීමට තිබූ මුළු මුදල රුපියල් බිලියන 208.4 ක් බවත් එම අගය 2021 වසර අවසන් වෙන විට රුපියල් බිලියන 237.8 ක් දක්වා වැඩි වී ඇති බවත් එහි දැක්වෙයි.   


ලංකා විදුලි බල මණ්ඩලය මේ ආකාරයට අඛණ්ඩව පාඩු ලැබීමට බලපා තිබෙන හේතු ගණනාවකි. එකක් නම් පාඩු පිට විදුලිය පාරිභෝගිකයා වෙත අලෙවි කිරීමය. විදුලිය ඒකකයක් නිපදවීම සඳහා වැය කරන මුදල සාමාන්‍යයක් ලෙස රුපියල් 47.18 ක් බව විෂය භාර අමාත්‍යවරයා අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය. එහෙත් විදුලි පාරිභෝගිකයන් වෙත එක් ඒකකයක් අලෙවි කරන්නේ රුපියල් 16 කටය. මේ අනුව මණ්ඩලය විදුලිය ඒකකයකින් ලබන පාඩුව රුපියල් 30කට අධිකය. කෙසේවෙතත් එහි අලාභය සඳහා බලපාන එකම හේතුව එය නොවේ. හදිසි මිලදී ගැනීම් යටතේ පෞද්ගලික අංශයේ ඩීසල් බලාගාරවලින් විදුලිය නිපදවීම කාලයක් තිස්සේ සිදු වෙයි. අමාත්‍යවරයාම පැවසූ පරිදි එවැනි පෞද්ගලික බලාගාරවලින් (ඩීසල් හා දැවිතෙල් පෞද්ගලික බලාගාර) විදුලිය ඒකකයක් නිපදවීමට රුපියල් 67.15 ක් වැය වේ. එවිට මණ්ඩලයට දරන්නට සිදුවෙන අලාභය තවත් වැඩිය.   


ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය පවසන්නේ මේ මොහොතේ විදුලි බිල වැඩි කිරීම අත්‍යවශ්‍ය බවය. එහි මාධ්‍ය ප්‍රකාශක විදුලි ඉංජිනේරු නන්දික පතිරණ මහතා ඒ සම්බන්ධයෙන් පළකර සිටියේ මෙවැනි අදහසකි.   


“විදුලිය නිපදවීමට වැය වෙන ඇත්ත පිරිවැයට විදුලි පාරිභෝගිකයන් මුදල් ගෙවිය යුතු බව තමයි තර්කය. ඒ තර්කය නිවැරදියි. දැන් තියෙන මිල ගණන්වලට අනුව ඩීසල්වලින් විදුලිය ඒකකයක් නිපදවීමට රුපියල් 200 ක් විතර යනවා. ඒත් මණ්ඩලය ඒකකයක් විකුණන්නෙ රුපියල් 16කට. එතකොට ඒ අලාභය කොහෙන්ද ආවරණය කරගන්නෙ. ඒ පාඩුව දරන්න වෙන්නෙත් මහජනතාවටමයි. විදුලිය අඩු වැඩි භේදයකින් තොරව පාවිච්චි කරන හැමෝටම ඒක බලපානවා. ඒ වගේම මේ වෙන කොට ගල්අඟුරු මිල ගණන් වැඩි වෙලා තියෙනවා. ඩොලරයේ රුපියල් මිලත් වැඩි වෙලා තියෙනවා. විදුලි මිල වැඩි කරනවා නම් ඒ වියදමුත් ආවරණය වෙන විදියට තමයි ඒක කරන්න වෙන්නෙ. සැපයුම්කරුවන්ට මුදල් ගෙවා ගත නොහැකිව විදුලි බල මණ්ඩලය මේ වෙන කොට මුල්‍යමය වශයෙන් කඩාවැටීමකට ලක්වෙලා තියෙනවා. ඒ නිසා ගාස්තු සංශෝධනය කරලා මණ්ඩලයට පාඩු නොවෙන විදියට විදුලිය සැපයීම කළ යුතුයි. මණ්ඩලයේ වාර්ෂික වියදම විතරක් රුපියල් බිලියන 550 ත් 600 ත් අතර අගයක් ගන්නවා. ඒත් විදුලිය විකිණීමෙන් ලැබෙන ආදායම රුපියල් බිලියන 250කට ආසන්න අගයක්. මේ පරතරය පියවීම අවශ්‍යයි. දවසකට පැය දෙක තුනක් විදුලිය කප්පාදු කළාට කමක් නෑ. ඒත් අපි කියන්නෙ ඩීසල්වලින් විදුලිය හදන්න එපා කියලා. ඒක ලොකු වියදමක් නිසා. විදුලි බිල වැඩි කළේ නැත්නම් මහජන බැංකුව කඩාවැටෙනවා. අනිත් පැත්තෙන් සැපයුම්කරුවන් අනතුරට ලක්වෙනවා. ගාස්තු සංශෝධනය නියමාකාර විදියට කරලා නැති බවටත් අපිට තොරතුරු වාර්තා වෙනවා. ඒත් ඉල්ලපු වැඩි කිරීම හරි සිදුවිය යුතුයි.”   


අමාත්‍යවරයා පැවසූ පරිදි මේ වන විට කර්මාන්ත ආයතනවලින් පළමු ඒකක 300 සඳහා ඒකකයට රුපියල් 10.80 ක් බැගින්ද ඒකක 300 ට වැඩියෙන් විදුලිය භාවිත කරන කර්මාන්තවලින් ඒකකයකයට රුපියල් 12.20 ක් බැගින්ද අය කෙරෙන අතර කර්මාන්ත කටයුතු දිරිගැන්වීම වෙනුවෙන් ඒසා අඩු මුදලකට විදුලිය අලෙවි කෙරෙන බව ද ඔහු සඳහන් කළේය. මේ අතර හෝටල් සඳහා විදුලිය ඒකකයක් වෙනුවෙන් අය කෙරෙන්නේ රුපියල් 21.50 ක මුදලක් බවද විජේසේකර මහතා කියා සිටියේය.   


විදුලි බිල ගාස්තු තුන් හතර ගුණයකින් ඉහළ ගියහොත් ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රය බරපතළ කඩාවැටීමකට ලක්විය හැකි බවත් රජයෙන් ඇඟලුම් කර්මන්ත සඳහා විදුලිය සහනාධාරයක් හිමි නොවන බවත් නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සංගමය කියයි. එහි ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා ඒ ගැන පැහැදිලි කරමින් පැවසුවේ මෙවැනි අදහසකි.   
“විදුලි බිල ගාස්තු තුන් හතර ගුණයකින් වැඩිවෙන බව කියමින් කර්මාන්ත ක්ෂේත්‍රය බිය කරන්න එපා කියලා අපි ඇමතිවරයට කියන්න කැමතියි. විදුලි ගාස්තු වැඩි කරනවට අපේ අකැමැත්තක් නෑ. ඒත් සාධාරණ අගයකට එය කළ යුතුයි. තුන් හතර ප්‍රමාණයකින් විදුලි බිල වැඩිකරනවට අපි විරුද්ධයි. එහෙම වුණොත් අපේ නිෂ්පාදන පිරිවැය ඉහළ යනවා. එතකොට අපිට තවදුරටත් තරගකාරී මිල ගණන් යටතේ ලෝක වෙළෙඳපොළට භාණ්ඩ අපනයනය කරන්න බැරි වෙනවා. ඒ වගේම කලාපීය රටවල විදුලිය ගාස්තු සමග සන්සන්දනය කරලා තමයි ගාස්තු වැඩි කළ යුත්තෙ. මේ වෙන කොට තෙල් මිල වැඩිවෙලා තියෙනවා. අපේ කර්මාන්ත ආයතන ජෙනරේටර්වලින් වැඩ කරන නිසා තත්ත්වය තවත් අමාරුයි. ප්‍රවාහන වියදම් සහ වෙනත් වියදම් වැඩි වෙලා තියෙනවා. සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමටත් සිද්ධ වෙලා තියෙනවා. ඒ අතරෙ විදුලි බිලත් වැඩි වුණහම ඒකෙන් මේ කර්මාන්තයට විශාල බලපෑමක් සිදුවෙනවා. එහෙම වුණොත් මේවා තවදුරටත් පවත්වාගෙන යෑම පිළිබඳ ප්‍රශ්නයක් මතු වෙනවා. ඇඟලුම් කර්මාන්තශාලාවලට විදුලි සහනාධාරයක් ලැබෙන්නෙ නෑ. සාමාන්‍ය අයකිරීම් අපිටත් අදාළයි. සූර්ය පැනල විදුලිය වෙනුවෙන් විදුලි බල මණ්ඩලයෙන් ලැබිය යුතු මුදල් ජනවාරි මාසෙ ඉඳන් ගෙවලා නෑ.”   


කෙසේවෙතත් තවම විදුලිය ගාස්තු වැඩිකරන ප්‍රතිශතය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹ නැත. ලංකා විදුලි බල මණ්ඩලය මුහුණ දී සිටින මුල්‍ය අර්බුදයේ ස්වභාවය අනුව ගාස්තු වැඩිවීමක් සිදුවිය යුතුය. ඊට සාපේක්ෂව සමස්ත රටේම ආර්ථිකය දරුණු පසුබෑමකට ලක්ව ඇති මෙවැනි අවස්ථාවක විදුලිය ගාස්තු වැඩිවීමක් සිදුවිය යුත්තේ සෑම පාර්ශ්වයකටම දරාගත හැකි වන අයුරිනි. කර්මාන්ත ආර්ථිකයට වන බලපෑම පිළිබඳ මනා අවබෝධයකින් යුතුව තීරණ ගත යුතුය.   

 

සටහන 
උපුල් වික්‍රමසිංහ