සාමාන්‍ය සිවිල් පුද්ගලයෙකු මෙන් නොව භික්ෂූන් වහන්සේ පෙනුමෙන් ප‍්‍රියජනක විය යුතු අතර අාධ්‍යාත්මික ගුණයෙන් පොහොසත් විය යුතුය. නොපැහැදුණු අයගේ පැහැදීමටත්, පැහැදුණු අයගේ පැහැදීම වැඩිවීම සඳහාත් එය අවශ්‍ය වේ. මේ සියල්ල මුහුණෙන් ප‍්‍රකාශිතය. ගිහියෝ කොණ්ඩය තෙල් ගා පීරා මුහුණේ රැවුල කිසියම් පිළිවෙළකට කපා ගන්නේ ඒ නිසා ය. කාන්තාවෝ ඊට වඩා වෙනස් අයුරින් අලංකාර ලෙස හැඩවෙති. ඒ පංච කල්‍යාණයට කෙස්ද අයිති වන බැවිනි. භික්ෂු සමාජයට එය අයිති නොවේ. භික්ෂූන් වහන්සේ කෙස් රැවුළු සම්පූර්ණයෙන්ම කපති. සමහර නිකායන්හි කෙස් රැවුළු වලට අමතරව ඇහි බැම ද ගා ගෙන සිටිති.
එහෙත් සමහර තරුණ භික්ෂුන් වහන්සේ පමණක් නොව වනවාසීව වැඩ වාසය කරන බොහෝ භික්ෂූන් වහන්සේලා ද කෙස් රැවුළු පමණක් නොව ඇහි බැම ද සාමාන්‍ය මිනිසුන් ආකාරයෙන් වවා ගෙන සිටිති. සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙය අතහැර පැවිදි දිවියට ඇතුළත් වූ අවස්ථාවේ තම මඟුල් කඩුවෙන් හිසකෙස් කපා දැමූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති අාධ්‍යාත්මික පාරිශුද්ධිය පසක් කර ගැනීම සඳහා භික්ෂූන් වහන්සේට කෙස් රැවුළු බාධාවක්ද? නැතිද? උන්වහන්සේලාට එය බාධාවක් නොවන්නේ නම්, බුදු දහමට එය බලපාන්නේ කෙසේද? කොණ්ඩා රැවුළු වවාගෙන නිවන් ගිය නොහැකිද? ඒ අාකාරයෙන් නිවන් ගිය නැතිනම් රහතන් වහන්සේලා අතීතයේ වැඩ වාසය කළේ නැතිද? මේ ඒ ගැන සොයා බැලීමකි.

බුද්ධකාලීන භාරතීය සමාජයේ ජීවත් වූ නිගණ්ඨ, ආජිවක, අචේලක, පරිබ‍්‍රාජක ආදී අන්‍ය ශ‍්‍රමණ කණ්ඩායම් අපිරිසිදු බව තුළ ම ශීල ව‍්‍රතය සම්පූර්ණ වන බව පිළිගත්හ. එබැවින් කුණු දූවිලි තවරා ගැනීම, කිලිටි වස්ත‍්‍ර ඇඳීම, දිග නිය හා කෙස් සහිත බව, ස්නානය නොකිරීම, මල මුත‍්‍රා බැහැර නොකිරීම ආදී ක‍්‍රියාවන් අනුගමනය කළහ. එහෙත් බුදුරජාණන් වහන්සේ ගොඩනැඟූ භික්ෂූ සමාජය එවන් චර්යාවන් බැහැර කොට නිර්වාණය සාක්ෂාත් කළ හැකි උසස් චර්යා ධර්ම පද්ධතියක් තුළ පිහිට වූහ. එබැවින් නිර්වාණ ප‍්‍රතිපදා මාර්ගයට ප‍්‍රවේශ වූ භික්ෂූන් වහන්සේ තුළ කායික පාරිශූද්ධ හා මානසික පාරිශූද්ධිය යන අංශ දෙකම ඇති විය යුතු බව පෙන්වා දුන්හ. එමගින් නොපැහැදුණු අයගේ ප‍්‍රසාදය සඳහාත්, පැහැදුණු අයගේ ප‍්‍රසාදය වැඩිදියුණු කිරීම සඳහාත් හේතු වන බව බුදුන් වහන්සේ වදාළහ.
බුද්ධ ශාසනය ආරම්භ කළ අවස්ථාවේදී කිසියම් පුද්ගලයෙක් පැවිදි කළ යුතු ආකාරය පිළිබඳව බුදුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක. ”කේෂ මස්තෝ හරනංච, චීවරදාන මේවච, සරණාගමණං දානංච, පබ්බජ්ජාති තිවංගතෝ.....” මේ අනුව මහණ දම් පිරීමට පෙර පළමුව සිදු කළ යුත්තේ කෙස් රැවුළු කපා ඉවත් කිරීමය. කෙස් රැවුළු මගින් සිදු වන්නේ ශරීරය අලංකාර කිරීමය. අල්පේච්ඡ ජීවිතයට ඒවා බාධාවකි. භික්ෂූත්වයට පත් වෙන්නේ නිදහස අපේක්ෂාවෙනි. එම නිදහස නැතිවී යාමට කෙස් රැවුළු ඉවහල් වේ. බුදුන් වහන්සේ කෙස් රැවුළු වශයෙන් වෙන වෙනම සඳහන් කර නොමැත.
සිද්ධාර්ථ කුමාරයා ආරම්භයේදි කෙස් රැවුළු කැපුව ද, බුද්ධ ශාසනය ආරම්භයේදි කෙස් රැවුළු කැපූ බව සඳහන් නොවේ. ප‍්‍රථම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ පස්වග මහණුන්ට ය. ප‍්‍රථමයෙන් ම ධර්මය අවබෝධ කර ගන්නේ කොණ්ඩඤ්ඤ තාපස තුමාය. එතුමා බුදුන් වහන්සේ අසලට පැමිණ..‘‘මට ඔබ වහන්සේගේ පැවිද්ද සහ උපසම්පදාව ලබා දෙන සේක්වා” යනුවෙන්.. ඉල්ලා සිටින ලදී. එහිදි බුදුන් වහන්සේ වදාරන්නේ...
‘‘මහණ මෙහි එන්න සියලු දුක් නැති කිරීම සඳහා බඹසර හැසිරෙන්න” යනුවෙනි. මේ පිළිබඳව පොත පතෙහි සඳහන් වන්නේ කොණ්ඩඤ්ඤ තාපසයාගේ කෙස් රැවුළු ඉබේ අතුරුදහන් වූ බව ය. බුදුන් වහන්සේ මෙහිදී පැවිද්ද සහ උපසම්පදාව යන දෙකම එකවර ලබා දුන්හ. එවිට කෙස් රැවුල් අතුරුදහන් වූ බව කියවේ. එහෙත් සැබවින්ම ඒ ආකාරයෙන් කෙස් රැවුළු අතුරුදහන් වි නොමැති අතර, එහිදී සිදු වී ඇත්තේ ඒ ගැන විශේෂ අවධානයක් යොමු නොකිරීම බව වැඩිදුරටත් පොත්පත්වල සඳහන් කර තිබේ. තවද එදා මේ සම්බන්ධයෙන් එතරම් සැලකිල්ලක් දැක් වු බවක් පෙනෙන්නට නැත. එයට හේතු වූයේ එවකට ප‍්‍රධාන අරමුණ වූයේ නිවන් දැකීම ය.
බුදුරජාණන් වහන්සේ අාධ්‍යාත්ම පාරිශුද්ධිය උදෙසාම දහම් දෙසූහ. උන්වහන්සේ ප‍්‍රථම රහතන් වහන්සේ හැට නම ධර්ම ප‍්‍රචාරය සඳහා පිටත් කර යැවීමේදී..‘‘මහණෙනි මුල මැද හා අග යහපත් වූ ධර්මය දේශනා කරව්”... යනුවෙන් වදාළහ. මෙහි මුල යහපත් ධර්මය ලෙස හඳුන්වන්නේ ජිවිතයේ ආරම්භක ක‍්‍රියාකාරකකම් ලෙස සලකන ඇවතුම්, පැවතුම්, සිරිත් විරිත් ඇතුළත් ශීලය පදනම් කර ගත් ක‍්‍රියා පද්ධතියයි. මුහුණ සේදීම, දත්මැදිම, කෙස් රැවුළු කැපීම ආදිය දවස පටන් ගැනීමේදී සිදු කළ යුතු ඇවතුම් පැවතුම් ය. මෙයින් අදහස් කරන්නේ භික්ෂුන් වහන්සේ තුළ කායික හා මානසික පාරිශුද්ධිය යන දෙකම පැවතිය යුතු බවය. එය නොපැහැදුණු අයගේ ප‍්‍රසාදය සඳහාත්, පැහැදුණු අය ගේ ප‍්‍රසාදය වැඩිදියුණු විම සඳහාත් හේතු වන්නකි.
කෙසේ වෙතත් ධර්මය ප‍්‍රචාරය කිරීම සඳහා හෝ තවත් කෙනෙකු හට දැනුම්වත් කමක් ලබා දීම සඳහා පළමුව තමා ගැන පැහැදීමක් පැමිණෙන්නා හෝ අසන්නා තුළ ඇති කළ යුතුව තිබේ. ඒ අනුව සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහාත් ප‍්‍රියමනාපී භික්ෂුන් වහන්සේ නමක් ලෙස ක‍්‍රියා කිරිමටත් මුහුණ සේදීම, දත් මැදීම, කෙස් රැවුළු කැපීම වැදගත් වේ. පිරිසිදු දත් දෙෙපලක් තිබීම සෞඛ්‍යමය වශයෙන් පමණක් නොව සමාජමය වශයෙන් ද වැදගත් වේ. එයට හේතුව වනුයේ අලංකාරය පිළිබඳ සංකල්පයේ දී දත් දෙෙපල පිරිසිදුව හා ලස්සනට තබා ගැනීම ‘‘දන්ත කල්‍යාණය” ලෙස හඳුන්වා දී තිබිමය.
භික්ෂූන් වහන්සේ පවිත‍්‍රතාවයෙන් හා සෞඛ්‍ය සම්පන්න වූ තරමට ම ශීල ප‍්‍රතිපදාවට පිවිසීමට ලෙහෙසිය. එසේ වුවත්, දැහැටි නොවැළඳූ හෙවත් දත් මදින්නේ නැති භික්ෂූන් වහන්සේට දොස් පහක් ඇති වන බව පෙන්වා දී ඇත. ඒවා නම් ඇස් පෙනීම දුර්වල වීම, මුඛයෙන් දුඟදක් හැමීම, රස නහර පිරිසිදු නොවීම, පිත ද සෙම ද බත වෙලා ගැනීම, බත රුචි නොවිම ආදිය වේ. ඒ ආකාරයෙන් මුහුණ පුරා රැවුළු වැවීම සහ කොණ්ඩය නොකැපීම නිසා ද විවිධ අසනිප තත්ත්වයන්ට ගොදුරුවීම පමණක් නොව ප‍්‍රසන්න පෙනුමක් ලබා දෙන්නේද නැත.
බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේ කෙස් රැවුළු කැපුවේ කෙසේද?
එදවස ඡබ්බග්ගිය භික්ෂූහු ශරීරයේ වැඩී ඇති ලොම් විවිධ ක‍්‍රමයන්ට අනුව කැපීමට පුරුදුව සිටියහ. සමහර දෙනෙක් රැවුළු අන්දම් තබා කපන්නටත්, රැවුළු එළු රැවුළු සේ කපන්නටත්, පපුවේ ලොම්, බඩෙහි ලොම් වැටිය තබා සෙසු තැන්හි ලොම් කපන්නටත්, සම්බාධ ස්ථානයන්හි ලොම් කපන්නටත් වූහ. ඒ ආකාරයෙන් ලොම් කැපීම කාමභෝගී ගිහියන් ගේ ස්වභාවයක් යැයි නින්දා කළහ. පපුවෙහි ද, පුරුෂ නිමිති ප‍්‍රදේශයෙහි ද දෙකිසිලි යන ස්ථානයන්හි ලොම් නොබෑ යුතු බවත්, එසේ කිරීම දුකට හේතුවක් බවත් බුදු රජාණන් වහන්සේ වදාළහ.
පුරුෂයෙකු ගේ පපුවෙහි ද දෙබාහු වල ද, දෙපා වල ද, ලොම් වැඩීම පෞරුෂයට හේතුවක් බව පැරැන්නන් ගේ පිළිගැනීමයි. ලොම් ගැලවීම හෝ කපා දැමීම සෞඛ්‍යයට ද හානිකරයි. සමෙහි ස්වේද ග‍්‍රන්ථීන් හි ආරක්ෂාවටත් හේතුකාරක වේ. ලොම් උගුලා දැමීම හෝ කපා දැමිම නිසා ස්වේද ග‍්‍රන්ථීන්ට ද හානි පැමිණිමටත් ඒ තුළින් සමේ සිදුරු තුවාල ඇති වීමටත් බලපායි. රහස්‍ය ප‍්‍රදේශයන්හි හා හිසෙහි වණයක් හෝ ආබාධයක් ඇති වූ කල්හි කෙස් හා ලොම් බෑමට ද අවසර ලබා දී තිබේ.
එදා සමාජයේ ඇතැම් භික්ෂූහු නාසයෙහි දිගු ලොම් දරමින් සිටියහ. එවිට ගිහියෝ පිශාච දරුවන් බඳු යැයි අවමන් කරමින් හෙළා දුටහ. බුදුන් වහන්සේ නාසයෙහි දිගු ලොම් දැරීම නොකළ යුතු බවත් එසේ දරන්නේ නම් දුකුළා ඇවැත් සිදුවන බවත් වදාළහ. එවිට ඇතැම්හු ගල් කැට මගින් හෝ මී ඉටි මගින් නහයෙහි දිගු ලොම් ගලවා දැමූ හ. එවිට නාසයෙහි රිදිමත් තුවාලවීමත් සිදු විය. මේ නිසා නහසයෙහි දිගු ලොම් කපා දමන ලෙස බුදුන් වහන්සේ වදාළහ. නාසයේ දිගු ලොම් දැරීම පවිත‍්‍රතාවටත් ප‍්‍රියශීලිභාවයටත් හානි කරය. දිගු ලොම් ගැලවීමේදී නාසයෙහි තුවාල වීම රිදීමත් පුද්ගල සෞඛ්‍යයට හානිකර ය. එබැවින් වැරදි චර්යා බැහැර කර ප‍්‍රියශීලි ප‍්‍රසාද ජනක චරිතයක් ලෙස භික්ෂූන් වහන්සේ සකස් විය යුතු පිළිවෙල ‘ඛන්ධක විනය” දේශනා තුළින් අවධාරණය කොට ඇත.
මේ අනුව පුද්ගල පවිත‍්‍රතාව හා සෞඛ්‍ය ආරක්ෂා කරලීම සඳහා ස්නානය, සිවුරු සේදීම, දත් මැදීම, මුහුණ සේදීම, ජලය පරිභෝජනය කිරීම, වැසිකිළි කැසිකිළි භාවිතය, නිය කැපීම, නාසයෙහි ලොම් කැපීම පපුවෙහි ලොම් නොකැපීම යන කරුණු බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට ඇතැයි සිතිය හැකිය.
විනය පිටකයේ පැවිදි උපසම්පදාව ලබා ගන්නා ආකාර කිහිපයක් පිළිබඳව සඳහන් කර තිබේ. ඉන් එකක් නම් ඒහි භික්ෂූ පැවිදි උපසම්පදාව ලබා ගැනීම ය. ඒහි භික්ෂූ පැවිදි උපසම්පදාව ලබන්න නම්, පෙර ආත්ම භවයන්හි ත‍්‍රිහේතුක ප‍්‍රතිසන්ධීන්හි උප්පත්තියක් ලැබු කෙනෙකු විය යුතුය. සංසාරයේ අෂ්ට පරිෂ්කාර (අටපිරිකර) වැනි පුජා කළ කෙනෙක් නම්, ඒ හේතු සම්පත් තියෙන කෙනෙකුට බුදු රජාණන් වහන්සේ නමක් හමු වූ පසු, ධර්මය අසා, එය අවබෝධ කර ගත් පසු, ‘‘පිංවත මෙහි එන්න සාසන බ‍්‍රහ්මචරියාවේ හැසිරෙන්න” යනුවෙන්.. උන්වහන්සේ ඔහුට ආරාධනා කර සිටින සේක. ධර්ම විනයෙහි සඳහන් වන ආකාරයට ඒ ගිහි තැනැත්තාගේ හිසකෙස්, රැවුළු ඉබේම බෑවිලා පාත‍්‍ර සිවුරු ඇතිව හැට වයස් පිරුණු භික්ෂූන්වහන්සේ නමක් විදියට බුදුරජාණන් වහන්සේ කරා පැමිණේ. එය පෙර සංසාරයේ සිදු කරන ලද පුණ්‍ය බල මහිමයෙහි විපාකයක් වශයෙන් සිද්ධ වෙන දෙයකි.

මේ ආකාරයේ පුණ්‍ය ශක්තියක් නොමැති කෙනෙක් නම්, බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය ශ‍්‍රවණය කිරීමෙන් පසු අරිහත්වය දක්වා අවබෝධ කර ගත හොත් නැතිනම් රහතන් වහන්සේ නමක් බවට පත් වුවහොත්, උන්වහන්සේ පැවිදි උපසම්පදාව ලබා ගත යුතුයි. එය ද ධර්මතාවයකි. එසේ වුවහොත් තමාට ම අටපිරිකර සපයා ගත යුතුව තිබේ. අෂ්ට පරිෂ්කාර තුළ භික්ෂූන් වහන්සේ නමකට ශ‍්‍රමණ වේෂය සඳහා අවශ්‍ය වන තුන් සිවුර, පෙරහන්කඩ, දැලි පිහිය, ඉඳිකටු නූල්, පාත‍්‍රය ආදි දේ ඇතුළත් ය. මෙයට දැලි පිහිය ඇතුළත් කර තිබීමෙන් අදහස් වන්නේ හිස කෙස්, රැවුළු කපා දැමිය යුතු බවය.
බුදුන් වහන්සේ ගැන සඳහන් කිරීමේදී එම තත්ත්වය අදාළ නොවේ. උන්වහන්සේ ගිහි ජීවිතයෙන් පැවිදි දිවියට ඇතුළත් වන අවස්ථාවේදී පමණක් කේශ ඡේදනය කර තිබෙන බවට සඳහන් වේ. සිද්ධාර්ථ කුමාරයා පැවිදි දිවියට ඇතුළත් වීමේ දී මඟුල් කඩුවෙන් හිසකෙස් කපා ගත් බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. බුදුන් වහන්සේගේ කේශධාතු පිළිබඳව දීඝ නිකායේ ලක්ඛන සූත‍්‍රයේ සඳහන් වේ. එහි සඳහන් වන ආකාරයට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතර එකක් වනුයේ උන්වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලාය. දක්ෂිණාවෘතව කරකැවී උඩුකුරුව පවතින බවය. මෙය බුදුරජාණන් වහන්සේට පමණක් තිබෙන සුවිශේෂී ලක්ෂණයකි.
ඉන්පසු පිරිනිවන් පෑම දක්වා උන්වහන්සේ කේශ ඡේදනය කළ බවක් සඳහන් නොවේ. බුදුන් වහන්සේ නොයෙකුත් අවස්ථා වල කේශධාතු වහන්සේ ලබාදුන් බව සඳහන් වී තිබේ. එනම්, ලංකවේ සුමන සමන් දෙවියන්ට (මහියංගන සෑයේ නිධන් කර ඇත) තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන්ට, කේශධාතු වහන්සේ දන් දුන් බවත් බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.‘‘ච කේශධාතු වංශය” නමින් පුස්කොළ පොතක් ද ඇත. එහි කේශධාතුන් වහන්සේලා තැන්පත් කර සාදා ඇති ස්ථූප හයක් පිළිබඳව සඳහන් වේ. එපමණක් ද නොව කේශධාතු සම්බන්ධයෙන් සාහිත්‍යයක් ද අප රටේ තිබී ඇත.
ඒහි භික්ෂූ පැවිදි උපසම්පදාවේදි පමණක් කේශ ඡේදනය අවශ්‍ය නොවේ. එය ඉබේටම සිදු වන්නකි. එහෙත් එසේ නොමැතිව වර්තමානයේ මෙන් කිසියම් පිංවත් පුද්ගලයෙක් පැවිදි දිවියට ඇතුළත් වීමේදි ඔහු ගේ කෙස් කපනු ලැබේ. ඊට හොඳම උදාහරණය රාහුල කුමාරයා පැවිදි දිවියට ඇතුළත් කිරීමේදි සැරියුත් මහ රහතන් වහන්සේ ඔහු ගේ කේශයෝ ඡේදනය කර තිබිම ය.
නිකාය අනුව ද කෙස් රැවුළු කැපිම වෙනස් වේ. ථෙරවාදී විනය ධර්මය අනුව නම්, කෙස් යනු හිසකෙස් ය. එනමුත් රැවුළු යටතට රැවුළු පමණක් නොව ඇහිබැම ආදිය ද ඇතුළත් වේ. ෙථරවාදී ශ්‍යාමෝපාලි භික්ෂූන් වහන්සේලාට රැවුළට අමතරව ඇහි බැම ද ඡේදනය කිරිම අනිවාර්ය වේ. බුදු දහමේ විනය පනවා ඇත්තේ භික්ෂූන් වහන්සේලාගේ පහසු විහරණය, සිල්වත් ජිවිතය පහසු කිරීම, නොපැහැදුණු අය ගේ පැහැදීම ඇති කිරීම, පැහැදුණු අය ගේ පැහැදීම තවදුරටත් වර්ධනය කිරීම සඳහා බව ඉහතදී සඳහන් කළෙමු.
කෙසේ වෙතත් ධර්මය අවබෝධ කිරීමේදි කෙස් රැවුළු වවනවාද, නැති ද යන්න ගැන වැදගත් නොවේ. ධර්මය අවබෝධ කර ගන්නා භික්ෂූන් වහන්සේ ඒවා තිබුණද, නොතිබුණද ධර්මය අවබෝධ කර ගන්නවා ඇත. නමුත් සාමූහිකව ප‍්‍රජාවක් ලෙස ජීවත් වන විට, බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වූයේ සැම භික්ෂූන් වහන්සේ නමක්ම එකම ආකාරයෙන් පවත්වා ගෙන යාම ය. අතීතයේ කෙස් රැවුළු වවාගත් භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කළෝ ය.
කුල දරුවෙකු පැවිදි දිවියට ඇතුළත් කිරීමේදී කෙස් රැවුළු කැපිය යුතු බව ධර්ම විනය පිටකයේ සඳහන් වේ. ඒ අනුව කපා ගන්නා ලද කෙස් කැබැල්ලක් ඔහු අත මත තබා පිරිමැද කේශා, කේශා, කේශා.... යනුවෙන් එහි ඇති පිළිකුල් බව මෙනෙහි කරමින් භාවනාවක් කළ යුතු බව දක්වා තිබේ. ඒ ආකාරයෙන් මෙනෙහි කිරීමේදි සමහර පිංවත් දරුවන් මහණ කිරීමටත් පෙර ධර්මය අවබෝධ කර ගනී. ඉන්පසුව භික්ෂූන් වහන්සේ හිස කෙස් ඡේදනය කරන සෑම අවස්ථාවකදී ම, ඒ ආකාරයෙන් මෙනෙහි කිරීමෙන් කර්මස්ථානයක් ද වේ. කෙසේ වෙතත් රේරුකානේ චන්දවිමල නායක ස්වාමින් වහන්සේ රචනා කර ඇති ‘‘උපසම්පදා ශීලය” නැමති කෘතියෙහි කෙස් රැවුළු පිළිබඳ සඳහන් කර ඇත. (එය සඳහන් වන්නේ චුල්ලවග්ගපාලියෙහිය). එම පොතෙහි සීක පදවල දැක්වෙන ආකාරය පහත දැක්වේ.‘‘න භික්ඛවේ දීඝා කේසා ධාරෙතබ්බා, යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස අනුජානාමි භික්ඛවේ දුමාසිකං වා දුවංගුලාම් වා ‘‘මහණෙනි දික් හිසකේ නොදැරිය යුතුය. යමෙක් දරා නම් ඔහුට දුකුළා ඇවැත් වේ. මහණෙනි දෙමසකට වරක් හෝ දෙඅඟලක් (අඟල් දෙකක්) වැඩුණු කල්හි හෝ හිසකෙස් කැපීම අනුදැනිමි.” (දුකුලා ඇවැත් බරපතළ ආපත්ති නොවේ. පෝය කර්ම, විනය කර්ම දේශනාවෙන් එම ඇවැත් පහ (නැති) කර ගැනිමට හැකියාව පවතී).
තවද පනාවෙන්, අතින්, ඉටි මිශ‍්‍ර තෙල් ආදී යම්කිසි ලාටුවකින්, දිය මිශ‍්‍ර තෙලෙන් හිසකෙස් නො පිරිය යුතු බවත්, යමෙක් පීරන්නේ නම් දුකුලා ඇවැත් සිදු වේ. ඇවැත් වන්නේ අලංකාරය පිණිස හිසකේ පීරීමෙනි. හිසකේ කෙළින් සිටින කෙනෙකුට අතෙහි වතුර ගා පිරි මැදීමෙන් ද, දූලි ඉවත් කිරීම පිණිස අත තෙමා හිස පිරිමැදීමෙන් ද ඇවැත් නොවේ.
මහණෙනි කතුරෙන් හිසකෙස් නො කැප්පවිය යුතුය. යමෙක් කැප්ප වූයේ නම් දුකුලා ඇවැත් වේ. ආබාධයක් නිසා කතුරෙන් හිසකෙස් කැප්පවීම අනුදැනමි.
මහණෙනි රැවුළු අලංකාරය ලෙස නො කැප්පවිය යුතුය. දෑඟුලකට වඩා නො වැඩවිය යුතුය. දෙකම්මුලෙහි දිගට ඉතිරි නොකළ යුතුය. සිවු කොනක් තබා නො කැප්පවිය යුතුය. ළයේ ලොම් නො කැප්පවිය යුතුය. උදරයෙහි ලොම් රොදක් නො තැබිය යුතුය. උඩු රැවුළු නො තැබිය යුතුය. සම්බාධක ස්ථානයන්හි ලෝම නො කැපිය යුතුය. යමෙක් කපා නම් ඔහුට දුකුලා ඇවැත් වේ.
”න භික්ඛවේ මස්සු කප්පාපේතබ්බං” යන සිකපදය ඇතැම්හු හිසකේ තිබිය දි රැවුළ පමණක් නො කැපිය යුතු ය කියා තේරුම් කරති. හිසකේ තිබිය දී ය කියා සීක පදයේ නොමැති බව උපසම්පදා ශීලය කෘතියේ සඳහන් වේ. ආබාධයක් ඇති කල්හි සම්බාධයෙහි ලොම් ඉවත් කිරීම අනුදනිමි යනුවෙන් ද එහි සඳහන් කර තිබේ.
කෙස් රැවුළු ගැන පමණක් නොව ශරීරයේ තවත් බොහෝ ස්ථාන පිළිබඳව ද සඳහන් කර ඇත. මහණෙනි, පැහැපත් කරන දෑ මුහුණෙහි නො ගැල්විය යුතුය. මුහුණෙහි වත්සුණු (පියුරු) නොගැල්විය යුුතුය. මුහුණෙහි තිලක නො තැබිය යුතුය. කය මුහුණ සායම් නො කළ යුතුය. දිග නිය, දිග නාස් ලොම් නො දැරිය යුතුය. පැසුණු කෙස් ලොම් නො ගැන්විය යුතුය. යමෙක් මේවා කෙරේ නම් දුකුලා ඇවැත් සිදු වන බව දැක්වේ.
අස්ගිරි මහා විහාරයේ පරිවේනාධිපති ලේඛකාධිකාරි නාරම්පනාවේ ආනන්ද ස්වාමීන්වහන්සේ, භික්ෂූන් වහන්සේ ගේ කෙස් රැවුළු කැපීම සම්බන්ධයෙන් මෙසේ වදාළහ. ගෞතම බුදුරජාණන් වහන්සේ ආභි සමාචාරික ශික්ෂා, අභි බ‍්‍රහ්මචාරික ශික්ෂා යනුවෙන් ශික්ෂා පද දෙකක් පනවා තිබෙනවා. ඒ ශාසනයේ ගෞරවය රැක ගැනීම සඳහා ය. අභි සමාචාරිය යනු උසස් හැසිරීමය. ගිහියන්ට වඩා භික්ෂූන් වහන්සේ උසස් හැසිරීමකින් යුක්ත විය යුතුය. තවද මෙය භික්ෂූ සංස්ථාවකි. මෙහි සාමූහිකත්වයක්, ගරුත්වයක් මෙන්ම ආදර්ශවත් බවක් ද තිබීම අවශ්‍ය වේ. සංස්ථාවේ ගරුත්වය සඳහා ඊට ආවේනික ලක්ෂණ පැවතිය යුතුයි. එහිදි සිවුර පෙරවීම, කොණ්ඩ රැවුළ කැපීම ක‍්‍රමානුකූලව සිදු විය යුතුව තිබේ. මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ මහා වග්ගපාලියේ ඛන්දක විනයේ ඉහත සඳහන් කළ ශික්ෂා පද පනවා තිබෙනවා. මෙය නිර්වාණයට අදාළ නොවන අතර භික්ෂූ සමාජයේ ගෞරවය සඳහා පනවන ලද්දකි. මේනිසා භික්ෂූන් වහන්සේ හිස රැවුළු කැපිය යුතුය.
භික්ෂූන් වහන්සේ කොණ්ඩා රැවුළ කැපීමෙන් සිල්වත් බව මැනිය නොහැක. එහෙත් එසේ වූවද භික්ෂූන් වහන්සේට අවශ්‍ය ආකාරයෙන් ද ජිවත් විය නොහැකිය. භික්ෂූන් වහන්සේ සංස්ථාවකට අයත් නිසා එම සංස්ථාවට, සම්ප‍්‍රදායන්ට අනුව වාසය කළ යුතුව තිබේ. සම්ප‍්‍රදායේ අනන්‍යතාව ප‍්‍රදර්ශනය වන්නේ හිස රැවුළු මුඩුකර කැපීමෙනි. සිවුර පෙරවීමෙනි. අන් අය ගේ පැහැදීමට ලක්වන්නේ ප‍්‍රියජනක අයුරින් ජීවත් වීමෙනි. බුදුරජාණන් වහන්සේ පහළ වීමටත් පෙර සිටම එදා සමාජයේ ශ‍්‍රමණ සම්ප්‍රදායක් පැවතුණි. ආභි බ‍්‍රහ්මචාරික ශික්ෂා යනු සියලු දුක් නැති කර නිර්වාණය අවබෝධ කර ගැනීම ය.
කෙසේ වෙතත් හිසකෙස් රැවුළු නොකැපිමෙන් මහා ඇවැතක් සිදු නොවේ. එසේ වුවත්, තම තමන්ට අවශ්‍ය අයුරින් හිස රැවුළු නොකපා සිටිය නොහැක. එය භික්ෂු සංස්ථාවේ ගෞරවයට හානි කරය. එපමණක් ද නොව සැදැහැති පුද්ගලයන්ගේ ශ‍්‍රද්ධාවට ද බාධාවක් ගෙන දෙනු ඇත. බෞද්ධ භික්ෂූන් වහන්සේ ගේ ඉහත සඳහන් කළ බාහිර ලක්ෂණ නැති වෙන විට, සාමාන්‍ය සම්ප‍්‍රදායන් නොරකින විට අපහැදිමට ලක්වේ. එය විනය පිටකයේ ”මනුස්සා උඡ්ජායන්ති කීයන්චි විපාචනී” යනුවෙන් සඳහන් කර ඇත. ශ‍්‍රමණ ගෞතම බුදුන් වහන්සේගේ ශ‍්‍රාවකයන් මෙසේ හැසිරෙන්නේ ඇයි ද කියා, මිනිසුන් උද්ඝෝෂණය කිරීම්, කෑ කෝ ගැසීම් කර තිබේ. අදටත් එය දක්නට ලැබේ. අනුන් සමග බද්ධ වී ගත කරන ජීවිතයක් භික්ෂූන් වහන්සේට තිබේ. මට ඕන ආකාරයට ජීවත් වෙනවා යැයි භික්ෂූන් වහන්සේට පැවසිය නොහැක්කේ ඒ නිසයි. භික්ෂූන් වහන්සේ අාධ්‍යාත්මික වශයෙන් පමණක් නොව බාහිර ස්වරූපයෙන් ද වෙනස් විය යුතුය. භික්ෂූන් වහන්සේ ගිහි සමාජයට වඩා සුවිශේෂී බව පෙන්වන කරුණු දෙක වනුයේ බාහිර ස්වරූපය සහ අාධ්‍යාත්මික ගුණය වේ. මෙයින් වැදගත් වෙන්නේ අාධ්‍යාත්මික ගුණය වුවත්, පැහැදීම ඇතිවීම සඳහා බාහිර ස්වරූපය හොඳින් පවත්වා ගෙන යා යුතුය. ඒ සඳහා කොණ්ඩා රැවුළු බාධාවකි.
වත්මන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සමහර සාමණේර භික්ෂූන් වහන්සේලා කොණ්ඩා රැවුළු වවා ගෙන සිටින බවට දෝෂාරෝණය කෙරේ. එය හරි යැයි කිසි විටෙකත් මම කියන්නේ නැහැ. එහෙත් අධ්‍යාපන කටයුතු සඳහා හිර වෙලා සිටින බැවින් බාහිර කටයුතු වලට යොමු වීමට කාලයක් ලැබෙන්නේ නැහැ. තරුණ බව නිසා ඒ ගැන නොසලකා කටයුතු කරනවා විය හැකියි. ඉහත සඳහන් කළ පරිදි එය බරපතළ පාපකර්මයක් නොවේ. එහෙත් උන් වහන්සේලාත් භික්ෂූ සංස්ථාවේ ගෞරවය රැකීමට බැඳී සිටිනවා. වනවාසී භික්ෂූන් වහන්සේ නිතර නිතර හිසකෙස් රැවුල් බෑම පාරිසරික තත්ත්වයන් අනුව ශාරිරික වශයෙන් හානි සිදුවන දෙයක් විය හැකියි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් නොමැති විය හැකියි.
ස්තූතිය- මහනුවර අස්ගිරි මහා විහාරයේ පරිවේනාධිපති ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද ස්වාමින් වහන්සේට සහ මල්වතු විහාරවාසී කුඹුරුලෙන ශ‍්‍රී සිද්ධාර්ථ පිරිවෙනේ ආචාර්ය හෙම්මාතගම පියදස්සී, ලේවැල්ල ගංඟාරාම විහාරස්ථානයේ ශාස්ත‍්‍රවේදී මඩාටුගම සෝරත යන ස්වාමින් වහන්සේලාට.
සටහන සහ ජායාරූප
සිසිර කුමාර බණ්ඩාර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd