රටම උණුසුම් කරමින් අලුත් ආණ්ඩුවක් පත්ව වසරකුත් මාස කිහිපයකුත් ගත වී අවසන්ය. ඒ ජයග්‍රහණයේ උද්දාමයට පත්වූවන්ද කම්පා කරවන අලුත් අලුත් මාතෘකා කලින් කලට විය.   


මේ වනවිට ලොකුම ප්‍රශ්නයක් වන්නේ උහුලන්න බැරි ජීවන බරක් ජනතාවගේ හිසමත පැටවීමයි. විදුලි බිල, ඉන්ධන මිල, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල, ගෑස් මිල ශීඝ්‍ර ලෙස ඉහළ යාමත් සමග අද ජනතාව කබලෙන් ලිපට ඇද දමා ඇත. එමෙන්ම එය ඉතා දරුණු ලෙස ජනතාවට මේ වනවිට බලපා ඇත.   


කොවිඩ් ව්‍යසනය හමුවේ රටේ ජන ජීවිත සහමුලින්ම අඩාල වී තිබේ. ස්වයං රැකියා ඇතුළු මොනයම් හෝ රැකියාවක නියැලී ජීවත්වූ මිනිසුන් ලක්‍ෂ ගණනකට රැකියා අහිමි වී ඇත. කොරෝනා ව්‍යසනයෙන් බැට කන ජනතාවට ජීවන වියදම දරාගන්නට නොහැකි මොහොතක ඉන්ධන මිල ඉහළ දමා ජනතාව පීඩනයට පත්කිරීම ඉතාම කනගාටුදායක කරුණකි.   


මේ වනවිට මෙරට වෙළෙඳපොළ තුළ සහල් කිලෝවක් අ​ලෙවි වන්නේ රුපියල් 130කටත් වඩා වැඩි මිලකටය. පොල් ගෙඩියක් රුපියල් 100 ඉක්මවා ගොස් ඇත. සැමන් ටින් එක අද රුපියල් 280 - 300 දක්වා ඉහළ ගොස් ඇත. තුන්වේල බත් කාපු ජාතියක් වූ අපට අද සහල් කිලෝවක් ගන්නට බැරි මට්ටමකට අහිංසක ජනතාව පත්වී ඇත. උහුලන්නට බැරි ජීවන වියදම තුළ අනාථ වී ඇති ජනතාව මැසිවිලි නගන්නේ මෙලෙසය.

 

පාරිභෝගියකුවන ඉන්ද්‍රානි මහත්මිය:-   


‘‘ඇත්තටම රජයක් විදියට රටේ ජනතාව පිළිබඳව මීට වඩා වගකීමක් තිබිය යුතුයි. උහුලන්න බැරි ජීවන වියදමත් එක්ක අපි ජීවිකාව ගැට ගහන්නේ ඉතාම අමාරුවෙන්. අපි කියන්නේ නැහැ අපිට ආණ්ඩුව හැමදේම දෙන්න ඕනා, අපිව බලාගන්න ඕනා කියලා. අපි ඉල්ලන්නේ ජීවන වියදම දරාගන්න බැරි තත්ත්වයක තියෙන්නේ, ඒ නිසා අත්‍යවශ්‍ය භාණ්ඩවලටවත් අපිට සහනයක් ලබා දෙන්න කියලා විතරයි.   


තුන්වේල බත් ටිකක් කන්න බැහැ හාල් කිලෝවක් 130 - 150 යි.   


අච්චර දුන්නා, මෙච්චර දුන්නා කියනවා. හැබැයි අපිටනම් ලැබුණු එකම සහනයක් නැහැ.’’   
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමත් සමග මෙරට අපහසුතාවන්ට කඩිනමින් සහන දෙන්නැයි ජනතාව රජයෙන් ඉල්ලීම් කරද්දී දිනෙන් දින බඩු මිල ඉහළ යමින් ඇත. පොහොර නොමැතිකමින් අද ගොවියාට ගොවිතැන එපා වී ඇත. සාධාරණ මිලක් හිමි නොවන නිසා එළවළු පළතුරු ​ගොවියාද කලකිරී සිටියි. මෙරට ආදායමට සක්‍රීයව දායකවන තේ දළු කර්මාන්තය පොහොර නොමැතිව අද අන්ත අසරණ වී ඇත. මේ රටේ ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩලයක් සිටින්නේ කුමටද? ඉතිහාසයේ කවරදාකටත් වඩා ජීවන වියදම ඉහළ කාලසීමාවක ඒ පිළිබඳව පාර්ශ්ව කිහිපයක්ම අප වෙන අදහස් දැක්වූයේ මෙලෙසය. 

 
පෑලියගොඩ පොදු වෙළෙඳපළේ තොග ව්‍යාපාරික නිලංග මහතා:-   


‘‘හැමදාම වගේ එක එක කතා උඩට එනකොට ආණ්ඩුව සද්ද්‍ නැතුව පොඩි මිනිහගේ පර්ස් එකට තට්ටු කරනවා. කඩේ ගිනිගත්තා, පෝර නැතිවුණා. මේවා උඩට එනකොට සද්ද නැතුව බඩුවල ගණන් වැඩි කරනවා.   


අපිට අත්‍යවශ්‍ය සේවා යටතේ මිනිසුන්ගේ ළඟට ගිහිල්ලා බඩු විකුණන්න කියනවා. ඒත් අඩුවට බඩු විකුණන්න බැහැ. අතරමැදියන්ගේ සූරාකෑම නිසා පාරිභෝගිකයා ළඟට යනකොට භාණ්ඩයේ මිල දෙගුණ වෙලා. ග්‍රෑම් 250ක් රුපියල් සීයයි කියනකොට මිනිස්සු ගන්නේ නැහැ. එළවළු 4ක් 5ක් ගන්න රුපියල් 500 විතර ඕනෑ. ආදායම් නැතුව මිනිස්සු ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්.   

 


 

කොළඹ ව්‍යාපාරික සංගමයේ ලේකම් චමින්ද විදානගමගේ මහතාද පැවසුව් මෙවන් අදහසකි.   


‘‘ඇත්තටම පසුගිය වසරේ භාණ්ඩවල ආනයනික බද්ද ඉහළ ගියා වගේම, ​දේශීය නිශ්පාදනවලත් මිල ශීඝ්‍ර වැඩිවීමක් සිදුවෙලා තියෙනවා. ආනයනය කරන අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමක් කරන්න බැරි තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ ඩොලර් එකක මිල උච්ඡාවචනය වීමත් එක්ක. හැබැයි පළමු කොරෝනා රැල්ල ආපු වෙලාවේ ලංකාවේ මාස 3කට වැඩි කාලයක් රට වසා තිබුණත් ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල අඩුපාඩුවක් තිබුණේ නැහැ. පළමු රැල්ලෙන් පස්සේ අපේ ආණ්ඩුව නිසි වැඩපිළිවෙළක් හැදුවේ නැහැ. කොටින්ම රට තුළ නිෂ්පාදන භාණ්ඩ බෙදා හරින්න හරි සිස්ටම් එකක්වත් නැහැ. අඩුම තරමේ මේ ආණ්ඩුවට හරි වැඩපිළිවෙළක් යටතේ සාමාන්‍ය ජනතාවට එළවළු ටිකවත් බෙදා හරින්න හරි ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ක්‍රමවේදයක් නොමැති නිසාම බඩු මිල ඉහළ ගියා. ​ගොවියාට මිලක් දුන්නේ නැහැ. ලාභය ගන්නේ අතරමැදියා. ගොවියාගෙන් රුපියල් 30 - 40 ගන්න එළවළු ටික පාරිභෝගිකයා ළඟට යද්දී රුපියල් 200 - 300 ක් වෙලා. ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ටික නිසි ආකාරයට බෙදා හරින්න ක්‍රමවේදයක් නැති නිසා, එළවළු පලතුරු විශාල ප්‍රමාණයක් අපතේ ගියා. පරිප්පු ටික, සීනි ටික, තේ කොළ ටික හිතු හිතූ ගණන්වලට දෙන්න ගත්තා.   


පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා:-  


‘‘ජීවන වියදම ගැන කතා කරනකොට මේක අත්‍යවශ්‍යය භාණ්ඩවල මිල අඩු විය යුතුම අවස්ථාවක්. මොකද කොරෝනා වසංගතය එක්ක මිනිස්සු හෙම්බත් වෙලා ඉන්න මොහොතක් නිසා එදිනෙදා කරපු රැකියා බිඳ වැටිලා. ආදායම් මාර්ග නැති වෙලා. එවැනි කාල සීමාවක ඉතිහාසයේ පළමු වතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ දරුණු ලෙස ඉහළ ගිහින් තියෙනවා. මේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමට හේතුවක් වෙන අතරමැදියාගේ ගසා කෑම නතර කරන්න මේ රජයට තාම බැරි වෙලා තියෙනවා. ඕනම රටක කූඨ ව්‍යාපාරිකයෝ, හොඳ ව්‍යාපාරිකයෝ කියන දෙපැත්තම ඉන්නවා. නිසි ක්‍රමවේද මගින් ඒවා කළමනාකරණය කරලා විනයක් ඇතුව ක්‍රමවේදයක් හැදුවානම් අද මේ තත්ත්වය උදා වෙන්නේ නැහැ.  


රජය සමහර භාණ්ඩවලට පාලන මිලක් දාලා තිබුණට ඒ මිල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අක්‍රමිකතා වෙනකොට ඒවට නීතිය ක්‍රියාත්මක කළොත් තමයි ඒ දෙනවා කියන සහනය පාරිභෝගිකයාට ලැබෙන්නේ. අත්‍යවශ්‍ය භාණ්ඩ පාරිභෝගිකයාට දෙන්න අපි වැඩපිළිවෙළක් හැදුවා කියලා ආණ්ඩුව කියනවා. මොකක්ද ඒ හදපු වැඩපිළිවෙළ. අඩුම තරමේ ඒ වැඩපිළිවෙළ සාර්ථක, අසාර්ථක කියලාවත් බලනවා කියලා පේන්නේ නැහැ. බඩු මිල වැඩි වෙන්නේ වැඩපිළිවෙළ අසාර්ථක නිසා නම් අසාර්ථක වීමට හේතුව ජනාධිපතිවරයා සොයන්න ඕන. හැබැයි එහෙම වෙනවා පේන්නේ නැහැ. 

 
රටේ ජනතාවට ආණ්ඩුවට සහන දෙන්න පුළුවන්. හැබැයි ඒකට ආණ්ඩුවට උනන්දුවක් නැහැ. ජනාධිපතිට පුළුවන් කමිටුවක් පත් කරලා ජනතාව සහන දෙන්න සහ දෙන සහන ජනතාවට ලැබෙනවද කියලා බලන්න. අද ගැසට් ගහලා මිල පාලනය කරන්න බැරි තත්ත්වයට පත්වෙලා තියෙනවා.

 

 

සටහන නදීශා අතුකෝරළ