සිනමාව වසන්ති චතුරානි සොයාගෙන ආවේ ඇගේ ආරාධනයකින් තොරවය. එය ජීවිතයේ අහඹු සිදුවීමකි.  බොහෝ යුවතියන් සිනමා නිළියක වන්නට සිහින මවද්දී වසන්ති ඒ සිහිනයට ගොඩ වූයේ සුමිත්‍රා පීරිස් විසින් ඇය සිනමා නිළියක ලෙස අභිෂේක කරනු ලැබීමෙන් පසුවය.   


තමා අධ්‍යාපනය ලබමින් සිටි ගම්පහ සිරිකුරුස විද්‍යාලයට පැමිණි සුමිත්‍රා පීරිස් ‘ගැහැනු ළමයි’ චිත්‍රපටයේ කුසුම්ට වසන්ති සුදුසු යයි තීරණය කරගත් දවසේ සිදුවීම් වරෙක වසන්ති පළ කළේ මේ අයුරිනි.   


‘මගේ මිතුරියන් කතා කළේ සුමිත්‍රා පීරිස් ගැනමයි. සමහරු ඇගේ බාහිර ස්වරූපය ගැන ද කතා කළහ. ඇය ගැන කියන්නට කිසිවක් නොදැන සිටි මම නිහඬව සවන්දී සිටියෙමි. (ඩී. කීරගලආරච්චි ලියූ ලිපියකින්)   
එදින සිස්ටර් ඇයට පණිවුඩයක් එවා තිබුණේ ඔෆිස් කාමරයට එන ලෙසය.   


‘ඩොරින්ට එන්න කිව්වේ මොකද කියල දන්නවද? මේ ඇවිල්ලා ඉන්නේ මිසිස් සුමිත්‍රා පීරිස්. එයා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයට ඩොරින්ව තෝරා ගන්න කැමැතිලු.’ (ඇගේ මුල් නම වසන්ති ඩොරින් විය. තිරය සඳහා චතුරානි යන්න එකතු කළේද සුමිත්‍රාය) 

 
කුඩා කලදි තම මව මියයාම නිසා ආච්චි ළඟ හැදුණු ඩොරින්ට ඊළඟ ප්‍රශ්නය වූයේ ඒ සඳහා ගෙදරින් අවසර ලබාගැනීමය. කලක් රූප සුන්දරී තරගයකට යන්නට පවා ඉඩ නොදුන් ඇයට චිත්‍රපටයක රඟපාන්නට යන්නට ගෙදරින් ඉඩ දෙයිද?   


එහෙත් අන්තිමේ ඇය ගෙදරින් අවසර ලැබ ‘ගැහැණු ළමයි’ හි කුසුම් වූවාය. කරුණාසේන ජයලත්ගේ කුසුම් දශක කීපයක්ම පාඨක හදවත් සසල කළ චරිතයකි.   


එවැනි චරිතයකට පණ පොවන්නට අහම්බෙන් අවස්ථාව ලැබීම එක් අතකින් චිත්‍රපටයක සිදුවීමක් මෙනි.   
 සියලු බාධක මැද පැමිණ නිළියක ලෙස දින තුනක් පුරා ‘ගැහැනු ළමයි’ හි කුසුම් ලෙස රඟපා ඇයගේ රූ ගතකොටස නැරඹූ දින සෑම කෙනෙකු තුළම වූ විශ්වාසය හා බලාපොරොත්තු දෙදරා ගිය බව ඇය පසු කලෙක පැවසුවාය.   


‘මට රඟපාන්න බැරිද?’ යි සියල්ලන්ගේම කඩවූ බලාපොරොත්තු හමුවේ ඇය වික්ෂිප්ත වූවාය.   
එහෙත් ‘ගැහැනු ළමයි’ තුළින් ලබා ගත් ජනප්‍රියත්වය ඔස්සේ සුමිත්‍රාගේම ‘ගඟ අද්දර’ රඟ පෑ පසු ප්‍රේක්ෂකයෝ ඇයට කොතරම් ආකර්ෂණය වුවද කියතොත් ඇය කිසියම් මානසික ආබාධයකින් පෙළෙන බව විශ්වාස කළහ. ඇය ඒ චරිතයට එතරම්ම සමීප වූවාය.   


‘ගඟ අද්දර’ නිර්මලාගේ චරිතය රූ ගත කළේ මානසික රෝහලේදීය. ඇයට එහිදී කිසියම් තැති ගැන්මක් ඇතිවූ බව පසුව සඳහන් කළාය. එහෙත් පසුව ඇයට එම පරිසරය හුරු විය. 

 
 මානසික රෝහලේදී හමුවූ එක් රෝගී තරුණියක ඇගෙන් අසා ඇත්තේ ‘ඔයා නේද වසන්ති චතුරානි. ඔයාගෙ අමල් බිසෝ චිත්‍රපටය මම බැලුවා...’ කියාය.මානසික ආබාධයකින් පෙළුණද මතක ශක්තිය ප්‍රබල එම තරුණියගේ රෝගී බව කෙරේ අනුකම්පාවක් ඇගේ සිත පිරී ගියේය. ඇය ඒ සිදුවීම තුළින් නිර්මලාගේ උමතු චරිතයට බෙහෙවින් සමීප වූවාය.   


ඇයගේ රඟපෑමේ සුවිශේෂි අංගයක් වූ ‘කතා කරන ඇස්’ ඇයගෙන් වඩාත් දකින්නට ලැබුණේ ගඟ අද්දර නිර්මලා වෙතිනි.   


 බොහෝ විචාරකයන් කීවේ වසන්තිගේ එක බැල්මකින් ඒ කතා කරන ඇස්වලින් වචන සිය දහස් ගණනකින් කිව නොහැකි හැඟීම් සමූහයක් තිරයේදී පළ කළ හැකි බවය.   


ඇය විවාහයෙන් පසුව රඟපෑමෙන් ඉවත් වූවාය. බොහෝ චිත්‍රපට ඇය අත්හැර දැමුවාය.   


සිය රංගන ජීවිතය පටන් ගත් සෙවණේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ බැද්දේගම චිත්‍රපටය පවා ඇයට අත්හැර දැමුවාය.   


එහෙත් සිනමාව ඇයට ඉන්නට ඉඩ නොදුන්නේය.   


යළිත් සිනමාවට පමණක් නොව ටෙලිනාට්‍ය රංගනයට ඇය ද‌ායක වූවාය. ‘සටන’ වැනි විනෝද‌ාත්මක චිත්‍රපටයකදී වුවද ඇයට ලැබුණේ විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයකි.   

 

මගේ ප්‍රථම චිත්‍රපටයවූ  ‘ශිල්ප දෙනු මැන’ චිත්‍රපටය නිර්මාණය කරද්දී වසන්ති පදිංචිව සිටියේ බම්බලපිටිය හන්දියේ පිහිටි සුවිසල් නිවසකය. ඒ වන විට ඇය ඉතා ජනප්‍රිය සම්මානනීය නිළියකි. ඒ වන විට ඇයගේ පුතු කුඩා අවධියේ පසුවිය.   


 මගේ චිත්‍රපටයේ ඇගේ නැන්දනියක ලෙස රඟපෑවේ දෙනවක හාමිනේය. පෙම්වතා වූවේ අමරසිරි කලංසූරිය.   
විල්සන් කරු දූෂිත දේශපාලකයකු සේ එහි චරිතයක් නිරූපණය කෙළේය.   


 කැමරා අධ්‍යක්ෂ වූයේ ඩොනල්ඩ් කරුණාරත්නය. වසන්ති, කලං, දෙනවක හා විල්සන් කරු සමගින් අපේ රූගත කිරීම් තිබුණේ බණ්ඩාරවෙලය. කැමරා උපකරණ ලෙස්ටර් ජේම්ස් පීරිස් නිෂ්පාදන ආයතනයෙනි.   
සියල්ල සූද‌ානම් කර රූගත කිරීම් සඳහා ඩොනල්ඩ් කැඳවාගෙන යන්නට පැමිණි විට ඔහු වෙනත් ටෙලිනාට්‍යයක රූගත කිරීමකය. එය ඉතා හදිසි කටයුත්තක් බව ඔහු කීවේය.   


ඩොනල්ඩ් මගේ චිත්‍රපටයේ රූ ගත කිරීම්වලට සහභාගි වූයේ වත්තල හෝටලයක එක දිනයක රාත්‍රී දර්ශන කීපයකට පමණි.   


 ඩොනල්ඩ්ට දින දී සියල්ල සූද‌ානම් කළ පසුව ඔහු ඒ වෙනුවට මර්සලින් එස්. පෙරේරා මට ලබා දුන්නේය. ඩොනල්ඩ් සමග රණ්ඩු කිරීමෙන් පලක් නැත. මා සැලසුම් කළ පරිදි සියල්ල නිම කළ යුතුය. කැමරා ශිල්පියාගේ ගැටලුව විසඳුනි.   


මම ඉන්පසුව වසන්ති හමුවීමට ගියෙමි. වසන්ති ගෙදර නැත. ගෙදරින් කීවේ කොල්ලුපිටියේ ශාන්ත මයිකල් රෝහලේ සිය පුතු රෝගී වීම නිසා ඇය එහි පුතු සමග නතර වී සිටින බවය. රෝහලට ගිය විට ඇය කීවේ කතරගම චාරිකාවක් ගොස් පැමිණි පසු පුතාට උණ සන්නිපාතය රෝගය වැළඳී ඇති බවය. පුතුගේ රෝගය තරමක් දරුණු බවත් ඒ නිසා නියමිත පරිදි බණ්ඩාරවෙල රූගත කිරීම්වලට සහභාගිවීමට නොහැකි බවත්ය.   


 මා දැන් කුමක් කළ යුතුද?   


වසන්ති නැතිව බණ්ඩාරවෙල රූගත කිරීම් කළ නොහැකිය. එහි දර්ශනවලින් වැඩි හරියකම ඇත්තේ වසන්ති, කලං හා දෙනවක හාමිනේය.   


එහෙත් ඇය එක පොරොන්දුවක් දුන්නාය. දින තුනක් ඇතුළත ඇය බණ්ඩාරවෙල දර්ශන තලයට එන බවය. ඇය ඒ සඳහා තමන්ම ගමනාගමන පහසුකම් සපයා ගන්නා බව ද කීවාය.   


 වසන්තිගේ ඒ වචන කෙරෙහි විශ්වාසය තබනු හැර අපට වෙනත් විකල්පයක් නොවීය.   


අපි බණ්ඩාරවෙලදී කලං, විල්සන් කරු සහ දෙනවක හාමිනේගේ රූ ගත කිරීම් පටන් ගතිමු. චිත්‍රපටය නිෂ්පාදනය කළ සීවලී වික්‍රමආරච්චි මෙයින් මහත් සසල වී සිටි බව සඳහන් කළ යුතුය. එහෙත් වසන්තිගේ පොරොන්දුව එකම බලා​ෙපාරොත්තුව විය.   


 ඇය පොරොන්දු වූ පරිදිම සිය සැමියා කුමාර් සමග මෝටර් රථයෙන් කියූ දිනට පෙරද‌ා බණ්ඩාරවෙලට පැමිණියාය. එක් අතකින් එය විමතියට කරුණකි. සිය එකම පුතු උණ සන්නිපාතය වැනි රෝගයකින් පෙළෙමින් සිටියදී තම පොරොන්දුව ඉටුකිරීම ඇගේ ගුණවත් බවට කදිම උදාහරණයකි.   


දැන් මෙන් ජංගම දුරකථන භාවිතය පැතිර නොතිබූ කාලයක ඇය පුතු දමා එන්නට හිත හදාගත්තේ කෙසේදැයි ප්‍රශ්නයකි. ඒ ඇය අපට වූ පොරොන්දුව ඉටුකිරීමටය. රූගත කිරීම් කෙරු​ණේ වැලිමඩ ප්‍රදේශයේය.   
බණ්ඩාරවෙල සිට වැලිමඩට උදේ පාන්දර පිටත්ව යන අප යළි එන්නේ මහ රෑ ය.

   
ඒ මදිවට සීතල දරාගන්නට ද නොහැකිය. ඇතැම් රාත්‍රියක තම රූගත කිරීමේ වාරය එනතුරු ඇය රෙද්දක් පොරවාගෙන බුලත් විටක් හපමින් සීතල මකා ගත්තාය. සියල්ල අමතක කර චරිතයේ ජීවත් වූවාය.   
ඇගේ කතා කරන ඇස් දෙබස්වලට ඉහළින් කැමරාවේ සටහන් විය.   


කලින් තිර පිටපත කියවා තිබූ නිසා ඇයට රූගත කරන දර්ශන පිළිබඳ අවබෝධයක් තිබිණ. ඇය කිසි විටෙකත් තම චරිතය රඟපානවා මිස විවිධ පහසුකම් ඉල්ලා කරදර නොකළාය.   


සරා නමැති එම චරිතය ඇය ආසාවෙන් රඟපෑවා යැයි සිතමි. බොහෝ චිත්‍රපටවල සම්මත දුෂ්ට සටන්කරුවකු ලෙස රඟ පෑ විල්සන් කරු මෙහි රඟපෑවේ දූෂිත දේශපාලනඥයකුගේ චරිතයක් නිසා ඔහු ද ඊට ආශා කෙළේය.   


මෙවන් බාධක මැද ‘ශිල්ප දෙනු මැන’ රූ ගත කර දෙබස් පටිගත කිරීමට පැමිණෙද්දී වසන්ති එහි රූපරාමු දැක බෙහෙවින් සතුටට පත්වූවාය.   


‘රණ්ඩු කර කර කළාට ‘ෆ්‍රේම්ස්’ ලස්සනයි. ඇය කීවාය.   


එහෙත් චිත්‍රපටය අතරමග නැවතිණ. වසන්ති ඒ කාලයේ හමුවන බොහෝ විටෙක ඇසුවේ චිත්‍රපටය ඉවර කරන්නේ නැද්දයි කියාය.   


‘අපි වයසට යන්න ඉස්සර වෙලා ඉතුරු ෂූටින් ඉවර කරන්න’ ඇය බොහෝ විට කීවේ එයයි. එහෙත් චිත්‍රපටය අවසන් කරන්නට ඉඩ ලැබුණේ නැත. එය නම් පුදුම චිත්‍රපටයකි.   


සරත් දසනායකයන්ගේ සංගීත අධ්‍යක්ෂණයට අනුව එච්.ආර්. ජෝතිපාලයන්ගේ සුවඳ රොන් ගීතය පටිගත කෙරුණේ එය විජය කුමාරතුංගයන් සමග රූ ගත කිරීමටය.   


එම දර්ශනය එන්නේ කලං හා වසන්ති විවාහ වූ දිනයේ විජය පැමිණ ගීතයක් ගයන ආකාරයෙනි. අප රූගත කිරීම් පටන් ගන්නටත් පෙරදිම විජය ඝාතනය විය. ඒ නිසා ගීතයේ අදහස අතහැර දමන්නට සිදුවිය.   
එක දවසක් පමණක් අපේ රූ ගත කිරීම්වලට පැමිණි ඩොනල්ඩ් ඉන්පසුව චිත්‍රපට පමණක් නොව ලංකාවද හැර දමා ඇමෙරිකාවට ගියේය.   


 දැන් ඇමෙරිකාවේ වෙසෙන ඩොනල්ඩ් මා සමඟ කතා කළ විට පවසන්නේ ‘මගෙන් උඹට අසාධාරණයක් වුණා සමාවෙයන් මචං’ කියාය. ඒ වසර ගණනක් ගෙවී ගිය පසුය.   


අාචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා මගෙන් දිනෙක ඉංග්‍රීසියෙන් ඇසුවේ ‘ඔයාගේ චිත්‍රපටයට මොකද වෙන්නේ කියාය.’   


‘මොකද වෙන්නේ කියල මමවත් දන්නෙ නෑ මිස්ට පීරිස්’ මම ඔහුට පිළිතුරු දුනිමි.   


 පසු කාලයේදී ජයන්ත බෝපේආරච්චි ද සම්බන්ධ කරගෙන එය අතීතාවර්ජනයක ආකාරයෙන් යළි රූගත කළේ එම්.ඒ. ගෆූර් මහතාය.   


ඒ අයුරින් සියල්ල නිමකර පසුබිම් සංගීතය ද අවසන්ව තිබියදී එය සරසවි චිත්‍රාගාරයේ නොසැලකිල්ල හේතුවෙන් එහි නෙගටිව් පට පමණක් නොව පොසිටිව් පටද විනාශ වී ගියේය. හේතුව චිත්‍රාගාරය වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියාවිරහිත වීමය. වහලෙන් වැහි වතුර බේරීමය. ලංකාවේ සිනමාවේ හැටි එහෙමය.   
ලෙස්ටර් මහතාගේ අවමඟුලේදී මට හමුවූ වසන්ති ‘ෆිල්ම් එක ඉවර කරන්න බැරි වුණා නේද? අපරාදේ’ යයි කීවාය.   


 සිදුවූ සියල්ල මම ඇයට කීවෙමි.   


‘මතකද බණ්ඩාරවෙල ලොකේෂන් එකේදී කලංගෙයි මර්සලින්ගෙ ගෝරිය. අම්මෝ එහෙම ගෝරියක්’ ඇයට තවමත් සියල්ල මතකය. එදා ඇස්වලින් කතා කරන නිළිය ලෙස හැඳින්වූ වසන්ති පසුගිය කාලයේ වැඩිහිටි චරිත රඟපෑවාය. ඒවා ද ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක්විය. 

 
 ඇය ඉන්පසුව ටෙලිනාට්‍ය නිෂ්පාදනය කළාය. දැන් ඒ සියල්ල නැවතී ඇත. වසන්ති චතුරානි නමැති ඇස්වලින් කතා කරන නිළිය දැන් අලුත් නිර්මාණයකින් දුටු කාලයක් මතක නැත. ඇය කලාවෙන් ඉවත් වෙලාද?   
ඇය චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින බව පමණක් පසුගිය කාලයේ වාර්තා විය.   

 

 

 

 රොඩ්නි විද‌ානපතිරණ