ලොකු සහෝදරයා පැමිණ
මුල් ම පාඩම කියා දුන් තැන
 හෙට්ටිකන්දේ පාමු ඕවිටේ 
ඉපල් අතු විතානය යට

දියපර කළුමැදිරිය ගස් පවා
ගන ඉඩෝරයෙ සුසුම් මුසු කරමින්,
එක මලක් වත් ඔහු නමින්
හෙළන්නට නොහැකි ව
කොඩ ව ගිය පත් එක දෙක
උණු හුළඟේ සලා ලූ ඒ
සූසාලිස් වසකට පෙරාතුව 
සැන්දෑව

ඔහු ය පැහැදිලි කෙළේ අප හට
සැන්දෑව බලගතු බව,
සන්ධ්‍යාව වෙත එළැඹුම නව උදැහැන වෙත ගමනබව

මහා මධ්‍යාහ්නයේ කෙළවර
අරුණාලෝකය ය කියමින්  ඔබ
තවමත් දැවි දැවී අඳුරු පත්ලෙකමෙ 
අප ළෙහි ගිනිදැල් නො නිවා තබා ඇත

       නන්දන වීරසිංහ