
මාදං කහට වෑහෙන කිරි මඳහසක
තාමත් පුන්සරා පොපියන මල් මතක
බාලේ පටන් දලුලන මුදු ලියවැලක
කාලය වෙළී මා ගෙනයයි මඳනලක
අකුරට ගිහින් ලද අලුයම් කිස පිණිස
කෑවෙමු කඩාගෙන රස කිඹුලා බනිස
කිසියම් දිනක වතුසුදු මල් පිපි මනස
පතුලට වැටුණි නොකියන පෙම්බර විනිස
කිරිසුදු ළමා සාරිය ඉණ වට නෙරිය
සුලලිත ගමන නළවන ඉඟසුඟ සිරිය
කොරවක්කනුත් දැනගෙන මා විඳි හිරිය
හැලගෙම්බන්ට කිව්වා කිව යුතු හරිය
පෙරහැර වඩින කඨිනේ හේවිසි මැද්දේ
සර සර ගගා මින්දද හීසර විද්දේ
ඇසි පිය අතර දිදුලන තරු එළි යුද්දේ
බකමූණන්ට හූමිටි ගිලුණා බැද්දේ
පුරහඳ වුවන බබළන නිල් අහස යට
කැලඹෙන හදකි සොබමන් යස රන්රුවට
ඇඹරෙන කලට මා පෙරහැර ඇදෙන විට
හිරිකිත ගතිය දැනුණා දියබරියන්ට
ළැමේ පිපෙන පෙති ගෝමර රටාවක
ගමේ බඹරු මන්මත්වී මුළාවක
නුඹත් දුරු ව ගිය පසු වෙන දිහාවක
අනේ අපට නම් කවදත් අමාවක
කඩුගන්නාව ඇඳගෙන මිහිදුම් සළුව
අම්බලමකට වෑහෙයි කළුවර ගොළුව
විඳ විඳ ගගන ඉඟිලන තරු ඉඟිනළුව
මතකය තවම මා රිදවයි දොඩමළුව
උලකින් සිදුරු වූ හදවත රිදුම ගෙන
කොළඹට උඩින් හඳ පායයි කරුණු දැන
තනතුරු සමඟ නිදි වැද තනි යහන පැන
නිදියන හිතට සෙත් කවියක වඩිනු මැන
විසිකොට දැහැටි දඬු බුරුසුව ගෙන අතට
මැද මැද සිනාසෙමි බොරුවට මම ලොවට
කඩදාසියක නොලියන කවියක බරට
දාඩිය කඳුළු පිරුණා බේරේ වැවට
කුමාර හෙට්ටිආරච්චි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd