වහලේ සිදුරු අතරින් වැහිබිඳු              බේරේ
ගොම මැටි නොගෑ බිම පොඩි වලවල් හෑරේ
කටු මැටි බිත්තියේ පොළොවට බර       තීරේ
මැටි ගැලවිලා දියකඳ යයි ගෙය             පාරේ

 

නිල මැසි රොදින් යටවුණු කැතකුණු    කසළ
කෝඳුරු කරල් ඇත එල්ලුණ ගෙයි       වහල
මේ ගෙට තිබෙන කමතක් වැනි පොඩි මිදුල
තණ කොළ උඩින් මතුවුණු තුත්තිරි     අකුල

 

කකුලක් බිඳුණ බංකුව, වැල් කැඩුණු  ඇඳ
මේ මුළු ගෙටම ඇති ලී බඩු දෙකය  හොඳ
මෝවිට ලිහුණු මාගල ලණු පොටක   බැඳ
එල්ලා තිබේ ගෙයි යට ලීයකට             ඇඳ

 

ගේ හරියටම නොකැඩුණු බඳුනක්  නැත්තේ
කළගෙඩියේ පැලැස්තර හත අට     ඇත්තේ
කුස්සිය කියන ගව මඩුවේ ළිප         මත්තේ
කසායක් දෙකක් මොන දවසෙ ද     නැත්තේ

 

දැළිකුණු වැකුණු ඇයගේ වැරහැලි     රෙද්ද
ලිපකට දැමූවිට අයියෝ                ඇවිලෙද්ද
සැප යනු ඇයට මොන තරමේ  බොරුවක්ද
ඇගෙ දුක අපායකවත් ඇත්තට            ඇද්ද

 

හාමත නිසා ලේ මස් ඇඟපතට           නැතී
වැහැරී ගිය දුබල ඒ ඇත්තියට              හතී
දෙනෙතේ නිතර පාහේ දුක් කඳුළු        ඇතී
දුප්පත් කම පෙනේ ඇගෙ සියොළඟම එතී

සාගර පලන්සූරිය