පැමිණියෙමි 
මහා මධ්‍යාහ්නය ගෙවාගෙන
නව අරුණු කැන් ඇතිරෙන
සමබිමට....

ආපසු හැරී නරඹමි
සපැමිණි නෙදිගු ගමනෙහි
ඇරැඹුම් පෙදෙස දෙස යළි ,
විදුලිය සිපත් නඟනා
මේකුළින් බර ය තවමත්
එපෙදෙස

සමඟ ආ සොහොයුරන් ගේ
රිහිරි පිට නැවැතුණු සිරුරුවල
ගෙවී ගිය අවසාන උණුසුම
ඈත දිගතින් යළි පැමිණ 
කිහිරඟුරු වී දවයි හදමස

ගිනි පිඹින රතැසියන් හමුවේ
තනි නොකර,අත් නොහැර
මා පසුපස ම විත්
අතරමඟ නැවැතුණ
සොහොයුරනි,
මේ උදාගිරි එළිය
මා දැන් මෙලෙස තනි ව ම
කෙ සේ නම් නරඹම් ද ?

මේ ඉතිරි මුළු දිවිය ම
නුඹලා සිය දෑස් සදා අඳුරෙහි ගිල්වා
මට දුන් අතිරේක දවස් ම ය

ගොර සපුන් ගෙන් මා සඟවා
නුඹලා මහී මවු ඇකයෙහි
පිනි, වැසි,කුසුම් ඈ
නන් වෙසින් සුවඳින් පහළ ව
ඇඳි ඇඳී යත මා හමුවේ

තව බොහෝ නව මුහුණු
මා නො ම දුටු විලස යේ
උදාගිරි පෙදෙසෙහි
ආලෝක මඬල වෙත,
වධකයන් සමඟ වුව
යා හැකි ය දැන් එමඟෙහි

එදෙසට මගේ අවසන්
ආචාරය පවත්වා
නවතිමි.......!

නන්දන වීරසිංහ