මැදියමද පසුවී
පෙනේ ඔබගේ කුටියේ
පහන් දැල්වෙනු
ඇසේ ඔබ මුමුණමින්
සක්මනේ යෙදෙනා අයුරු
පාරමින් හදවතේ සියුම් තැන්
පිටු පුරා පද මැවෙනා අයුරු
පෙළින් පෙළ පෙළගැසෙනු ඇත
මනඃකල්පිත රිදුම්වල තතු

සරා සඳ අහස හැර යන
සුයාමය පැමිණ ඇත
සේපාලිකා බිම වැතිර
සමුගන්න සුවඳ අර
තනි යහනෙ ගෙවී යන
කීවෙනි රැයද මෙය
ඔබ ලියන දහසකුත් කවි අතර
මටම වෙන් වූ කවක්
තවම ලියවී නැතිද


- ෂර්මිලා බංදුනී දංවත්ත -