(රන්ජන් කටුගම්පොල)

පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාලව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ගොනු කොට ඇති රිට් පෙස්සමේ කරුණු ලබන 12 වැනි දින තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ලෙස පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ශෂී මහේන්ද්‍රන් සහ ආදිත්‍ය පටබැඳීගේ යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවීණි.

එහිදී රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළව වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා කාලය ලබා දෙන ලෙසයි. එහිදී පෙත්සම්කාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ඥාණරාජ් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමේ අත්‍යසන්න තත්ත්වයක් උද්ගත වී ඇති නිසා පෙත්සම ගොනු කර ඇති බවද කීය.

නීතිඥවරයා සඳහන් කළේ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමේ අත්‍යසන්න තත්ත්වයක් උද්ගතවීම නිසා මෙම පෙත්සම ඉදිරිපත් කළ බවත් එළඹෙන සති අන්තයේ ඕනෑම දෙයක් සිදු වීමට හැකියාව තිබෙන හෙයින් අදාල පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මෙම සතිය තුළ දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.