පැමිණිල්ලක් ලැබුනොත් විමර්ශන කරනවා

- ඖෂධ නියාමන අධිකාරියේ සභාපති

නිරෝෂාන් ප්‍රේමරත්න

ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය මගහැර මෙරටට ගෙන්වන ලද ඉන්දියානු ඖෂධ බාහිර ෆාමසිවල අලෙවි කරන බවත්, මේ අතර ප්‍රධාන වශයෙන්ම පිළිකා ඖෂධ රැසක් පවතින බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

විශේෂයෙන්ම මහරගම අපේක්ෂා රෝහල ඉදිරිපිට පවතින ෆාමසි සහ දිවයින පුරා පවතින බාහිර ඔසුහල් රැසක මේ අන්දමට ලංකාවේ ලියාපදිංචි නැති පිළිකා ඖෂධ හා වෙනත් ඖෂධ වර්ග රැසක් අලෙවි කරන බවත් මෙම ඇතැම් ඖෂධවල මිල සාමාන්‍ය වෙළෙඳපොළ මිලට වඩා අඩුවන අතර, දැනට රජය මගින් සැපයීමට ලක් නොකරන ඇතැම් ඖෂධවල මිල සාමාන්‍ය වෙළෙඳපොළ මිලට වඩා කීප ගුණයකින් මිල වැඩි බවත් වෛද්‍යවරයා පෙන්වා දෙයි.

දැනට අපේක්‍ෂා රෝහලේ පිළිකා ඖෂධ රැසක හිඟය ඉස්මතු වී පැවතීම නිසා මේ අන්දමට රෝගීන් ලවා බාහිර ඔසුසැල්වලින් ඖෂධ ගෙන්වා ගැනීමට වෛද්‍යවරන්ට සිදුව ඇතැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසා සිටී.
අප මේ පිළිබඳව ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගෙන් කළ විමසීමකදී මෙසේ පැවසීය.

“මම දන්නා තරමින් අපට මේ පිළිබදව තවම පැමිණිල්ලක් ලැබිලා නැහැ. අපට සමහර අවස්ථාවල ඉන්දියාවේ පමණක් නොව විවිධ රටවල නිපද වූ ලියාපදිංචි නොවූ ඖෂධ විකුණන ස්ථාන ගැන ලැබෙන පැමිණිලි අනුව කියාත්මක වෙලා ඒවා වෙළෙපොළෙන් ඉවත් කිරීම සහ ඊට අදාළ නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා. 

ඔය කියන සිද්ධිය ගැන නිසි පැමිණිල්ලක් ලැබුනොත් ඒ ගැන සොයා බලා ඊට අවශ්‍ය පියවර ගන්න අප පැකිලෙන්නේ නෑ.”