ඔස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ විසිපහක මුදලක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය හුදකලා අතපසුවීමක් නොව ආයතන කිහිපයක පාලන ක්‍රියාපටිපාටි සහ මෙහෙයුම්වල  අසාර්ථකභාවයේ සමස්ත ප්‍රතිඵලයක් බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අවසන්  වාර්තාවේ සඳහන්වේ.

මෙහිදී සයිබර් අපරාධයකට සම්බන්ධ මුදල් වංචාවක් සිදු වී ඇති බව සහ මහජන මුදල් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ විසිපහක හොරකමක් සිදුවී ඇති බව විමර්ශනවලදී පෙනී යන්නේ යැයි ද එම වාර්තාවේ දැක්වේ.

තවද අලු‍තෙන් පිහිටුවන ලද රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ   ණය ආපසු ගෙවීමේ කාර්යයන් මෙහෙයවීම සඳහා පූර්ණ නිශ්චිත  විමර්ශන කොන්දේසි සහිත ලේඛනයක් නොමැති වීම ක්‍රියාපටිපාටි මෙහෙයුම් හිදැස් තවදුරටත් උග්‍ර කළ ප්‍රධාන පාලන අතපසුවීමක් බව ද  එහි සඳහන්වේ.

කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් එම වාර්තාව පසුගිය සිකුරාදා (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මෙසේ ඉදිරිපත් කෙරුණේ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද වාර්තාවකි.

මෙම වාර්තාව ඉදිරියේදී සිංහල සහ දෙමළ භාෂාවලින් මුද්‍රණය කරන බව හර්ෂ ද සිල්වා මහතා දැනුම් දුන්නේය.

මෙම සිද්ධියේදී අදාළ ආයතනය තුළ කිසියම් හවුල්කාරීත්වයක් හෝ කිසියම් කුමන්ත්‍රණයක් පැවතියේද යන්න ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කළ යුතු බවත් එය පාර්ලිමේන්තුවට කළ හැකි කටයුත්තක් නොවන බවත් මුදල් කමිටු වාර්තාවේ දැක්වේ.

නිලධාරීන්ගේ නොදැනුවත්කම හෝ නොසැලකිල්ල මත සිද්ධිය වූවා දැයි තහවුරු කරගත හැක්කේ එවැනි විමර්ශනයකදී බවද එහි සඳහන්වේ.

ණය ආපසු ගෙවීමේ ක්‍රියාවලියේදී අභ්‍යන්තර පාලන පද්ධතියේ පවතින ක්‍රමානුකූල පිරිහීම සහ යල් පැනගිය විද්‍යුත් තැපැල් යටිතල පහසුකම් හේතුවෙන් සයිබර් අපරාධයකට සම්බන්ධ වංචා සිදුවීමේ  අවදානම ඉහළ ගොස් ඇති බවද එම වාර්තාව නිගමනය කරයි.

ඵලදායි අභ්‍යන්තර පාලනය සහ ශක්තිමත් තොරතුරු තාක්ෂණ පද්ධති නොමැතිකම මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත ගැටලු‍ යොමු කිරීමේ ප්‍රමාණවත් ක්‍රියාපටිපාටි නොමැති වීමක්ද නිරීක්ෂණය වූ බව   වාර්තාව පෙන්වා දෙයි. 

සිද්ධිය පදනම් කරගෙන සමස්ත විදේශ ණය ගෙවීම පිළිබඳව වහාම විගණන විමර්ශනයක් කළ යුතු බවත් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය   රාජ්‍ය අංශයේ තොරතුරු පද්ධති පිළිබඳ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට හදිසි පියවර ගැනීම මෙන්ම මුදල් අමාත්‍යාංශයේ මූල්‍ය රෙගුලාසි වහාම ප්‍රතිසංස්කරණය කළ යුතු බවටත්   වාර්තාව නිර්දේශ කරයි.

හර්ෂද සිල්වා මහතා මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ ප්‍රකාශ කළේය.

“අපි මේ වාර්තාව  ඉදිරිපත් කරන්න කාලයක් ගත්තා. නොයෙක් අය මේක පරක්කු වෙනවා කියලා චෝදනා කළා. සියලු‍ මන්ත්‍රීවරුන්ගේ එකඟතාව මත සම්පූර්ණ වාර්තාව ඉදිරිපත් කරනවා. එතනදි කිසිම බෙදීමක් තිබුණේ නැහැ. ඒක ලේසි වැඩක් නොවෙයි. ඒ නිසා මම සියලු‍ මන්ත්‍රීවරුන්ට ස්තුතිවන්ත වෙනවා. කාර්යමණ්ඩලයත් දිවා රූ නොබලා වැඩ කළා. ඒ අයටත් ස්තුතිය පුද කරනවා.

මේ සිද්ධියෙන් මහ භාණ්ඩාගාරයට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ විසිපහක අලාභයක් සිදුවුණා. කාරක සභාව රැස්වී මේ සිද්ධිය ගැන දීර්ඝව සාකච්ඡා කළා. කාරක සභාවට ලබා දී ඇති ලේඛන අනුව මෙම තොරතුරු සභාවට ඉදිරිපත් කරනවා. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු සියලු‍ නිලධාරීන් මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු සියලු‍ නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සර්ට් ආයතනයේ නිලධාරීන් සම්පූර්ණ සහාය  දුන්නා. සයිබර් අපරාධවල අවදානම ඉහළ ගොස් ඇති බව  කමිටුව නිගමනය කරනවා.

අපරාධ නීතිය යටතේ චෝදනා ගොනු කිරීම නීතිපතිවරයාගේ වැඩක්. මේ වාර්තාවේ නිගමන මත පදනම්ව සියලු‍ විමර්ශන ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය සහ ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස කථානායකතුමාගෙන්ද  ඉල්ලා සිටිනවා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා: මේ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් දෙන්න කියලා ඉල්ලනවා

භානායක බිමල් රත්නායක මහතා: ඒ ගැන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කර තීරණයක් ගත හැකියි