සුජිත් හේවාජුලිගේ

දිවයින පුරා විවිධ තරාතිරම්වල පන්සියයකට වැඩි පිරිසකගේ වත්කම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශන ආරම්භ කර ඇත. විමර්ශන ආරම්භ කෙරුණු මෙම පිරිස අතර හිටපු මැති ඇමතිවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල දේශපාලනඥයන් හැටකට ආසන්න පිරිසක් ද  රජයේ උසස් නිලධාරීන් සියයකට ආසන්න පිරිසක් ද සිටිතියි එහි උසස්  නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය.

කොමිෂන් සභාවට ලැබුණු පැමිණිලි අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත. මෙපමණ පිරිසකට එරෙහිව වත්කම් විමර්ශන එකවර ආරම්භ කෙරුණු පළමු අවස්ථාව මෙය වේ. වත්කම් පිළිබඳ විමර්ශන පැවැත්වීමේ දී අල්ලස් කොමිසමට භාර දී ඇති වත්කම් බැරකම් ප්‍රකාශද විමර්ශනයට ලක් කෙරෙන බව එම නිලධාරියා සඳහන් කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට වත්කම් භාර දිය යුතු නිලධාරී කණ්ඩායමට මාධ්‍යවේදීන් මෙන්ම වාප්පු  ලිපිකරුවන් ද මෑතක දී ඇතුළත් කෙරිණ. වත්කම් බැරකම් ප්‍රකාශ භාරදීමේ කාලය පසුගිය 30 වැනිදායින් අවසන් විය. වෙබ් අඩවියේ ගැටලු‍ හේතුවෙන් ඊට ඇතුළු වීමට නොහැකි වූ අයට පසුගිය 07 වැනිදා දක්වා කාලය ලබා දී තිබිණ.

වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම පැහැර හරින පුද්ගලයන්ට එරෙහිව දඩ මුදල් අය කිරීමක් හෝ අධිකරණ ක්‍රියාමාර්ග (වසරකට නොවැඩි සිරදඬුවමක් සහ දඩ මුදල්) ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) කටයුතු කරයි. ඒ 2023 අංක 09  දරන දූෂණ විරෝධී පනතේ 80(1) වගන්තියෙන් පැවරී ඇති බලතල අනුවය.