සුජිත් හේවාජුලිගේ සහ ගයාන් සූරියආරච්චි
බොහෝ බන්ධනාගාරවල පවතින අධික තදබදය සහ පහසුකම් අඩුකම හේතුවෙන් විවිධ ගැටලු මතුවිය හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අධිකරණ අමාත්‍යාංශයට සහ බන්ධනාගාර ප්‍රධානීන්ට මීගමුවේ සිද්ධියට පෙර අවස්ථා ගණනාවකදීම දැනුම්දී තිබුණ ද ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජී. පුංචිහේවාගෙන් කළ විමසුමක දී ඔහු පැවසුවේ බන්ධනාගාරවල තදබදය සහ පහසුකම් අඩුකම හේතුවෙන් විවිධ ප්‍රශ්න ගැටලු මතුවිය හැකි යැයි කොමිසම කල් තියා දැනුම් දී තිබූ බවය.
බොහෝ බන්ධනාගාරවල ජලය, ආහාර සහ ඖෂධ පිළිබඳ ප්‍රශ්න, සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ ප්‍රශ්න, නිදාගැනීමේ පහසුකම් නොමැතිකම ආදී ගැටලු රැසක් පවතින බවට හඳුනාගෙන එම ගැටලු වහා නිරාකරණය කරන ලෙස අවස්ථා ගණනාවකදීම බන්ධනාගාර ප්‍රධානීන්ට නිර්දේශ කර තිබූ බව ඔහු සඳහන් කළේය.
සියලු බන්ධනාගාර දිගුකාලීන සහ කෙටිකාලීන වශයෙන් ප්‍රතිශෝධනයකට ලක්විය යුතු බව පැවසූ පුංචිහේවා බන්ධනාගාර වර්ගීකරණයකට ලක්කිරීම ද කාලෝචිත අවශ්‍යතාවක් බව ප්‍රකාශ කළේය.
අද බොහෝ බන්ධනාගාරවල දඬුවම් විඳින සිරකරුවන් සහ රිමාන්ඩ් සිරකරුවන් එකට රඳවා සිටින බවත් තවත් සමහර බන්ධනාගාරවල මත්කුඩු ජාවාරම්කරුවන් මත්වලට ඇබ්බැහිවූවන් සමග එකට රඳවා සිටින බවත් ඔහු පැවසීය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් යොමු කළ යුත්තේ පුනරුත්ථාපනයට බවද හෙතෙම පෙන්වා දුන්නේය. එසේම දුප්පත්කම නිසා දඩ ගෙවාගත නොහැකි පිරිස්ද දඬුවම් විඳින සිරකරුවන් අතරේ රඳවා සිටීම තවත් ගැටලුවක් වශයෙන් හඳුනාගත් බව කොමසාරිස්වරයා කීය.
බන්ධනාගාරයක අධික සිරකරුවන් පිරිසක් රඳවා තැබීම හේතුවෙන් නිලධාරීන් ද දැඩි අපහසුතාවට මුහුණ දී සිටින බවත් බන්ධනාගාරවල නිලධාරීන්ටද පහසුකම් ප්‍රමාණවත් නොවීමෙන් ඒ අයද දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දෙයි. මේ අතර මීගමුවේ සිද්ධියෙන් පසු රට පුරා සියලුම බන්ධනාගාර පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර ඇත. මේ අනුව එම කොමිසමේ නිලධාරී කණ්ඩායම් මේ දිනවල සියලුම බන්ධනාගාර පරීක්ෂාවට ලක් කරමින් සිටියි.
අඟුණකොළපැලැස්ස, බූස්ස, මඩකලපුව, දුම්බර, යාපනය සහ වැලිකඩ යන බන්ධනාගාරවලදී බන්ධනාගාර නිලධාරීන් විසින් රැඳවියන් වධහිංසාවලට හෝ වෙනත් අමානුෂික සැලකීම්වලට ලක් කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්විය යුතු බවට මානව හිමිකම් කොමිෂන් සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (රාජකාරි ආවරණය කරන) වෙත ලිපියක් මාර්ගයෙන් නියෝග නිකුත් කර ඇත.
වධහිංසාවල නිරත වූ හෝ ඒවා වැළැක්වීමට අපොහොසත් වූ බවට තහවුරු වන ඕනෑම නිලධාරියකුට එරෙහිව වහාම විනය පියවර ගැනීමත් එම විමර්ශනයේ සවිස්තරාත්මක වාර්තාවක් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලබාදිය යුතු බවටත් මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කළ ලිපියෙහි දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd