ලවංගා මාධවී දෑරංගල

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවගේ ජීවනෝපායයන් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම උදෙසා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඇමරිකානු ඩොලර් මිලියන 16.5 ක හදිසි ජාත්‍යන්තර ආධාර ඉල්ලා සිටී.

මේ දක්වා ආධාර වශයෙන් ලැබී ඇත්තේ ඇෙමරිකානු ඩොලර් 400,000ක් පමණක් වන අතර තවත් සියයට 97.6ක අරමුදල් හිඟතාවක් පවතින බව එම සංවිධානය සඳහන් කරයි.

දශක ගණනාවකට පසු මෙරටට පැමිණි දරුණුතම ස්වාභාවික ව්‍යසනවලින් එකක් වන මෙම සුළි කුණාටුව සමස්ත දිවයිනට ම බලපෑ අතර එයින් මිලියන 2.2 කට අධික ජනතාවගේ ජීවන කටයුතු අඩාළ විය. මිලියන 1.1 කට වැඩි පිරිසකට මේ වන විට ආහාර, කෘෂිකාර්මික සහ පෝෂණ ආධාර හිඟතාවක් පවතී. 

2025/26 මහ කන්නයේ ආරම්භයේදී ඇති වූ මෙම සුළිකුණාටුව මඟින් බෝග, පශු සම්පත් සහ ධීවර කටයුතුවලට විශාල හානි සිදු විය. ගොවිබිම් හෙක්ටයාර 129,000 කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යට වූ අතර ගොවිබිම් 227,000 කට වැඩි ප්‍රමාණයකට බලපෑම් ඇති විය. පශු සම්පත් සහ ධීවර කටයුතුවලට එල්ල වූ බලපෑම ද අතිමහත් ය.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඉල්ලා සිටින්නේ පළාත් හතක නිවාස 256,000ක් ඉලක්ක කර ගනිමින් භෝග නිෂ්පාදනය යථා තත්ත්වයට පත් කිරීම, පශු සම්පත් ආරක්ෂා කිරීම, ධීවර කටයුතු සඳහා සහාය වීම සහ මුදල් ආධාර සැපයීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවය. 

ඉක්මන් ජාත්‍යන්තර සහයෝගයක් නොලැබුණ හොත් මෙරට බහුතර ප්‍රජාවකට සම්පූර්ණ වගා කන්නයක් ම අහිමි වීමේ අවදානමක් ඇති බවත්, දිගුකාලීන ආහාර සුරක්ෂිතතාවට මෙය විශාල තර්ජනයක් විය හැකි බවත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය අනතුරු අඟවයි.