නිශාන්ත කුමාර බණ්ඩාර

ශ්‍රී ලංකාව අවට ගැඹුරු මුහුද පතුල ආශ්‍රිතව ජලලේඛන, විද්‍යාත්මක පර්‌යේෂණ කටයුතු සිදු කිරීම සඳහා ප්‍රංශය යුරෝ මිලියන 40 ක මුදලක් වෙන් කිරීමට තීරණය කර ඇත.

ඊට අදාළ අවබෝධතා ගිවිසුම කඩිනමින් අත්සන් කිරීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය විජිත හේරත් හා ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැමිබර්ටි (Remi Lambert) අතර පසුගියදා සිදුවූ හමුවක දී මේ පිළිබඳ අනාවරණය විය.

ලංකාවේ පවතින වත්මන් වාතාවරණය හමුවේ ප්‍රංශයේ බොහෝ සමාගම් මෙරට ආයෝජනය කිරීමට උනන්දුවෙන් සිටින බව මෙහිදීම තානාපතිවරයා විජිත හේරත් අමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කර ඇත.

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ප්‍රංශ ආධාර ඇතිව පවත්වාගෙන යන සමුද්‍රීය අධ්‍යාපන (Maritime Studis) වැඩසටහන තවදුරටත් ඉදිරියට කරගෙන යාමට ප්‍රංශ ජනාධිපතිවරයා කැමැත්ත පළකර ඇතැයි මෙහිදී තානාපතිවරයා සඳහන් කර තිබේ.

හයිටි රාජ්‍යයේ සාම සාධන මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවෙන් හමුදාව යොදවා සහාය දැක්වීමේ කටයුතුවලට ප්‍රංශ රජයේ සහාය හිමිවෙන බවද ප්‍රංශ තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇතැයි ද විදේශ අමාත්‍යාංශය පවසයි.