උපුල් වික්‍රමසිංහ

දැනට පවතින ණය වැඩසටහන අවසන් වූ පසු ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අමුදලෙන් තවත් ණය මුදලක් ගන්නවා ද යන්න තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකාවේ බලධාරීන් බව එම අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන නේවාසික නියෝජිත මාර්තා ටෙස්ෆායේ වොල්ඩෙමාරියම් ඉරිදා ලංකාදීපයට පැවසුවා ය. 

තවත් ණය වැඩසටහනකට අවතීර්ණ විය යුතු ද යන්න මෙරට බලධාරීන් සමග කරන සාකච්ඡා මත තීරණය වනු ඇති බව ද නේවාසික නියෝජිතවරිය ප්‍රකාශ කළා ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවත් ණය වැඩසටහනකට (18 වැනි ණය වැඩසටහන) අවතීර්ණ වීමට ශ්‍රී ලංකාවට සිදු වනු ඇති බවට ඇතැම් පාර්ශ්ව පළ කරන අදහස් පිළිබඳ එම ආයතනයේ මතය කුමක්දැයි විමසූ විට ඇය මේ බව සඳහන් කළා ය.

දැනට ක්‍රියාත්මක විස්තීරණ අරමුදල් ණය පහසුකමට අදාළ පස් වැනි සහ හය වැනි සමාලෝචන යටතේ ණය වැඩසටහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය ශක්තිමත්ව තක්සේරු කළ බව ද ඇය කීවා ය.

මෙම ණය වැඩසටහනේ තවත් සමාලෝචන දෙකක් ඉතිරිව තිබෙන බව කී ඇය, ඒවා 2027 වසරේ මාර්තු මස සිදුකිරීමට අපේක්ෂිත බවත් ප්‍රමුඛතාව ලබා දී තිබෙන්නේ මෙම ණය වැඩසටහන අවසන් කිරීමට බවත් ප්‍රකාශ කළා ය.