නිශාන්ත කුමාර බණ්ඩාර

මෙරට පිරිමි දරුවන්ට වඩා ගැහැනු දරුවන්ට ඇතිවන ”‍ස්කොලියෝසිස්”‍ හෙවත් කොඳු ඇට පෙළ අසාමාන්‍ය ලෙස වක්ව ඇතිවන රෝගී තත්ත්වය හඳුනාගෙන නිසි ⁣වේලාවට ප්‍රතිකාර නොකළ හොත් එය ජීවිත කාලය පුරා ක්‍රමයෙන් වැඩිවිය හැකි බව විකලාංග රෝග විශේෂඥ ශල්‍ය වෛද්‍ය උදායි ද සිල්වා පවසයි.

බොහෝ දෙනකු මෙම රෝගී තත්ත්වය ගැන අවබෝධයක් නොමැති වීම නිසා ප්‍රතිකාර කිරීමට රෝහල් කරා නොපැමිණීමෙන් රෝගය උත්සන්න වුවහොත් ශල්‍යකර්මවලට පවා ලක්විය හැකි බවද ඔහු පවසයි.

ස්කෝලියෝසිස් රෝගය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය. 

වෛද්‍යවරයා මෙසේද පැවසීය.

”‍රෝගයේ මූලික ලක්ෂණය තමයි ​ෙකාඳු ඇට පේළිය ඇදවීම. ඊට අමතරව කොඳු ඇට පේළිය ඇඹරෙනවා. සාමාන්‍යයෙන් කොඳු ඇට පේළිය පිහිටන්නේ ගඩොල් පේළියක් එක මත එක තබන ආකාරයට. නමුත් මෙම රෝගයේදී කොඳු ඇට ඇද වෙලයි තිබෙන්නේ. සාමාන්‍යයෙන් අපි ඉදිරිපසින් හෝ පසුපසින් බැලු‍වොත් කොඳු ඇට පේළියේ කිසිම ඇදයක් පෙනෙන් නැහැ. මෙය දරුවන්ට හැදෙන රෝගයක්. කොඳුඇට පේළිය එස්(S) අකුරක හැඩයටයි පිහිටන්නේ. නමුත් මෙවැනි රෝගීන්ගේ එහෙම නැහැ. කොඳු ඇට පේළියට උරස් කශේරුකා සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ ඉළ ඇටවලට උරස් කශේරුකා 12 ක් සම්බන්ධයි. ඇදවීම හේතුවෙන් ඒ ඉළඇට මොල්ලියක් මෙන් එක පැත්තකින් නෙරා එනවා. හොඳින් නිරීක්ෂණය කළහොත් එක උරහිසක් අනිත් උරහිසට වඩා උඩට නෙරපිලයි පිහිටා තිබෙන්නේ. එවැනි රෝගයකට තමයි සෝකොලියොසිස් කියන්නේ. මෙයට ප්‍රතිකාර තිබෙනවා. ලෝකය පුරා මෙවැනි රෝගීන් සිටින්නේ සියයට2- 3 අතර ප්‍රමාණයක්. රෝහල්වල තිබෙන සායනවලින් මේක හඳුනාගන්න පුළුවන්. ලංකාවේ මෙවැනි රෝගීන් ගැන සංඛ්‍යා ලේඛන නැහැ. අපි අපේ සායන වලට එන රෝගීන්ගෙන් තමයි මේ ගැන බලන්නෙ”‍