උපුල් වික්‍රමසිංහ
තමන් සන්තකයේ නැති නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් ඇති බව පවසමින් යම් පොලිස් නිලධාරියකු විසින් යම් තැනැත්තකු අනීතික ලෙස අත්අඩංගුවට ගනු ලැබුව හොත් අත්අඩංගුවට පත්වන පුද්ගලයා පළමුව කළ යුත්තේ තමාගේ ළඟම ඥාතියකුට හෝ හිතවතකුට ඒ බව දැනුම් දීම යැයි මානව හිමිකම් ක්‍රියාකාරී මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා ඉරිදා ලංකාදීපයට පැවසීය. ඒ සඳහා ඔහුට හෝ ඇයට අයිතියක් ඇති බව ද ඔහු කීවේ ය.
පොලිස් නිලධාරියා විසින් ඒ අවස්ථාව වින්දිත පුද්ගලයාට ලබා දෙනු නොලබන්නේ නම්, ඊට එරෙහිව අත්අඩංගුවට පත්වන පුද්ගලයාගේ ඥාතියකුට හෝ නීතිඥයාට මානව හිමිකම් කොමිෂන් සභාව වෙත දැනුම් දිය හැකි බව ද මහාචාර්යවරයා සඳහන් කළේ ය.
හෙරොයින්, ගංජා සහ අයිස් වැනි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබා ගත්තේ යැයි ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරමින් ඇතැම් පොලිස් නිලධාරීන් විසින් සිවිල් පුද්ගලයන් අත්අඩංගුවට ගනු ලබන සිද්ධි වාර්තා වන පසුබිමක ඒවායෙහි වින්දිතයන් බවට පත්වන අයට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ විමසීමේ දී මහාචාර්යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
සන්තකයේ නැති නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් පුද්ගලයකුගේ බෑගයකට හෝ ඇඳුමේ යම් ස්ථානයකයට හෝ වාහනයට හෝ දමමින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත්තේ යැයි අසත්‍ය චෝදනා නගමින් යම් පුද්ගලයකු මහ මගදී හෝ වෙනත් ස්ථානයක දී පොලිස් නිලධාරියකු විසින් අත්අඩංගුවට ගනු ලැබුවහොත් අත්අඩංගුවට පත් වන පුද්ගලයාට එම අවස්ථාව වීඩියෝ කළ හැකි බවත් වීඩියෝ ගත සාක්ෂි ඊට අදාළ නඩු කටයුතුවල දී ඉතා වැදගත් බවත් හෙතෙම ප්‍රකාශ කළේ ය.
එසේ වීඩියෝ කරන අවස්ථාවක දී අදාළ පොලිස් නිලධාරියා විසින් ඊට බාධා කරමින් ජංගම දුරකථනය උදුරා ගනු ලැබුව හොත් ඒ අවට සිටින පිරිස්වලට ඒ අවස්ථාව වීඩියෝ කළ හැකි බවත් එමෙන්ම එම ස්ථානය අවට පිහිටි සීසීටීවි කැමරාවල වීඩියෝ දර්ශන ද අධිකරණ කටයුතු සඳහා සාක්ෂි වශයෙන් යොදාගත හැකි බවත් කී නීතිඥවරයා, වාස් ගුණවර්ධන හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධ නඩුවේ දී ද සීසීටීවී කැමරාවල පටිගත වී තිබූ දර්ශන යොදා ගත් බව සිහිපත් කළේ ය.
එසේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධ ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගන්නා අයකුට පහරදීමට හෝ වෙනත් වධ බන්ධනවලට ලක්කිරීමට හෝ කිසිදු හැකියාවක් නැති බව ද එසේ පහර දුන හොත් ඊට එරෙහිව වධ හිංසා පනත යටතේ ක්‍රියාමාර්ග ගත හැකි බව ද ඔහු කීවේ ය. එසේම කියවා බලා අස්සන් කිරීමට ලබාදෙනු ලබන ප්‍රකාශනයට අස්සන් නොකර සිටීමට වින්දිතයාට හැකි බව ද මහාචාර්යවරයා සඳහන් කළේ ය.
වෙනත් රටවල පොලිස් ස්ථානවල මෙන් ම සෝදිසි කිරීම්වල නිරත පොලිස් නිලධාරීන් හට කැමරා ද ලබා දී ඇති බව කී හෙතෙම ඒ අනුව යමින් ශ්‍රී ලංකාවේ ද පොලිස් ස්ථානවල සීසීටීවී කැමරා සවි කළ යුතු බවත් සෝදිසි කිරීම් හා රථවාහන රාජකාරිවල නිරත නිලධාරීන්ට කැමරා ලබා දිය යුතු බවත් පැවසීය.
එවැනි චෝදනා එල්ල වන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ විමසීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd