සුජිත් හේවාජුලිගේ

මන්ත්‍රීවරුන් විසිදෙනකු ඇතුළු රජයේ නිලධාරීන් පනහකට  ආසන්න පිරිසකට එරෙහිව පාතාලයෙන් සහ සංවිධානාත්මක කල්ලිවලින් මරණීය තර්ජන එල්ල වී ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින්පැ වසේ.

මේ පිරිසෙන් වැඩි දෙනකු පොලිස් සහ බන්ධනාගාර නිලධාරීහු වෙති. මෙයට අමතරව මෙසේ මරණ තර්ජන එල්ලවී ඇති පිරිස අතර  රේගු නිලධාරීන්, වෙනත් විමර්ශන නිලධාරීන් හා ගුවන්තොටුපළ නිලධාරීන් ද සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
 
මෙම තර්ජන බොහොමයක්ම ලැබී ඇත්තේ විදේශයන්හි සිටින සංවිධානාත්මක අපරාධ කල්ලිවලිනි. මෙරට සිටින සිය කල්ලි සාමාජිකයන්ට උදව් කරන ලෙස පවසා මෙසේ තර්ජන කර ඇති බව සඳහන් වේ.
 
බන්ධනාගාර නිලධාරීන් දස දෙනකුට පමණ මෙසේ මරණ තර්ජන එල්ල වී ඇති අතර ඉන් තර්ජන කිහිපයකට අදාළ හඬ පට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරට පසුගිය දා ලබාදී ඇත. බන්ධනාගාරවල සිටින තම සාමාජිකයන්ට උදව් කරන ලෙස පවසා මෙම තර්ජනය කිරීම් කර ඇත.
 
මේ අතර  මරණීය තර්ජන එල්ල වී ඇති හෙයින් තමාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. 
මරණීය තර්ජන එල්ල වී ඇති මන්ත්‍රීවරුන් දහයකට පමණ කථානායකවරයාගේ මැදිහත්වීමෙන් ආරක්ෂාව දැනටමත් ලබා දී ඇත.
 
එසේම තර්ජන පවතින සමහර මන්ත්‍රීවරුන්ට පිස්තෝල ලබාදීමට ද කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
 
මෙම මරණීය තර්ජන සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවාද මේ දිනවල කරුණු සොයා බලමින් සිටී.