සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න

මින් ඉදිරියේදී කිසිදු ශ්‍රේණියක මොඩියුලයකට වෙබ් සබැඳි ඇතුළත් නොකරන ලෙස රජය ජාතික අධ්‍යාපන ආයතනයට නියෝග කර ඇතැයි  අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී පෙරේදා (9දා) පැවසුවාය.

එසේම දෙවැනි හා තෙවැනි වාරවලට අදාළ මොඩියුල පිළියෙල කිරීමේදී කිසිදු ශ්‍රේණියකට අදාළව වෙබ් සබැඳි ඇතුළත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලයද නියම කර ඇති බව කී අගමැතිවරිය දැනට ඇතුළත් කර ඇති වෙබ් සබැඳි මුදල් ගෙවිය යුතු ඒවා නොවන හෙයින් ප්‍රසම්පාදනය පිළිබඳ ගැටලුවක් ඇති නොවන බවද ප්‍රකාශ කළාය.

අධ්‍යාපනයේ ඩිජිටල්  පරිවර්තනය සඳහා වූ කාර්ය සාධක බළකාය තාක්ෂණය පිළිබඳව ප්‍රතිපත්තියක් සහ මාර්ගෝපදේශන ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය කමිටුවට යොමු කිරීමට කටයුතු යොදා ඇතැයි ද ඇය පැවසුවාය.

ඇය මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ස්ථාවර නියෝග 27(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මොඩියුලයේ නුසුදුසු පාඩම ඉවත් කිරීමට කටයුතු කර ඇති බව පැවසූ අගමැතිවරිය මොඩියුල 106ක් පාසල්වලට බෙදා හැරීමට කටයුතු කර ඇති බව ද සඳහන් කළාය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස: මොඩියුල සම්බන්ධයෙන් අක්‍රමිකතාවක් සිද්ධ වෙලා තියෙනවා. ඔබතුමිය ඒ ගැන පරීක්ෂණයක් ආරම්භ කළා. මෙම ප්‍රශ්නගත මොඩියුලය සකස් කරපු නිලධාරීන් ගැන කිසිවක් සඳහන් වන්නේ නෑ. බොහෝ රටවල් අන්තර්ජාල සමග සබඳතා පැවැත්වීමට වයස් සීමා ප්‍රසිද්ධ කරලා තියෙනවා. 

අධ්‍යක්ෂ ජනරාල්වරිය විතරක් නෙවෙයි, මේකට තවත් අය සම්බන්ධයි. මොඩියුලවල තවදුරටත් අඩුපාඩුකම් තියෙනවා. බුද්ධ ධර්මය විෂයයට ධර්ම චක්‍රය කියලා ඇතුළත් කරලා තියෙන්නේ අශෝක චක්‍රය. ඒකත්  බරපතළ ගැටලු‍වක්. මම මේක සභාගත කරනවා. මේ අඩුපාඩුවත් නිවැරදි කරන්න. මේකෙත් කොළ ටික ඉවත් කරලා දරුවන්ට දෙන්න. 

අගමැතිනී හරිනි අමරසූරිය: එතන විනය ක්‍රියාමාර්ග ගන්නේ කවුන්සිලය. අමාත්‍යාංශයට පියවරක් ගන්න බැහැ. ඒක තමයි විමර්ශනයට කවුන්සිලයේ අනුමැතිය ඇතිව රංජිත් ආරියරත්න මහත්තයා පත් කළේ. දැන් ඒ කවුන්සිලය විමර්ශන ක්‍රියාත්මක කරනවා. මේකෙ බරපතළකම ගැන අපි කවුන්සිලය සමඟ සාකච්ඡා කළා. කවුන්සිලය ඒ දඬුවම් තීරණය කරාවි. අපි ඒ  කටයුතු අධීක්ෂණය කරනවා.

බෞද්ධ කටයුතු අමාත්‍යාංශය අනුමත කළ සංකේතය තමයි දාලා තියෙන්නේ.  බෞද්ධ කටයුතු උපදේශන සභාවත් අනුමත කරලා තියෙනවා. මහනායක  හිමිවරුන් සමග මම සාකච්ඡා කළා. උන්වහන්සේලත් කිව්වා මේක අනුමත එක කියලා.”