උපුල් වික්‍රමසිංහ

දූෂණය පිටුදැකීම සහ ආණ්ඩුකරණය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය නිවැරදි මාර්ගයේ ගමන් කරමින් නිවැරදි පියවර ගනිමින් සිටියද, ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත මගින් දූෂණ විරෝධී පනතේ වැදගත් මූලිකාංග දුර්වලවීමේ අවදානමක් තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

සත් වැනි සමාලෝචනය අවසානයේ පසුගිය 23 වැනිදා කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කළ එම අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ යෝජිත සංශෝධන ගැන නැවත සිතා බලන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද කීවේ ය.

රජය ඉදිරිපත් කර ඇති සංශෝධන පනතෙහි අන්තර්ගත ඇතැම් විධිවිධාන මගින් වත්කම් ප්‍රකාශනය සීමාකර ඇති බවත්, එය වගවීම අවතක්සේරු කිරීමට බලපාන බවත්, කී දූත මණ්ඩල ප්‍රධානියා එය සිදු වනු දැකීමට තමන් අකැමැති බව ද ප්‍රකාශ කළේ ය.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබූ අතර, එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සම් විභාග කරමින් එම අධිකරණය ප්‍රකාශ කළේ අදාළ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවත්, එබැවින් එය සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයට අමතරව ජනමත විචාරණයක් පවත්වා ජනතාවගේ අනුමතය ද අවශ්‍ය බවත් ය.