උපුල් වික්‍රමසිංහ
සෞදි අරාබියේ මරණ දණ්ඩනය නියමව සිටින ශ්‍රී ලාංකික තරුණයකු වන සිවරාසා අනෝජන් සඳහා පොදු සමාවක් අයැදීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් අවස්ථාවක් ඉල්ලා සිටිය ද මේ වන තෙක් ප්‍රතිචාර ලැබී නැති බව පා.ම. ෂානක්කියන් රාසමාණික්කම් ඉරිදා ලංකාදීපයට පැවසීය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් සිය පක්ෂයේ නියෝජිතයන් විදේශ රටවල් ගණනාවක තානාපති අංශ මුණගැසී කළ සාකච්ඡාවලදී ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා වූ හෙයින් ඒවා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර රජයට දිය හැකි සහයෝගය ගැන සාකච්ඡා කිරීමට මෙසේ හමුවක් සඳහා අවස්ථාව ඉල්ලා සිටි බව ද ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු කණ්ඩායම් නායක රාසමාණික්කම් පැවසීය.
මේ ගැන සෞදි අරාබියේ බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීම සඳහා එරටට යන කණ්ඩායමට සිය පක්ෂයේ දිගාමඬුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන කවීන්තිරන් කොඩීෂ්වරන් ද එක් කරගන්නා ලෙස යෝජනා කර ඇතත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් රජයෙන් ප්‍රතිචාරයක් ලැබී නැතැයි ද හේ සඳහන් කළේ ය.
මෙම තරුණයාට නියම කර ඇති මරණ දඬුවම සඳහා පොදු සමාවක් (මානුෂීය අභියාචනයක්) දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා රජය විසින් සිදු කරන ලද අභියාචන ක්‍රියාවලියේ දී යම් අතපසුවීමක් වී ඇත්ද යන සැකය තමන්ට මතු වන බවත් එම අභියාචන ක්‍රියාවලිය ගැන තොරතුරු ඉල්ලා තමා විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් විමසූ ප්‍රශ්නයට පිළිතුරු නොදී එය ප්‍රතික්ෂේප කිරීම නිසා එම සැකය මතු වන බව ද මන්ත්‍රීවරයා කීවේ ය.
අදාළ අභියාචන ක්‍රියාවලියේ දී රජයේ පාර්ශ්වයෙන් යම් අතපසුවීමක් වී ඇත්ද යන්න විමසීමට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.
සැප්තැම්බර් 18 වැනි දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ මේ සිද්ධිය ගැන සමීප අවධානයෙන් පසුවන බවත් රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා කොළඹ පිහිටි සෞදි අරාබි රාජධානියේ තානාපති කාර්යාලය සමග සම්බන්ධීකරණයෙන් අමාත්‍යාංශය විසින් අදාළ සිදුවීම් පිළිබඳව අඛණ්ඩව සොයා බලනු ලබන බවත් ය.
සිවරාසා අනෝජන්ගේ අයිතිවාසිකම් හා යහපත ආරක්ෂා කිරීම සහ ඔහුට හැකි උපරිම සහාය ලබා දීම සඳහා අවශ්‍ය සුදුසු පියවර ගනිමින් සිටින බව ද එහි දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd