සුජිත් හේවාජුලිගේ

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.

මේ තීරණය ගෙන ඇත්තේ පසුගිය 21 වැනිදා සඳුදා රැස්වුණු එම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ය.

මේ අනුව එම විශ්වාසභංග යෝජනාව විශේෂඥ කණ්ඩායමක් විසින් දැනටමත් කෙටුම්පත් කරනු ලැබ ඇති අතර ඊට කථානායකවරයාට එරෙහි චෝදනා 42ක් ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ වැඩිම චෝදනා ඇතුළත් කෙරෙන මෙරට පළමු විශ්වාසභංග යෝජනාව මෙය බවයි.

සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර විසිනි. ඊට සෙසු සියලු‍ම මන්ත්‍රීවරුන් කැමැත්ත පළකර ඇතැයි දැනගන්නට ඇත.

මෙම විශ්වාසභංග යෝජනාව මීළඟ පාර්ලිමේන්තු සතියේ දී පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීරට බාරදීමට නියමිතය.

කථානායකවරයාගේ නිල නිවස රාජකාරී සහ පෞද්ගලික කටයුතු සඳහා භාවිත කරන අතරෙහි නිවාස නොමැති ඇමතිවරුන්ට, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට සහ රජයේ උසස් නිලධාරීන් උදෙසා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ කොළඹ ලොරිස් පටුමගේ නිල නිවසක් ලබාදීම, කථානායක නිල නිවසේ නඩත්තුව සඳහා අට දෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් යෙදවීම සහ ඔවුන්ට වැටුප් සහ දීමනා ලෙස මාසිකව රුපියල් හත් ලක්ෂ හැටදහසක මුදලක් සහ ජල විදුලි බිල්පත් හා නඩත්තුව සඳහා අවශ්‍ය කෙරෙන වියදම් පාර්ලිමේන්තු ගිණුමෙන් ගෙවීම, කථානායකවරයාගේ පෞද්ගලික ලේකම් වරයාට ද කොළඹ 04 ලොරිස් පටුමගේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙන් නිවසක් පෞද්ගලික මැදිහත්වීමෙන් ලබාදී රජයට පාඩු කිරීම, කථානායක නිල නිවසේ උප ලේඛනගත භාණ්ඩ ඇතුළු උපකරණ නිසි අවසරයකින් තොරව පිටට ගෙන යමින් රාජ්‍ය දේපොළ අවභාවිත කිරීම, නිල වශයෙන් හිමිවන නිල වාහන දෙකට අමතරව පාර්ලිමේන්තුවේ වෑන් රථයක්ද ලබාගෙන එම වාහනවලට ද ඉන්ධන ලබා ගැනීම යන චෝදනා ද ඇතුළු චෝදනා 42ක් මෙම විශ්වාසභංග යෝජනාවට ඇතුළත් වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර  සඳහන් කරන්නේ මෙම විශ්වාසභංග යෝජනාවට සහාය ලබාදීමට විපක්ෂයේ සියලු‍ පක්ෂ කැමැත්ත පළකර ඇති බවයි.