797ක් කුඹුරුවල / 1,790ක් පන්සල් - පල්ලිවල කෝටි 316 ක පඩිත් ගෙවලා විගණන වාර්තාවක් කියයි
සුජිත් හේවාජුලිගේ
අමාත්‍ය මණ්ඩල තීරණවලට පටහැනිව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව භටයන් 9760ක් වෙනත් බාහිර රාජකාරි කටයුතු සඳහා යොදවා ඇතැයි, ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සදහන් වේ.
ආගමික ස්ථාන ආරක්ෂක රාජකාරී කටයුතු සඳහා භටයන් 307ක් ද, ආගමික ස්ථාන සුභසාධක හා නඩත්තු කටයුතු සඳහා 1344 ක් සහ ආගමික ස්ථාන රියැදුරු රාජකාරි සඳහා භටයන් 139ක් ඇතුළුව භටයන් 1790 ක ප්‍රමාණයක් ආගමික ස්ථානවල විවිධ රාජකාරි කටයුතු සඳහා යොදවා තිබූ බව ද එහි දැක්වේ.
අනුමැතිය ලබා දී තිබුණේ ආගමික සිද්ධස්ථාන ආදියෙහි සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් කටයුතු සඳහා පමණක් බව සඳහන් වේ.
මෙම පිරිසට පසුගිය වසරේ දී වැටුප් ලෙස කෝටි 107 කට වැඩි මුදලක් ගෙවා ඇත.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ආදායම් ඉපැයීමේ ආයතනයක් බවට පරිවර්තනය කළ යුතු බව සඳහන් වුව ද, පසුගිය වසරේ ඉදිකිරීම් කටයුතු සඳහා අනුයුක්ත කරන ලද භටයන් 831ක් සපයන ලද එම සේවා වෙනුවෙන් රජයට අයවිය යුතු මුදල දෙපාර්තමේන්තුව අදාළ ආගමික ස්ථානවලින් අයකර ගැනීමට කටයුතු කර නොතිබූ බවද වාර්තාව සඳහන් කරයි.
මෙම පිරිස සඳහා 2025 වර්ෂයේ දී වැටුප් ලෙස කෝටි පනහකට ආසන්න මුදලක් ගෙවා තිබිණැයි විගණන නිලධාරීහු පවසති.
මේ අතර කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැතිව දෙපාර්තමේන්තුවේ භටයන් 4456 ක් 2025/2026 මහ කන්නයේදී ද, භටයන් 3515ක් යල කන්නයේදී ද වී ගොවිතැන් කටයුතු සඳහා මාස හතර කාලයකට මුදා හැර තිබිණ. එම භටයන්ට වැටුප් ලෙස පිළිවෙළින් රුපියල් කෝටි 89කට වැඩි මුදලක් හා රුපියල් කෝටි 70කට වැඩි මුදලක් ගෙවා තිබූ බව වාර්තාවේ දැක්වේ.
මේ අතර 2023 සහ 2024 වර්ෂවල දී ආරම්භ කර අවසන්ව තිබූ ව්‍යාපෘති 17ක අපේක්ෂිත අස්වැන්න කිලෝ ග්‍රෑම් 195,525 ක් හා සත්‍ය අස්වැන්න කිලෝ ගෑම් 88,385 ක් වූ අතර, අහිමිවූ අස්වනු ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 107,140ක් විය. ඒ අනුව අස්වනු අහිමිවීමේ ප්‍රතිශතය සියයට 55කි.
තවත් ව්‍යාපෘති දෙකකින් අපේක්ෂිත ආදායම රුපියල් 7,076,664ක් හා සත්‍ය ආදායම රුපියල් 5,613,100ක් විය. ඒ අනුව මෙම අපේක්ෂිත අස්වනු හා අපේක්ෂිත ආදායම් ළඟා කර නොගැනීම පිළිබඳව දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති අංශය පරීක්ෂණ පවත්වා හානි සිදුවී ඇද්ද යන්න සෙවීම මෙන්ම හානි සිදුවී ඇත්නම් ඒ සඳහා මුදල් රෙගුලාසි ප්‍රකාරව ඉදිරි පරීක්ෂා කිරීමේ කටයුතු කර නොතිබූ බව එම වාර්තාව සඳහන් කරයි.
දෙපාර්තමේන්තුවේ ධාවනයට නුසුදුසු ලෙස හඳුනාගත් රථවාහන 178ක් පැවතුණ අතර, එම රථවාහන අලුත්වැඩියා කටයුතු සඳහා යොමුකර නැවත භාවිතයට ගැනීමට හෝ නියමිත කාලවකවානුවල දී අපහරණය කිරීමෙන් රජයට ප්‍රතිලාභ ලබාගත හැකිව තිබූ නමුත් දෙපාර්තමේන්තුව එවැනි පියවරක් අනුගමනය කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
දෙපාර්තමේන්තුවේ ධාවනයට සුදුසු වාහන අතරින් දුම් සහතික නොගත් වාහන සංඛ්‍යාව 246ක් බව ද එම වාර්තාවේ දැක්වේ.
පසුගිය වර්ෂයට අදාළව වාහන 74 ක ආදායම් බලපත්‍ර ලබාගෙන නොතිබූ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
මෙම තොරතුරු සඳහන් වන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd