1818 උඩරට කැරැල්ල නිසා සිංහලයාට සිදුවූයේ ඉතා භයංකාර අත්දැකීමකට මුහුණදීමටයි. ඉංග්‍රීසි සොල්දාදුවන් හා එක් වූ කාපිරී සියොපි හා මැලේ යන ඉතා කුරිරු සොල්දාදුවන්ගේ බයිනෙත්තුවට හා ගින්නට සිංහල ගැමියාගෙ ජීවිත මෙන්ම ගේදොර ඉඩකඩම් අහිමි විය. එළු බැටළු ගව ආදී සතුන් වෙඩි පහරට ලක්විය. ඇළදොළ වේලි අමුණු කඩා දැමූහ. ඌව - වෙල්ලස්ස පමණක් වැව් 3725ක් වනසාලූහ. වැව් බැමි කපා ගම්වලට හැරවූහ. කුඩා දරුවන් ඒවාට පණපිටින්ම වීසි කළහ. කොස් ගස් දෙල් ගස් හා පලතුරු ගස් කපා බිම හෙළුෑහ. ගස්වල යට පඳුරු තුළ ස්ත්‍රීන් දූෂණය කළහ.   


මෙයින් පසු බිහි වූ ඉංග්‍රීසි පාලනය ඉතා දරදඬු එකක් විය. ඉංග්‍රීසින් හා එක් වූ රදල කොටස් සිංහලයා පෙළඹීමට කැසකැවූහ. ඉඩම් අහිමි වූ උඩරට සිංහලයෝ පවුල් පිටින් නගර කරා ආවෝය. ඇතැමුන් රජරට මහ වනය වෙත පිවිසියහ. උඩරට ඉතිරි වූ පිරිස් ඉතා අසීරු ගම්බිම්වල සැඟවී වාසය කළහ. ඉංග්‍රීසීන්ට විරුද්ධව සටන් කිරීමට එකඳු නායකත්වයක් නොවීය. භික්‍ෂූන් වහන්සේලා එළිපිට ඉංග්‍රීසින්ට විරුද්ධවීමට බිය වූහ. මහජනයා බ්‍රිතාන්‍ය පාලනය ගැන උරණ වී සිටියත් එළිපිට සටනට අවතීර්ණ වීමට බිය වූහ. ඒ සඳහා නිසි නායකත්වයක් දීමට සිංහල නායකයින් බිය වූහ. 

 
රට තුළ මෙවැනි වාතාවරණයක් තිබියදී 1842-43 කාල වකවානුවේදී උඩුදුම්බර පළාතේ රාජ ප්‍රතිරූපකයකු මිනිසුන් සංවිධානය කරන බවත් අවිආයුධ රැස් කරන බවත් ආණ්ඩුකාර කැම්බල් මහතාට දැනගන්නට ලැබුණි. ඒ අනුව ක්‍රියාත්මක වූ රජය රාජද්‍රෝහී චෝදනා යටතේ ගොංගාලේගොඩ බණ්ඩා, දීනිස්, ඩිංගිරාල සහ චන්ද්‍රගුප්ත සීලවංශ පරණංකරී යන භික්‍ෂූන් වහන්සේද අත්අඩංගුවට ගනී. නඩු විභාගයකින් පසු ප්‍රමාණවත් සාක්‍ෂි නොමැති නිසා පළමු තිදෙනා නිදහස් කරන ලද අතර භික්‍ෂූන් වහන්සේ සිරගත කරන ලදහ. මහනුවර අණදෙන නිලධාරි ටී.ඒ. ​ඩ්‍රෞට් විසින් ආණ්ඩුකරු වෙත යවන ලද ලිපියක මෙසේ සඳහන් කර ඇත.   
‘‘රාජ ප්‍රතිරූපක ගොංගාලේගොඩ බණ්ඩා මහනුවර රාජසිංහ රජුගෙන් පැවතෙන්නෙකැයි කියනු ලැබේ. ඔහු පහතරට සිංහලයෙකැයි සැලකෙන හෙයින් මීට නියම පදනමක් නැති බව පෙනේ. මහනුවර රජවරු මලබාර් පෙළපතට අයත්ය. එහෙත් මොහුගේ මව උඩරට කාන්තාවකැයි කියනු ලැබේ. ඔහු මීට පෙර පැවැති කැරැලි දෙකකට සම්බන්ධය. 1843 දී බදුල්ලේ දිස්ත්‍රික් උසාවිය විසින් ඔහුට විරුද්ධව රාජද්‍රෝහී නඩුවක් විභාග කොට ඔහු නිදහස් කරන ලදී.’’


පෑලියගොඩ ඩේවිඩ් පිළිබඳ විස්තර සොයාබැලීමේදී ඔහුගේ පරපුරෙන් පැවතෙන පිරිස් පිළිබඳ විස්තරයක් මෙම ලියුම්කරුට සොයාගැනීමට හැකිවිය. ඒ අනුව මොහු පිළිබඳ තොරතුරු මෙසේය.   


‘‘වංශපූර්ණ දේවගේ සින්ඩියා ප්‍රනාන්දු සහ සින්ඩි ප්‍රනාන්දු යන දෙමහල්ලෝ පෑලියගොඩ ඩේවිඩ් හෙවත් ගොන්ගාලේගොඩ බණ්ඩා යන වීරයාණන්ගේ මව්පියෝ වෙති. මොවුන් පාරම්පරික බෞද්ධයෝ වූහ. ශ්‍රී ලංකාවට මෝටර් රථවාහන​ ගෙන ඒමට පෙර භාණ්ඩ හා මගී ප්‍රවාහන කටයුතු කෙරුණේ ගොඩබිමෙන් ගැල් හා තවලම් ආදියෙනි. වාරිමාර්ග ඔස්සේ ඔරුපාරු හා අඟුල් ආදියෙනි. අප වීර්යාණන්ගේ පියාද එකල හැටියට ගැල් ප්‍රවාහනය සේවයක් කොළඹ පෑලියගොඩ හා හිඹුටුවැල්ගොඩ සිට උඩරට අතර පවත්වාගෙන ආ බව ද සඳහන් වේ. ගොන්ගාලේගොඩ බණ්ඩා නොහොත් පෑලියගොඩ ඩේවිඩ්ට සිටියේ එකම සහෝදරයෙකි. ඔහු දිනෙස්ය. මේ අයද එකල රැකියාව වශයෙන් කළේ උඩරට පළාත්වලට ගැල් මඟින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමය.   
සින්ඩියා ප්‍රනාන්දුට ලින්චි සහ නොන්චි යනුවෙන් සහෝදරියන් දෙදෙනෙක් සිටියහ. එයින් ලින්චි නමැත්තිය 1848 ජාතික නිදහස් සටනේ නායකයකු වූ ඩිංගිරාලගේ මෑණියෝය. අනෙක් සහෝදරිය වන නොන්චි යන අයගේ දියණියගේ දියණිය (4 වන පරපුර) නවගමුව දේවගේ මොයිනා ප්‍රනාන්දුය. මොයිනා ප්‍රනාන්දු විවාහ වූයේ කැලණියේ හිඹුටුවැල්ගොඩ ගලගෙදර දේවගේ හරමානිස් ප්‍රනාන්දු සමඟය. මොයිනා ප්‍රනාන්දු වසර 92ක් ආයු වළඳා මියගිය අතර් හරමානිස් ප්‍රනාන්දු වසර 104ක් ආයු වළදා මියගොස් ඇත.   


මොයිනා ප්‍රනාන්දු සහ හරමානිස් ප්‍රනාන්දු දෙපොළට දරුවන් පස්දෙනෙකි. ගලගෙදර දේවගේ චාල්ස් රත්නසේකර, මුනිදාස ගලගෙදර, අයිරස් ගලගෙදර, මේලින් ගලගෙදර සහ ජේන් ගලගෙදර ඔවුන්ය. එයින් ගලගෙදර දේවගේ රත්නසේකර මුහන්දිරම් වරයෙකු විය. දෙවන එලිසබන් මහ රැජිනගේ 1954 ලංකා සංචාරයේදී රාජකීය සම්මාන ලත් මුදලි පදවියක් ඔහුට ලැබී ඇත.   


ගොන්ගාලේගොඩ ටිකිරි බණ්ඩා නමින් පෙනීසිටි පෑලියගොඩ ඩේවිඩ් ඩැල්සීල් යටතේ ඉංග්‍රීසි හමුදාවේ පොලිස් නිලධාරියකු ලෙස සේවයේ යෙදී සිට ඇත. අංගම්පොර සටන් කලාවේ දක්‍ෂයෙකු ලෙස හැදින්වෙන ඔහු උඩරට පෙදෙස්වල ජනතාව ඉංග්‍රීසීන්ට විරුද්ධව සංවිධානය කරන ලද්දේ ගෙරිමස් කන්නන්ගෙන් රට බේරා ගැනීම හා උඩරට තැබෑරුම් විවෘත කිරීම හා මත්පැන් විරෝධී ජාතික ව්‍යාපාර සමඟ ඒකාබද්ධ වෙමිනි.   
පෑලියගොඩ වනවාසල හා හිඹුටුවැල්ගොඩ පෙදෙසේ එම කාලයේ වත්පොහොසත් කමින් ඉහළ මට්ටමක සිටි ඩේවිඩ්ගේ වැඩිමල් සහෝදරයා දීනිස් විය. ඔහු සතුව කොළඹ - නුවර මාර්ගයේ ප්‍රවාහන කටයුතුවල යොදවන ලද ගොන්කරත්ත සියයකට වැඩි ප්‍රමාණයක් තිබී ඇත. මෙම සොහොයුරන් දෙදෙනාගේම පියාගේ සොහොයුරියක් මාතලේ ඇල්කඩුව ප්‍රදේශයේ අයෙකු සමඟ විවාහ වී ඇත. මාතලේ සිට වත්තේගම පාරේ උකුවෙල හංදියේ සිට වේරපිටියටද, එහි සිට කිලෝමීටර් 10ක පමණ ඈතින් ඇල්කඩුව පිහිටියේය. ඇල්කඩුවේ පදිංචි මෙම පුද්ගලයා සහ පෑලියගොඩ සින්චියා ප්‍රනාන්දුගේ සහෝදරිය වූ ලින්චි යන දෙපොළගේ පුත්‍රයා හඟුරන්කෙත ඩිංගිරාල විය. ගැල්කරුවෙකු මෙන්ම ගැල් හිමියෙකුද වූ පෑලිය​ගොඩ දීනිස් විවාහ වූයේ ගොංගාවල මැණික්රාලගේ දියණියක් සමඟය. පැරණි මාතලේ නගරය සැතපුම් තුන්කාලක් දුරට විහිදුණු වීදි දෙකකින් සමන්විත ප්‍රදේශයක් විය. එම වීදි දෙක ගොංගාවල සහ අගලකොටුව විය. ගොංගාවල පෙදෙස වර්තමාන මාතලේ නගරයේ හින්දු දේවාලය පිහිටි ප්‍රදේශය විය.   


ගොංගාලේගොඩ බණ්ඩා හෙවත් පෑලියගොඩ ඩේවිඩ් අවිවාහකයෙකි. 2007 මැයි 20 දින ඉරිදා ලංකාදීපයේ පළවූ විශේෂ ලිපියක ඔහු පිළිබඳව මෙවැනි සඳහනක් සටහන් කර ඇත.   
‘‘ක්‍රි.ව. 1845 ඔහු පොලිස් සේවයේ යෙදී තිබේ. සැණින් එල්ලය බලා වෙඩි තැබීමේ හැකියාවක් ඇති ඔහු දක්‍ෂ වෙඩික්කාරයෙකු වූයේය.’’   


(ඉරිදා ලංකාදීප - 2007 මැයි 20 - සුද්දාට එරෙහිව ගැසූ මාතලේ කැරැල්ල)   
සටන්කාමීන් නිදහස් අරගලයක් ගෙනයද්දී මහ ජනතාව අතර තවත් නොසන්සුන්තා රාශියක් ඇතිවිය. 1848 ගණන්වල ඇති වූ ආර්ථික අවපාතයත් යුද වියදම් වැඩිවීමත් වැවිලිකරයේ මංමාවත් සහ පොදු වියදම් කොළඹ නගරය පුළුල් කිරීම හා ජල සම්පාදන කටයුතු සඳහා අධික වියදමක් දැරීමට සිදුවීමත් නිසා රජය සිය ආදායම් වැඩිකර ගැනීමට ආණ්ඩුකාර ටොරිංටන් අලුත් බදු වර්ග හතක් පනවන ලදී.   
මුද්දර බද්ද, වෙළඳසැල් බද්ද, තුවක්කු බද්ද, බලු බද්ද මෙන්ම ඉතා අහිතකර වූ ඇඟ බද්දක් ද පනවන ලදී. ඒ අනුව වයස අවුරුදු 18-55 අතර වූ සෑම පිරිමියකුම වසරකට දින 8ක් පාරේ වැඩ කළ යුතුවිය. එසේ නොකළහොත් වසරකට සිලිං 3ක බද්දක් ගෙවිය යුතු විය. එය පාරේ බද්ද ලෙසද හැඳින්විය. බෞද්ධ භික්‍ෂූන්ද මෙම බද්දට යටත් විය. මෙම බදුවලට විරුද්ධව මහජන කැලඹිලි මහනුවර, බොරැල්ල සහ ගාල්ල වැනි නගරවල ඇතිවිය.   


පෑලියගොඩ ඩේවිඩ්, දීනිස්, ඩිංගිරාල සහ පුරන්අප්පු යන නායකයින් යටතේ පෙළගැසුණු සටන්කාමීන්ට අවශ්‍යව තිබුණේ බ්‍රිතාන්‍ය පාලකයින් මෙරටින් පළවාහැරීමයි. එය කලක් තිස්සේ ඉතාමත්ම සංවිධානාත්මකව සිදුකරන ලද්දකි.   


රට පුරා ඉංග්‍රීසි විරෝධය වැඩිවත්ම සිංහලයින් එක්ව මෙරට රජු ලෙස පෑලියගොඩ ඩේවිඩ් ‘‘ශ්‍රී වික්‍රම සර්වසිද්දිසි’’ නමින් රාජ්‍යත්වයට පත්කර ගනී. ඔහු රාජ්‍යත්වයට පත්වූයේ 1848 ජුලි 12 දින පෙ.ව. 11.30ට යෙදී තිබූ සුභ නැකතිනි. භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ විශාල සෙනඟක් ඉදිරිපිට පැරණි සිංහල සිරිත් විරිත් ප්‍රකාරව අභිෂේක මංගල්‍යය සිදු කළේය. වංශපූර්ණ දේවගේ ඩේවිඩ් ලංකාවේ රජු වශයෙන්ද, ඔහුගේ සහෝදරයා වූ වංශපූර්ණ දේවගේ දීනිස් යුවරජ වශයෙන්ද, ඔටුණු පළඳවන ලදී. අනතුරුව දඹුළු විහාරයේ ඇතුළත ආගමික වතාවත් සිදුකොට පසුව එහි විෂ්ණු දේවාලය තුළදී ශුද්ධ දිවුරුම් දීමේ කාර්ය සිදුකරන ලදී. ජාතික ලේඛනාගාරයේ ඇති 1848 අගෝස්තු 14 දිනැති නිකුතුවේ අංක 2 දරන ඇමුණුමේ ඉංග්‍රීසි බසින් ඇති එම ප්‍රකාශනයේ සිංහල අරුත මෙසේය.   


‘‘මමද මගේ සහෝදරයාද සාමාන්‍ය පුද්ගලයෝ නොවෙමු. අපි ලංකාවේ පැරණි රජෙකුගේ වර්ග පරම්පරාවෙන් පැවත එන්නා වූ රාජකීය පවුලකට අයත් කුමාරවරු වම්හ. මෙය බොරුවක් නොවන බවට අහසත් පොළවත් විෂ්ණු දෙවියනුත් සාක්‍ෂි වේවා. මෙය බොරු නම් අපගේ හිස පැලේවා. අපට හෙණහත වදීවා.’’   
මෙහි සඳහන් පැරණි රජෙකුගේ වර්ග පරම්පරාව යනු කීර්ති ශ්‍රී නිස්සංකමල්ල රජුගේ පරම්පරාවෙන් පැවතෙන බවයි. දඹුළු විහාරයේ නායක ගිරානේගම හිමියන් විසින් මොවුන්ගේ හිස මත පළඳවන ලද්දේ කීර්ති ශ්‍රී නිස්සංකමල්ල රජතුමාගේ ඔටුන්නයි. නිශ්ශංකමල්ල රජු සිංහපුර සංජාත කාලිංග චක්‍රවර්තී නාමය ලත් ලම්භකරණ වංශිකයෙකි. දේව වංශිකයින්ද ලම්භකරණයින්ය. රජතුමාගේ ‘කීර්ති ශ්‍රී’ යන කොටසට ‘‘සර්ව සිද්දිසි’’ යන කොටස එකතු කර ‘‘කීර්ති ශ්‍රී සර්ව සිද්දිසි’’ ලෙස ඔටුණු පැළඳවීය. 

 
අභිනව රජතුමා දෙවනවරට දඹුල්ල රජමහා විහාරයට පැමිණි බව හිමිනමගේ සාක්‍ෂි සටහනින් පැහැදිලි වෙයි. 1848 ජූලි 24 වැනි දින සිට දඹුල්ල පෙදෙසේ සේනා සංවිධානය කර ඇත. ජූලි 26 දින සිංහල සේනාවෝ රණබෙර වයමින් සටන් සඳහා පිටත් වූහ. ඉංග්‍රීසීහු ජූලි 27 වැනි දින පනවන ලද නියෝගයක් අනුව මහජනයාට එළිමහනේ රංචු ගැසීම සහ රැස්වීම් පැවැත්වීම තහනම් කළහ. රජතුමා දඹුල්ලේ සිට සෙල්ලමංගලට පැමිණ එහිදී සිංහල සෙබළුන් යුද අභ්‍යාසයක යොදවන ලදහ. ඉන් අනතුරුව කෝන්ගහවෙල හරහා පල්ලෙසිය පත්තුවටත් එතැනින් පළනන්වලටත් පැමිණියෝය. ජූලි 27 වැනි දින යුවරජු දීනිස් විසින් මෙහෙයවන ලද හමුදාව ලෙනදොර් සිට කවුඩුපැලැල්ලටද එතැනින් පළාපත්වලටද පැමිණියහ. දෙපිරිසම රැය ගත කරන ලද්දේ පළාපත්වල ය. ජූලි 28 දින හමුදා පෙරමුණු දෙකක් වශයෙන් ඔවුහු මාතලේට පැමිණියෝය.   
මාතලේ නගරයට පැමිණි දෙපිරිස නගරය වැටලූහ. එකල මාතලේ නගරය ලෙස පැවතියේ වර්තමානයේ ත්‍රිකුණාමල වීදිය ලෙස හැඳින්වෙන පෙදෙසය. එහි තිබුණේ පොල් අතු සහ පිදුරු සෙවිලි කළ කඩපේලි දෙකක් සහ ගෙවල් සමූහයකි. ඒවා සැතපුම් තුන් කාලක් පමණ දිගට පිහිටා තිබුණි. උළු සෙවිලි කළ ගෙවල් පහක් තිබුණි. ඒවා රජයේ ගොඩනැගිලි විය. සිංහල හමුදාව ඒවාට පහර දුනි. මාතලේ තානායම් ප්‍රහාරයට ලක්විය. බෙහෙත් ගබඩාව විනාශ කළහ. රටබීම ගබඩාවද විනාශ කළහ. මහේස්ත්‍රාත් උසාවියේ ලේඛනාගාරයේ ලියකියවිලි විනාශ කළහ. ඉංග්‍රීසින්ගේ මැක්ඩොනල්ඩ් බලකොටුවට පහර දී එය අල්වා ගත් සිංහල සේනාව එය අභිනව රජුගේ නිවස්නය බවට පත් කර ගත්හ.   


​මේ වනවිට මාතලේ නගරයේ සිටි සියලුම ඉංග්‍රීසි ජාතිකයන් නගරය හැරගොස් සිටියහ. පෙරවරු 10 වනවිට මාතලේ එකදු සුදු ජාතිකයෙකු​ නොවීය. අත්හැර ගිය සුදු ජාතිකයකුගේ නිවසේ පිටුපස අශ්වගාලේ පිදුරුගොඩක් යට නිවෙස් හිමියාගේ දියණියක් සැඟව සිටිනු සිංහල සෙබළුනට දක්නට ලැබුණි. නව රජුගේ නියෝගය මත එම අස්හලේ අශ්වයෙකු පිට ඇය නංවා ආරක්ෂක පිරිසක් සමඟ ඇය ඉංග්‍රීසින් වෙත යැවූහ. මේ දියණිය හා අශ්ව රුව සහිත චිත්‍රයක් ආර්.එල්. ස්පිටල් මහතාගේ කොළොම්පුර පුරාණය ග්‍රන්ථයේ දක්නට ලැබේ.   


ඉංග්‍රීසිහු කොළඹ ප්‍රදේශයේ තැන් තැන්වල හමුදාව සහ පොලිසිය රඳවන ලද බැවින් බස්නාහිර පළාත ආරක්‍ෂා විය. මහනුවර ප්‍රදේශය වෙත අතිරේක හමුදාව යවන ලද අතර විශ්‍රාමික හමුදා භටයින් නැවත සේවයට කැඳවීය. හමුදාවේ සහාය සඳහා කම්කරුවන් පිරිසක් බඳවා ගත්හ. ‘‘ලේඩි මේරි වුඩ්’’ නෞකාව මදුරාසියට යවා හමුදා භටයින් යුද උපකරණ සහ වෙඩි උණ්ඩ ගෙන්වා ගැනීමට කටයුතු කළහ. ඉංග්‍රීසින් සඳහන් කර ඇති පරිදි උඩරට නම්බුකාර වැසියන් ඔවුනට සහාය දැක්වූහ. මාතලේ ප්‍රදේශයේ කෝපි වතු වනසා දැමීමට සිංහල භටයින් සමත් වූහ. වැවිලිකරුවන්ට අවශ්‍ය පතරොම් ආදිය රජය විසින් සපයන ලදී. දළදා මාළිගාව වසාදාමා එහි යතුරු හමුදා භාරයට ගත්හ. දළදා මාළිගයේ ඉබියතුරු හමුදා නිලධාරියා තබාගති. එහි ශබ්ද පූජා පැවැත්වීම හා මහජනයාගේ පැමිණීම තහනම් කෙරුණි.   


මෙසේ වුවද සිංහල හමුදාව අවුත් මහනුවර නගරය මුදවාගෙන දළදා මාළිගාවද සිය භාරයට ගත්හ. විදේශ සතුරන්ට නගරයට ඇතුළුවීමට ඉඩ නොලැබෙන පරිදි අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සලසන ලෙසට පළුගස්වනේ රටේ මහතාට අභිනව රජතුමා විසින් බලය පවරන ලදී. රජතුමා විසින් එම රටේ මහතාට බලය පවරමින් නිකුත් කළ රාජාඥාව ජාතික ලේඛනාගාරයේ අංක 6 දරන නිකුතුවේ සඳහන්ව ඇත. ඉංග්‍රීසියෙන් ඇති එම ලේඛනයේ සිංහල පරිවර්තනය පහත සඳහන් පරිදි වේ.   


‘‘1848 අගෝස්තු 14 දින දරන අංක 144 නිකුතුවේ අංක 6 දරන ඇමණුම.   


මහනුවර රාජධානියේ තම රජු යැයි කී තැනැත්තා විසින් නිකුත් කළ ස්වදේශි ප්‍රකාශනයේ පරිවර්තනයයි.   
ජූලි 12 වැනි බුද දින සිංහාසනාරූඪ වූ අති උතුම් ශ්‍රී වික්‍රම සර්වසිද්ධිසි මහරජ තුමාගේ ආඥ‌ාවයි.   
පළුගස්වනේ රටේ මහතා වන තොප මෙය ලද විගස අප්‍රමාදව පාරවල් අවහිර කොට සන්නද්ධ මිනිසුන් ලවා මනාව රැකවල් කර තොප විසින් ස්ථාන කීයක් රැකවල් තබන ලදද ඒවා කුමන අවි ආයුධවලින් සන්නද්ධ කර ඇද්දැයි යන වග කාර්ය නිමවා මාතලේ බලකොටුවේ රජ මාළිගයේ වැඩ වසන මහා රාජෝත්තමයාණන් වෙත වාර්තා කළ යුතුය. එසේ කිරීමට අපොහොසත් වුවහොත් මහරජාණන් වහන්සේ තමා සොයා උදහසින් පැමිණියේ යැයි පැමිණිලි නොකිරීමට වගා බලා ගත යුතුය.   


මහ රජතුමාට පක්‍ෂපාතීත්වය තරව ප්‍රකශ කිරීමෙන් පසු මෙම දිස්ත්‍රික්කයෙන් විදේශ හතුරෙකු පැන නැඟුණහොත් මහ රජතුමාට මොනයම් දොසක්වත් නොපැවරීමට වග බලා ගත යුතුය.’’   
ජූලි 30 දින රාත්‍රිය වනවිට සිංහල සේනාව ලෙනදොරට එක්රැස් වූහ. ලෙනදොර පන්සල්වත්ත සිංහල හමුදාවන්ගෙන් පිරීගිය අතර රජතුමා සහ යුවරජු විසින් පසුදා සටන පිළිබඳව භටයින් දැනුම්වත් කළහ. ලෙනදොරින් පිටත් වූ හමුදාව අගෝස්තු 1 දින පාන්දර වනවිට කුරුණෑගල නගරයට පැමිණියහ. සේනාංක දෙකක් ලෙස නගරයට ඇතුළු වූ සිංහල සේනාව දිස්ත්‍රික් උසාවිය සහ කච්චේරියට පහර දී එහි තිබූ ලියකියවිලි විනාශ කළහ. දීනිස්ගේ හමුදාව කුරුණෑගල හිරගෙය දෙසට මෙහෙයවා හිරගෙය කඩා සිරකරුවන් මුදාගත්හ. අනතුරුව සේනාංක දෙකම එකට කුරුණෑගල පොලිස් ස්ථානයට පහර දුන්හ.   
එදින සවස් වනවිට ඉංග්‍රීසි හමුදා සේනාංකයක් කුරුණෑගලට ළඟාවිය. දෙපිරිස අතර කුරුණෑගල වැව අසල සටනක් ඇතිවිය. සිංහල හමුදා සටනින් පරාජය වන බව දැන ඔවුනට පසුබැසීමට අණ ලැබුණි. ඉංග්‍රීසින් නිවාස කොල්ල කමින් ඒවාට ගිනි තබා විනාශ කළහ. අගෝස්තු 2 දින සිට නගරයට ඇතුළුවන සෑම පුද්ගලයෙකුම අත්අඩංගුවට ගැනීමට නියෝග කරන ලදී. 1848 අගෝස්තු 4 වැනි දින ලංකා රයිපල් හමුදාවේ සේනාංකයක් විසින් හඟුරන්කෙත ඩිංගිරාල අත්අඩංගුවට ගන්නා ලදී. යුද්ධාධිකරණය විසින් ඔහු වෙඩි තබා මරා දමනු ලැබූ කුරුණෑගල නගරයේ මුතුගල නම් ස්ථානයේ දින 4ක් යනතුරු මළකඳ එල්ලා තැබීය. සෙසු චූදිතයන්ද වෙඩි තබා මරණ ලදහ. සිංහල භටයින් 1000 ගේ නායකත්වය දරමින් සටන් මෙහෙයවූ වඳුරාගොඩ නොතාරිස් රාළහාමි පරාජය හමුවේ සියදිවි හානි කරගති.   


‘‘1848 සැප්. 2 වැනි දින අංක 2559 දරන ගැසට් පත්‍රයේ මාතලේ දිස්ත්‍රික්කයේ සහ සත් කෝරළේ කලබල ඇති කරන මහනුවර රජු යැයි කියාගන්නා ඩේවිඩ් නොහොත් අළුදෙණියේ බණ්ඩා නොහොත් ගොංගාලේගොඩ ටිකිරිබණ්ඩා පිළිබඳ ඔත්තු දුන් අයට පවුම් 150ක් බැගින් තෑගි දෙන බවට දැන්වීමකි. එය 1849 මැයි දක්වා දිගටම පළ වී ඇත. 1848 ඔක්. 04 වනදා ගැසට් පත්‍රයේ මහනුවර සහ කුරුණෑගල යුද නීතිය සම්පූර්ණයෙන් ඉවත් කළ බව දැන්වීමක් ඇත.’’   


(ඩබ්.කේ. එගොඩවත්ත. ලේඛන විමර්ශන නිලධාරි ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුව)   
කුරුණෑගල, මහනුවර හා මාතලේ නගර ගිනිතබා විනාශ කළ ඉංග්‍රීසි හමුදාව ලංකාව එකම අවමඟුලක් බවට පත් කළහ. ගොංගාවල මැණික්රාලගේ ගවයින් අත්අඩංගුවට ගත් ලුතිනන් සේයර්ස් එම නිවසද පුළුස්සා දමන ලදහ. මැණික් රාල ඒ වන විට සිය නිවැසියන් සමඟ අළුදෙණියට ගොස් පසුව ඇල්කඩුවට ගියේය. රජුගේ නිවස්නය වූ මාතලේ මැක්ඩොනල්ඩ් බලකොටුව බිමට සමතලා කළ ඉංග්‍රීසිහු සිංහලයින්ගේ මළමිනී කඳු නගරයෙන් ඈතට ගෙනගොස් දැමීමට පියවර ගත්හ. වර්තමානයේදී මැක්ඩොනල්ඩ් බලකොටුව මාතලේ සුසාන භූමිය ලෙසට පත්කර ඇත. අද දක්නට ඇත්තේ පැරණි බලකොටුවේ තාප්පය පමණි.   
මේ අතර 1848 සැප්. 21 දින රජතුමා ඇල්කඩුව වනයේ ගල්ලෙනක සැඟව සිටියදී ජා හමුදා භටයින් විසින් අල්ලාගත් බව ඉංග්‍රීසිහු ප්‍රචාරය කළහ. රජතුමා රාත්‍රී ආහාරය ගනිමින් සිටියදී ඔහුට ආහාර සැපයූ පුද්ගලයා විසින් දෙන ලද ඔත්තුවකට අනුව ඔහු අත්අඩංගුවට පත් වූ අතර ඔහුගේ ආරක්‍ෂකයාට නින්දගොස් සිටි බවද සඳහන් කරයි. එදා රෑ නවයට පමණ ඔහු මාතලේට ගෙන එන ලද බවද සඳහන් වෙයි. මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතාගේ ‘‘සිංහලේ සංහාරය’’ ග්‍රන්ථයේ (පිටුව 106) මේ පිළිබඳ විශාල විස්තරයක් සඳහන් වෙයි.  


සැප්. 21 දින රජු අල්ලාගන්නා ලද්දේ නම් ඉංග්‍රීසින් රජු අල්ලා දුන් අයෙකුට පවුම් 150ක් තෑග දෙන බවට 1849 මැයි දක්වාම ප්‍රචාරය කරන ලද්දේ මන්ද යන කුකුස පැන නගී. ඉංග්‍රිසීන් විසින්ම සඳහන් කර ඇත්තේ එසේ සැප්. 21 දින අල්ලා ගන්නා ලද්දේ රජතුමා නොව යුවරජු වූ දීනිස් බවයි. පිපට් මහතා විසින් ඔහු අල්ලාගත් අයුරු සඳහන් කර ඇත්තේ මෙසේය.  


‘‘.... වොට්සන් විසින් යවන ලද මැලේ භටයින් කණ්ඩායමක් විසින් ගොංගාවල බණ්ඩා, කපුරු බස්තියා, වෙදරාල, ජාවා සහ වහුම්පුරයා යන නම්වලින් පෙනී සිටි දීනිස් නම් වූ ව්‍යාජ රජු අල්ලා ගන්නා ලදී.’’   
දීනිස් මහනුවර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාගයකට මුහුණ දීම සඳහා මහනුවර සිරගත කර සිටියදී ඔහුට සමාව දෙන ලෙස ඉල්ලා ව්‍යාජ ලිපියක් ලබාගන්නා ලදී. එයින් ඉංග්‍රීසින් බලාපොරොත්තු වූයේ ඉදිරියේදී අල්ලා ගැනීමට නියමිත සැකකරුවන් උදෙසා අවශ්‍ය සාක්‍ෂි ලබාගැනීමය. ලයිතන් කර්නල් ටී.ඒ. ඩ්‍රෞට් විසින් දීනිස් පිළිබඳව තබා ඇති සටහන මෙසේය.  


‘‘.... මහනුවර හිරගෙදර පසුවන ගොංගාලේගොඩ බණ්ඩා හෙවත් ඇලුයම්ලෙන බණ්ඩා හෙවත් දිනෙස් නම් රාජප්‍රතිරූපකයාගේ හැඩනිල මෙසේය. උස - අඩි 5 අඟල් 5 1/2. පැහැය - සුදු දුඹුරු (තලඑළළු) ඇස් - ළා දුඹුරු, හිසකෙස් - තද දුඹුරු, උඩු රැවුල සහ යටි රැවුල - තද දුඹුරු ලකුණු - වම් නළල කෙළවරේ මඳ කැළලක්. වයස - 40, කඩවසම් හා බුද්ධිසම්පන්න මුහුණ.’’  
1848 දෙසැ. 28 දින මහනුවර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව අනුව ඔහු මහනුවරම සිරගත කරන ලදී. මෙසේ වුවද සමාව ඉල්ලා ඔහු විසින් ඉදිරිපත් කරන ලද ලිපිය මින් පසුව අත්අඩංගුවට ගත් පෑලියගොඩ ඩේවිඩ්ගෙ බවට පත්කර ගත් ඇතැමුන් සිංහලයේ අවසන් රජු අවමානයට පත්කිරීමට උපයෝගී කරගෙන ඇති බව පෙනේ. 

 
පෑලියගොඩ ඩේවිඩ් ඉංග්‍රීසින්ගේ අත්අඩංගුවට පත් වූ ආකාරය අප්‍රකටය. කෙසේ වුවද ඔහු අත්අඩංගුවට පත් වූ පසු ඔහුට විරුද්ධව චෝදනා පහක් යටතේ මහනුවර අධිකරණය වෙත නඩු පවරන ලද බව ජාතික ලේඛනාගාරයේ අංක 6/2077 ලේඛනයේ සඳහන් වෙයි. ඒ අනුව ඔහුට අදාළ චෝදනා මෙසේය. 1. මහනුවර රජු ලෙස පෙනී සිටීම. 2. තමා පෙර උඩරට රජුගෙන් පැවත එන්නෙකු ලෙස ප්‍රකාශ කිරීම. 3. උඩරට රජු ලෙස ප්‍රකාශ කර සිටීම. 4. ලෙනදොර ආරච්චි සමඟ යුද්ධ සංවිධාන කිරීම සහ යුදවැදීම. 5. යුද්ධය සඳහා සේනා රැස්කිරීම සහ යුද්ධ කිරීම.  


මේ සියලු චෝදනාවලට තමා වැරදිකරු බව විත්තිකරු ප්‍රකාශ කරන ලද්දේයැයි ග්‍රේ විසින් ටොරිංටන් ආණ්ඩුකරුට යවන ලද 1849-04-19 දිනැති අංක 5/35 දරන වාර්තාවේ සඳහන් වෙයි. මේ අනුව වරදකරු 1849 ජනවාරි 6 දින එල්ලා මැරීමට නියම විය. එහෙත් පසුව එම තීරණය වෙනස් කොට ප්‍රසිද්ධියේ කස පහර 100ක් දීමටත් ජීවිතාන්තය දක්වා රටින් පිටුවහල් කිරීමටත් තීරණය විය. ඒ අනුව අදාළ දඬුවමෙන් පසු ඔහු මලක්කාවට පිටුවහල් කරන ලදී. ඇතැම් ඉතිහාස ලේඛකයින් මොහුගේ මරණ දඬුවම ඉවත් කළේ ඔහු විසින් සමාව ඉල්ලීමේ ප්‍රතිඵලයක් නිසා යැයි පැවසීම සදොස්ය. සමාව ඉල්ලීම කරන ලද්දේ දීනිස් විසිනි. එයද ව්‍යාජ ලියවිල්ලකි.  


ඩේවිඩ් හෙවත් රජතුමා පිටුවහල් කරන තෙක් ඔහු සිරගත කර තබන ලද්දේ බොරැල්ල මැගසින් බන්ධනාගාරයේය. ඔහුගේ දෙපා දෙක යකඩ වළලු දෙකකින් බැඳ ඒවා කොන්ක්‍රීට් ආසනයකට සවිකර තිබිණි. ආණ්ඩුකාරයාගේ නියෝගය පරිදි පෑලියගොඩ ඩේවිඩ්ගේ රූපය චිත්‍රයට නගා ඇත. එම චිත්‍රය ඇඳ ඇත්තේ 1849 මාර්තු 8 දින බව චිත්‍ර ශිල්පියා එහි සඳහන් කර ඇත. ඉන් පැහැදිලි වන්නේ එම දින වන විටත් ඔහු මෙරට රැඳී සිටි බවයි.  


1849 අප්‍රේල් මාසයේදී මොහු මලක්කාවට පිටුවහල් කළ බවත් 1849 දෙසැ. 01 දින මරණයට පත් වූ බවත් පිපට් මහතා සඳහන් කරයි. පෑලියගොඩ ඩේවිඩ්ගේ පස්වන මුණුබුරු චාල්ස් රත්නසේකර මහතාගේ දිනපොත්වල සඳහන් පරිදි පෑලියගොඩ ඩේවිඩ්ගේ උපත 1809 මාර්තු 13 දින පෑලියගොඩදී සිදුව ඇති බව සඳහන් කර ඇත. මෙරටින් පිටුවහල් කළ මොහු මලක්කාවට පැමිණ ඇත්තේ 1849 මැයි 3 දින බව ජාතික ලේඛනාගාරයේ ඇති 6/1959 දරන මලක්කාවේ නේවාසික බන්ධනාගාර අධිකාරිවරයා විසින් එවන ලද 1850.05.01 දරන ලිපියේ සඳහන් වෙයි. මෙම වීරයා උදරාබාධයකින් මලක්කා බන්ධනාගාරයේදී මියගිය බව එවකට මලක්කාවට පිටුවහල් කරනු ලැබ සිටි ටිකිරි බණ්ඩාර දුනුවිල මහතා විසින් වැලිකඩ බන්ධනාගාර ප්‍රධානියාට ලිපියකින් දන්වා එවා ඇත. එම ලිපිය ජාතික ලේඛනාගාරයේ 1850-05-01 දිනැති 5/174 ගොනුවේ අංක 1 වෙළුවේ 21 දරන නිකුතුවේ සඳහන් වෙයි.  


මේ අනුව පෙනී යන්නේ 1848 ජූලි 12 දින සිට 1849 අප්‍රේල් මාසය දක්වා ලංකාවේ සිටි අවසන් සිංහල රජු ලෙස ලංකා රාජ්‍ය නාමාවලියට මොහුගේ නම ඇතුළත් විය යුතු බවය. 

 

 

එම්.කේ. ජයසේන  
(විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය)