ජපන් සම්ප්‍රදායික  “ජින් ශින් ජුත්සු” ශිල්පය

 ජපානයේ ටයිටෝකු ප්‍රාන්තයේ උඑනෝ උද්‍යානයේ පිහිටි සුප්‍රකට තෝකියෝ ජාතික කෞතුකාගාරය ආශ්‍රිත පුස්තකාලය පරිශීලනය කිරීමට, ජපානයේ සංචාරයක නියැලී සිටියදී මා වෙත අපූර්ව අවස්ථාවක් සැලසිනි. පුස්තකාලයේ පොත් රාක්ක පිරික්සමින් සිටි මා දෙනෙත එක එල්ලේ ම යොමු වූයේ “කොයිජිකි” නම් වූ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර තිබූ පුස්තකයක් කෙරෙහිය. ග්‍රන්ථයේ නමට පහළින් මුද්‍රණය වී තිබූ, “ජපානයේ ඉතිහාසය පිළිබඳව ලියැවුණු මුල්ම හා පැරණිතම ග්‍රන්ථය” යන සටහන තත් කෘතිය කියවා බැලීමේ රුචිය මා සිත් හි දැල්වූ සෙයක් මට හැඟිනි. එසැනින් අපේ මහා වංශය ද මට සිහිපත් විය. වර්ෂ 712 දී ලියැවී ඇති මෙහි කතුවරයා, ජපන් අධිරාජයාගේ ඉම්පීරියල් මාලිගාවේ රාජ්‍ය සේවකයකු වූ ඔනෝ යසුමරෝය. මෙම මාලිගයේ එවකට ජීවත් වූ 43 වැනි ජපන් අධිරාජ පෙන්වෙයි ගේ ආරාධනය මත හෙතෙම මෙම ඉතිහාස කෘතිය ලිවීමට පෙළඹී අති බව සඳහන් වේ.  

 

ජපන් අධිරාජ්‍ය පරපුරේ විකාශනය, ජපානයේ ජන විශ්වාස, ඇදහිලි, මුඛ පරම්පරාගතව පැවති වෘතාන්ත, දේශීය චිකිත්සා ආදී ඉපැරණි තොරතුරු “කොයිජිකි” කෘතියෙහි මැනවින් සංගෘහිතව තිබිණි. ගෞතම බුදුන්වහන්සේ ලොව පහල වීමට ද පෙර, ජපානයේ ඈත අතීතයේ සිට ප්‍රචලිතව පැවති, ආශ්චර්යමත් අන්දමින් රෝග සුවපත් කිරීමේ ශිල්පයක් පිළිබඳව වූ වාර්තාවක් මෙම ග්‍රන්ථය අධ්‍යයනයේදී මගේ දැඩි අවධානයට යොමු විය. “ජින් ශින් ජුත්සු” නම්වූ දෑඟිලි මුද්‍රාවන් සහ ඇඟිලි තුඩු එකිනෙක ස්පර්ශයෙන් හා තෙරපීම තුළින් ද්වනිත වන ස්නායු කම්පනයෙන් විවිධ රෝගාබාධ සහ වේදනා සුවපත් කිරීමේ පාරම්පරික විශ්මිත චිකිත්සාවක් ජපානය පුරා ව්‍යාප්තව පැවති බව එම වාර්තාව තහවුරු කරයි. ජපන් බසින් “ජින් ශින් ජුත්සු” යන්නෙහි සමස්ත අර්ථය ‘දයානුකම්පාව හා දැනුම මූලිකව, සුවතාව සලසන ශිල්පය’ යන්නයි.   
 “ජින් ශින් ජුත්සු” චිකිත්සාව වර්ෂ 1900 දී, වර්තමාන ලෝකයට හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ ජිරෝ මුරයි නම්වූ ජපන් ජාතික දාර්ශනිකයාටය. ඔහුගේ ශිෂ්‍යාවක වූ මේරි බර්වෙස්ටර් 1950 වසරේදී මුළු යුරෝපාකරයටම මෙම ශිල්ප ක්‍රමය හඳුන්වා දීම පිණිස පුරෝගාමීව කටයුතු කළාය. වර්තමානයේ ආසියාතික රටවල පමණක් නොව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ සංවර්ධිත රටවල බටහිර වෛද්‍යවරු පවා, ඇතැම් රෝග සුවපත් කිරීම පිණිස “ජින් ශින් ජුත්සු” චිකිත්සාව භාවිතා කරති. කෙන්ටකි විශ්වවිද්‍යාලයේ බටහිර වෛද්‍ය කණ්ඩායමක් විසින් පිලිකා රෝගයෙන් පෙළුණු රෝගීන්ගේ ඔක්කාරය, වේදනාව සහ මානසික ආතතිය දුරලීම පිණිස මෙම චිකිත්සාව භාවිතා කර සාර්ථක ප්‍රතිඵල ලබා ඇති බව වාර්තාවේ. “ජින් ශින් ජුත්සු” ශිල්පය ලොව මුළුල්ලේ බෙහෙවින්ම ජනප්‍රියව පැවතියද, ඒ පිළිබඳව මෙරට ජනතාව අතරෙන් වැඩි පිරිසක් තුළ අල්පමාත්‍ර හෝ දැනුමක්, අවබෝධයක් නොමැති බැව් හැඟේ. මෙරට ජනතාවට, ඉතාමත් සරල වූ මෙම චිකිත්සාව හඳුන්වා දීම තුළින්, ඔවුහු යහපත් නිරෝගීමත් දිවියකට නැඹුරු වනු නිසැකය.   
 නවීන විද්‍යාත්මක පර්යේෂණයන්හි අරුණලු ලොව පැතිරෙන්නට පූර්වයෙන් වූ යුගයක (ගෞතම බුදුන්වහන්සේගේ උපතට ද පෙර සිට) ජපානයේ පැරැන්නන්, මිනිස් සිරුරේ අභ්‍යන්තරික ක්‍රියාකාරීත්වය පිළිබඳව නිවැරදි පුළුල් අවබෝධයකින් පසු වූ බැව් “ජින් ශින් ජුත්සු” ශිල්පයේ මූලධර්ම පිරික්සීමේදී මොනවට පැහැදිලි වේ. වත්මන් විද්‍යා පර්යේෂකයන් ද සනාථ කර ඇති පරිදි, මොලය හා දෑඟිලි අතර මෙන්ම දෑඟිලි අතර සහ ශරීරයේ ප්‍රධාන අභ්‍යන්තරික ඉන්ද්‍රිය පද්ධතිය අතරත් අති සියුම් ස්නායු සම්බන්ධතාවක් පවතින බවට ඔවුන් තුළ ගැඹුරු අවබෝධයක් පැවතිණි. අතක සෑම ඇඟිල්ලක්ම මිනිස් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රිය යුග්මයක් හා ඍජුව බැඳී පවතී. ඒ අනුව මාපටැඟිල්ල උදරය හා පිලාවට ද, දබරැඟිල්ල වකුගඩු හා මුත්‍රාශයට ද, මැදඟිල්ල අක්මාව හා පිත්තාශයට ද, වෙදැඟිල්ල පෙනහළු හා මහා බඩවැලට ද, සුලැඟිල්ල හදවත හා කුඩා බඩවැලට ද සම්බන්ධව පවතී.   
කායවිච්ඡේද විද්‍යාව අනුව මොළයෙහි ප්‍රධාන කලාප තුන ලෙස සැලකෙන පෙර මොළය, මැද මොළය සහ පසු මොළය යන කලාප සමඟ දෑතේ ඇඟිලි අතර ඍජු සම්බන්ධතාවක් පවතී.   
වමතේ ඇඟිලි සහ මොළයේ ඍජු සම්බන්ධතාවය.   
 යමක් හඳුනා ගැනීම සඳහා සංවේදී වන මොළයේ පෙර (පූර්ව) කලාපය සමග වමතේ සුලැඟිල්ල (5) ද ශබ්දය පිළිබඳ සංවේදීතාව රැඳී මොළයේ මැද කලාපයේ මුල් කොටස සමග වමතේ වෙදැඟිල්ල (4) ද, ස්පර්ශය පිළිබඳ සංවේදීතාව දක්වන මොළයේ මැද කලාපයේ දෙවැනි කොටස වමතේ මැදඟිල්ල (3) සමග ද, පරිකල්පන ශක්තිය මෙහෙයවන මොළයේ පසු කලාපයේ පූර්ව කොටස වමතේ දබරැඟිල්ල (2) සමග ද, නායකත්වය උදෙසා සංවේදීතාව දක්වන මොළයේ පසු කලාපයේ අපර කොටස වමතේ මාපටඟිල්ල (1) සමග ද අන්‍යොන්‍ය වශයෙන් සම්බන්ධවී ක්‍රියාකරන බව හෙළිවේ.   
දකුණු අතේ ඇඟිලි සහ මොළයේ ඍජු සම්බන්ධතාවය.   
 දකුණු අතේ සුලැඟිල්ල (5) නිරීක්ෂණය උදෙසා සංවේදී මොළයේ පූර්ව කලාපය සමග ද, දකුණු අතේ වෙදැඟිල්ල (4) වාග් කෞශල්‍ය කෙරෙහි සංවේදීතාව දරන මොළයේ මැද කලාපයේ පූර්ව කොටස සමග ද, දකුණු අතේ මැදඟිල්ල (3), පාලනය උදෙසා සංවේදීතාව දක්වන මොළයේ මැද කලාපයේ අපර කොටස සමග ද, දබරැඟිල්ල (2) තර්කනය උදෙසා සංවේදීතාවක් දක්වන මොළයේ පසු කලාපයේ මුල් කොටස සමග ද, මාපටැඟිල්ල (1) කළමනාකරණය පිළිබඟව සංවේදී, මොළයේ පසු කලාපයේ අපර කොටස සමග ද අනන්‍යොන්‍ය වශයෙන් සම්බන්ධවී ක්‍රියාත්මක වේ.   
 සිරුරේ සියලු‍ම සෛල වෙත ජීව ශක්තිය ගලා යන මාර්ග එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අවහිර වීමෙන් වේදනාව සමග විවිධ රෝග ප්‍රභවයන් සිදුවේ. රෝගීවූ අභ්‍යන්තර ඉන්ද්‍රිය හා සබැඳී පවත්නා නියමිත ඇඟිල්ල “ජින් ශින් ජුත්සු” ශිල්පය මගින් නිර්දේශිත මුද්‍රාවක් මගින් තෙරපීමට බඳුන් කර සියුම් කම්පනයක් ජනනය කිරීමෙන් අබාධය පිටුදැකිය හැකිවේ. මෙහිදී අදාළ ඇඟිල්ලට සම්බන්ධිත මොළයේ නිශ්චිත කලාපය ද උත්තේජනයට පත්වීම තුළින් වේදනාව හා රෝගය සුවපත් වීම කඩිනම් වේ.   
 “ජින් ශින් ජුත්සු” කම්පන තාක්ෂණය මගින් රෝග බිය පිටුදැකීම පිණිස හඳුන්වා දී ඇති මුද්‍රා රාශිය අතරින් අතිශයින් වැදගත් මුද්‍රා කිහිපයක් ඔබගේ පරිශීලනය සඳහා පහත පෙළගස්වා දැක්වීමට අදහස් කළෙමි.   

 


01. ගයන් මුද්‍රාව;

මෙම මුද්‍රාවේ පෙන්වාදී ඇති පරිදි ඇඟිලි හැසිරවීමෙන් මානසික ඒකාග්‍රතාව, ස්මරණ ශක්ති වර්ධනය, දැනුම හා අවබෝධය පුළුල් වීම ද සිදුවේ.   
දෑතේ මාපටැඟිලි තුඩෙන් දබරැඟිලි තුඩුව තෙරපීම ගයන් මුද්‍රාව සේ සැලකේ.  
 

02. වායු මුද්‍රාව;

සන්ධි ප්‍රමේහය, රක්ත වාතය, පාර්කින්සන් රෝගය, අංශ භාග වැනි රෝග නිවාරණය සඳහා වායු මුද්‍රාව නොවරදින ප්‍රතිකාර විධියක් සේ සැලකේ.   
දබරැඟිල්ල මදක් නවා මාපැටගිලි තුඩුවට සමීපව විරුද්ධ දිශාවට විහිදුවීම වායු මුද්‍රාවයි. 
 

03. පෘතුවි මුද්‍රාව;

ශරීර දුර්වලතා සමනය කෙරේ. රුධිර සංසරණය හා ජීර්ණ පද්ධතියෙහි මනා ක්‍රියාකාරීත්වය වර්ධනය කෙරේ. ශාරීරික විඩාව සහ මානසික පීඩනය අවම කිරීමට ද මෙම මුද්‍රාව ඉවහල් වේ.   
මාපට ඇඟිලි තුඩුව හා වෙදඟිල්ලේ තුඩුව එකට ස්පර්ශ කර තෙරපීම පෘතුවි මුද්‍රාවයි. 
 

04. අග්නි මුද්‍රාව;

තයිරොයිඩ් ග්‍රන්ථිය උත්තේජනය කර එහි මනා ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාම උදෙසා මෙම මුද්‍රාව ප්‍රගුණ කිරීමට නිර්දේශිතය. ශරීර ස්ථුල භාවය අවම කර ගැනීමටත් ආහාර ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වය උදෙසාත් අග්නි මුද්‍රාව ප්‍රශස්ත මෙහෙවරක් සලසයි.   
වෙදැඟිල්ල නමා, එහි දෙවැනි පුරුක මත මාපටඟිල්ලේ තුඩ තබා තෙරපුමට ලක් කිරීම අග්නි මුද්‍රාව සේ සැලකේ.   
 

05. වරුණ මුද්‍රාව;

දෑසේ දීප්තිය වඩාලයි. රුධිර සංසරණය විධිමත් වීම සහ දද කුෂ්ඨ සුවපත් කිරීමෙහි ලා ද මෙම මුද්‍රාව යහපත් මෙහෙවරක් සලසයි. මෙලනින් වර්ණක සෛලවල ක්‍රියාකාරීත්වය ක්‍රමවත් අන්දමින් පාලනය කර ඡවි වර්ණය පැහැපත් කරලයි. වියපත් වුවද තරුණ පෙනුම රැක ගැනීමට ද වරුණ මුද්‍රාව ඉවහල් වේ.   

සුලැඟිල්ල හා මාපටඟිල්ලේ තුඩු එකිනෙක ස්පර්ශ කරමින් තෙරපීමට ලක් කිරීම වරුණ මුද්‍රාවේ ස්වරූපයයි.   


06. ශුන්‍ය මුද්‍රාව;

මෙය ශ්‍රවනේන්ද්‍රියේ ව්‍යාකුලතා පිටුදැකීම සහ කනේ වේදනාවන් දුරලීමට ද සමත් මුද්‍රාවක් සේ සැලකේ.   
මැදැඟිල්ල නමා ඒ මත මාපැටැඟිල්ල තබා තෙරපුමට බඳුන් කිරීම ශුන්‍ය මුද්‍රාවයි.   
 

07. ප්‍රාණ මුද්‍රාව;

ශාරීරික ප්‍රබෝධය සහ ශරීර ශක්තිය උපරිම මට්ටමකට සලසා ගැනීම පිණිස ප්‍රාණ මුද්‍රාව උපයෝගී වේ. දිවා කාලයේ කාර්යාලයේ හෝ දේශන ශාලාවේදී දෑසේ තැවරෙන නිදිබර ගතිය දුරලන්නට මෙම මුද්‍රාව බෙහෙවින්ම උපයෝගී කරගත හැකිය. ප්‍රාණ මුද්‍රාව නිරතුරු ප්‍රගුණ කිරීමෙන්, සිරුරේ ප්‍රතිශක්ති ප්‍රතිශතය වර්ධනය කර ගැනීමට ද අවකාශ සැලසේ.   
වෙදැඟිල්ලේ හා සුලැඟිල්ලේ තුඩු මදක් දබරැඟිල්ල දෙසට නමා දබරැඟිල්ලේ තුඩ තෙරපීම ප්‍රාණ මුද්‍රාවේ ස්වරූපයයි. 
 

08. අපනු වාය මුද්‍රාව;

හදවත් මාංශ පේශීන් ශක්තිමත් කරමින්, හදවතේ නිරෝගී භාවය පවත්වාගෙන යාම සඳහා මෙම මුද්‍රාව අතිශයින්ම උපයෝගී වන බැවින් මෙම මුද්‍රාව හදවත් මුද්‍රාව ලෙසින් ද හැඳින්වේ.   
මැදැඟිල්ලේ සහ වෙදඟිල්ලේ තුඩු, මාපටඟිල්ලේ මුල ස්පර්ශ කරමින් තෙරපුමට ලක් කිරීම අපනු වාය මුද්‍රාවයි.   


9. ක්ලේස්වර මුද්‍රාව;

මනස සන්සුන් කිරීමේ හා චිත්ත වේග ලිහිල් කිරීමේ අපූර්ව හැකියාවක් මෙම මුද්‍රාව තුළ ගැබ්ව ඇත.   
දෑතේ මාපැටඟිලි දෙක එකට තබා, දබරැඟිලි දෙක මැද පුරුක්වලින් නමා, මැදැඟිලි දෙක ඉහළට විහිදුවා එහි තුඩු එකිනෙක තෙරපීම සහ වෙදැඟිල්ල හා සුලැඟිල්ල මැද පුරුක්වලින් නැමූ විට ක්ලේස්වර මුද්‍රාව නිරුපණය වේ.   
 

10. සූර්ය මුද්‍රාව;

තයිරොයිඩ් ග්‍රන්ථියේ මනා ක්‍රියාකාරීත්වය සහ සිරුරේ අධික ස්ථුල භාවය පිටුදැකීමට මෙම මුද්‍රාව උපයෝගී වේ.   
වෙදැඟිල්ල නමා මපැටැඟිල්ලෙන් වෙදැඟිල්ල තෙරපීමට බඳුන් කිරීම සූර්ය මුද්‍රාවේ ස්වරූපයයි.   
මෙම සියලු‍ම මුද්‍රා ප්‍රගුණ කරන අවස්ථාවල නිරන්තරයෙන්ම, ආශ්වාස හා ප්‍රශ්වාසය වෙත සිය ස්මෘතිය යොමු කරගෙන සිටීම අතිශයින්ම වැදගත්වේ. මුද්‍රා සඳහා ක්‍රියත්මක කෙරෙන ඇඟිලි හැර සෙසු ඇඟිලි ඍජුව තබා ගැනීම ද අවශ්‍ය වේ.   
 

 “ජින් ශින් ජුත්සු” ශිල්පයේ ඉහත සඳහන් මුද්‍රාවන්ට අමතරව, විවිධ රෝග සුවපත් කර ගැනීම උදෙසා, එක් අතක ඇඟිලි වෙන් වෙන් වශයෙන් අනෙක් අතින් තදින් අල්ලා තෙරපීමේ ක්‍රමවේදයක් ද හඳුන්වා දී ඇත. ඒ අනුව මාපටඇඟිල්ල තෙරපීමෙන් නින්ද නොයාම, හිස රදය, ආතතිය පිටුදැකීමටත්, මස් පිඩු වේදනාව හා ජීර්ණ පද්ධතියේ විවිධ අකර්මන්‍යතා සුවපත් කර ගැනීමටත් අවස්ථාව සැලසේ. දබරැඟිල්ල තෙරපීමෙන් මුඛ රෝග, මුත්‍රාශ, වකුගඩු අබාධ, අධික රුධිර පීඩනය, කොන්දේ වේදනාව ආදී රෝගයන්ගෙන් අත්මිදීමට අවකාශ සැලසේ. මැදැඟිල්ල තෙරපීමට බඳුන් කිරීමෙන් පිත්තාශ හා අක්මාව ආශ්‍රිත රෝග ද, රුධිර පීඩනය මානසික අසහනය හා ශාරීරික විඩාව පිටුදැකීමට ද හැකිවේ. පෙනහළු රෝග හා ආශ්වාස අවහිරතා සුවකර ගැනීම පිණිස වෙදැඟිල්ල තෙරපීමට ලක්කළ යුතුවේ. සුලැඟිල්ල තෙරපීමෙන් හදවත් රෝග, ස්නායු දුර්වලතා හා ආතතිය සුවපත් කර ගත හැකිය.   
 “ජින් ශින් ජුත්සු” ජපන් සම්ප්‍රදායික මුද්‍රාවන්ට බෙහෙවින්ම සමාන හස්ත මුද්‍රා පද්ධතියක් ක්‍රි.පූර්ව 3300-1900 කාලවකවානුවේ ඉන්දු නිම්න ශිෂ්ටාචාර ආරම්භක යුගයේදී පැවතුණු බවට ඓතිහාසික සාධක පවතී. වෛදික යුගයේදී භාරතයේ අතිශයින්ම භාවිතයට පත් යෝග මුද්‍රා කිහිපයක්, ජපන් සම්ප්‍රදායික මුද්‍රා හා සමානතාවයක් දක්වන බව ද මෙහිදී සඳහන් කළ යුතුව ඇත.

 

ආචාර්ය ගාමිණී කාරියවසම්