පරපුරක කළු දුඹුල් කඩා පිරිසුදු කරන
සෙවෙල කෑ උළු පිහිලි සෝද සෝදා හරින
අලුත් වැස්සක අසිරි පතා සිටියෙන් නිතින
මෙන්න දැන් දොරකොඩට ඇවිත් නිල් දිය ඉසින

දැදුරු වුණු දොර ජනෙල් මානයේ උණුසුමින
සුව සිහිල නිදහසේ උරා බී සැප විඳින
ලෝකයේ පුස්ඹ පිරි' තිරෙන ලෙස විවර වුණ
වලව්වට සිව් දිගින් සුළං රැළි විත් නටන

අලුත් වැස්සෙන් පෙඟුණු පින්තූරයෙන් එබෙන
රත් යවට සේ දැනෙන තාත්තගෙ නෙත්වලින
දීප්තිය නිවී සේදී දුකට කඳුළු එන
රාමුවෙන් බිඳෙන් බිඳ පතිත වී ලිහී යන

ඇතුළු ගැබ නොදුටු අහුමුළු සොයා හඹා යන
අලුත් වැහි හැලි වළං උතුරුවා ඇද වැටෙන
මහ පෙට්ටගම ' හායි ' ගා මහලු කට අරින
අවලංගු ඔප්පුවල අකුරු බොඳ වී මැකෙන

බමුණු මහසල් කුලයෙ රස්නයෙන් ඉරි පැළුණ
මාන්දම් බිත්ති බඩ නෙරා කොරපොතු ඉහෙන
ලොවට දුන් ගිනි ම යළි ගෙබිම ගිනියම් කරන
අලුත් වැස්සෙන් එගිනි නිවි නිවී සංසිඳෙන

එදා දස දිගින් වැඩි සුළඟට ද වැසු දොරින
ඇතුළු වෙයි ගැමි දනන්ගේ වේදනා මුහුණ 
වලව්වේ වියගසින් මිදී රිසි සේ හාන
ගොවි පුතුන් මඩ නාන්නට මටත් අත වනන

-  නන්දන වීරසිංහ 
( කිරි සුවඳැති රාත්‍රිය - 1990 )