(i) (පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි
විනය ගැන නොසලකයි
හිතුමතේ වැඩ කරයි
හැසිරීම අසතුටුදායකයි

 

(ii) (පන්සලේ රපෝර්තුව)

විචිකිච්චාව, පව් සිතක ලකුණු මැයි
හඳහනද පින් මඳ යැ
වාතයා- රක්තයා කිපී ඇත
දේව ධර්මය නොදන්නී
බුදුන් සරණ යෙමියි බුත්සරණ යා යුතු

 

(iii) (උසාවියේ රපෝර්තුව)

(අ) නීතිය බිඳින්නට තැත්කර ඇත්තේය.
(ආ) සාමය-සමාදානය කඩකොට ඇත්තේය.
      - සත්‍යය, සම්පූර්ණ සත්‍යයේ නාමයෙන්
(ඇ) කස පහර දිය යුතුය.
(ඈ) යහපත් පුරවැසියකු කළ යුතුය.

 

(iv)(වෛද්‍යවරයාගේ රපෝර්තුව)

රෝගියෙකි.
මානසික ප්‍රතිකාර නිර්දේශ කරමි.
පෝබියා, මේනියා, පැරනොයා, හිස්ටීරියා
නියුරොටික්-සයිකොටික්
ඇබ්නෝමල්-ක්‍රිමිනල්
චර්යාව අස්වාභාවිකයි.

මානසික සැත්කමක් කළ යුතුය
ආවේග මර්දනය කළ යුතුය
නින්දට පෙර
පෙනබාබිටෝල් පෙති දෙනු:

 

(v) (විත්තිකරුගේ ප්‍රකාශය) 

ගොළුබෙල්ලෙක් නොකරව් මා
ශෛලයන් කපා දා
බියගුල්ලෙක් නොකරව් මා
දේව ධර්මය දෙසා
මී හරකෙක් නොකරව් මා
මුසා දම් කර ගසා
"හොඳ ළමයෙක්" නොකරව් මා
දෑත කට බැඳ දමා

සොක්‍රටීස් මෙන් ප්‍රශ්න නගන්නට 
ඉඩ දියෝ
ඩේකාට්ස් වගේ සැක කරන්නට
ඉඩ දියෝ
ගඟක් මෙන් ගසාගෙන යන්නට
මට ඉඩ දියෝ
පිහියක් මෙන් පලාගෙන යන්නට
මට ඉඩ දියෝ

පුරුෂ ලිංගයක් සේ
මතුවෙන්නට ඉඩ දියෝ !

| අකීකරු පුත්‍රයකුගේ ලෝකය (1974)