
රම්බොඩ ඇල්ල ඉහිරෙන ඇසිදිසි මානේ
තුන්පත් රටා ලියලන දුම්බර හීනේ
සෙංකඩගලට පායන පුන්සඳ පානේ
සුන්දර සිහින දුටුවෙමි පෙම්බර මූණේ
රම්බොඩ ඇල්ල අසබඩ පොල් රොටි කඩයේ
දුම්බර ලියකි පිටි ගුලි අනමින් හිටියේ
මින්දද ම'හද මිරිකන කොට කිටි කිටියේ
චුම්බන විඳින සුළඟකි මා වට සිටියේ
නිම්හිම් නොමැති මීදුම් ගඟ සසල කොට
පුන්සඳ පාන ලෙන්ගතුකම් පානකොට
රම්බොඩ ඇල්ල ඉඟ නලවා බලන කොට
බිංගේ තුළ ම නවතින්නට හිතෙයි මට
ගම්දොර ගලන මිහිදුම් සළු යටින් බලා
දුම්බර අඟන ඉඟිලන විට ම'හද පෙළා
පෙම්බර හැඟුම් ඉහිරෙන කොට දෙගොඩ තළා
රම්බොඩ ඇල්ල හැරි හැරි මට විහිළු කළා
නිල්වන් අහස පැහැනද දේදුනු ගිහිණී
කැල්මෙන් ඔකඳ මේකුළු ගිරි හිස රැඳුණී
බැල්මෙන් ම'හද කලඹන කල ඒ සොබනී
බිංගේ දුලන එළියෙන් සිත කිති කැවුණී
උතුරා ගලන හිරිමල් සිතුවිලි ගොන්නේ
කොකුනේ බොලව් මොනවද තොපි අහුලන්නේ
හඬනා කලට ගෙම්බන් සීතල තැන්නේ
වැතිරී සිටින සානු ද නැඟිටී පින්නේ
උහුලා ගන්න බැරි මිහිරෙන් ඔකඳ වෙලා
වෙව්ලා යද්දි හද පතුලේ පුලින තලා
පපුවේ උනන උණුදිය උල්පතක් බලා
පොළොවේ නිදන නිදිකුම්බා කෙළින් වෙලා
හද ලෙන පුරා සීතල දිය සෙවල බැඳී
ඉකිලයි රිදුම් මනරම් පිනිබිඳක රැඳී
සුදු පෙණ බිඳෙන වතුරේ කර වටක් කිඳී
අපමණ හැඟුම් පිහිනා මධු සමය විඳී
බිරිඳට සේ ම දරු දෙදෙනාට ම නොපෙනී
ගලනා විදුලියක් ඈ දෑසෙහි දිලුණී
ඒ විදුලියෙන් මා වෙව්ලන විට නොදැනී
පිළිහුඩුවෙකුගෙ හොට'ගින් ලූලෙකු වැටුණී
දුම්බර සුළං රළ නිම්නය සිඹින විට
ගම්දොර පුරා දැල්වුණි මිණි පහන් වැට
පෙම්බර නයන යුග මං දැක සැලෙන කොට
රම්බොඩ ඇල්ල වැටුණෙ ම මගෙ හදවතට
රොටියෙන් රොටිය පිච්චෙන ඒ කබල මත
කෙටියෙන් කියනු බැරි දේවල් එමට ඇත
සමුගෙන යද්දි මට හිමි දිවි මඬල වෙත
මගෙ හද මඬල වැටුණා රොටි කබල මත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd