අම්මාවරුන් විඳිනා ළතැවුලින් පෙරූ

පැහැනද හැඟුම් දහරක උණුහුමින් සරූ

නොපහන් රිදුම් කකියන කවියකින් ගැරූ

සුපසන් වදන් මිරිකමි කිරි පනින තුරූ

 

අහස ම සිතුවමකි සකියනි දැනගන්න

මව්කිරි නොබිව් එකෙකුට බැහැ විඳගන්න

එහෙනම් මහතුනේ මේ ටික අහගන්න

මව්කිරි පනින තෙක් මිරිකමි දේදුන්න

 

බඩ ගා දුරින් දුර ගව්වෙන් ගව්ව සැරූ

තොල ගා මිහිරි කඳුළ ම නෙතු අගින් පෙරූ

උරගා පොළොව දුක සැප දහදියට හුරූ

වල්ගා තරුව මිරිකමි කිරි පනින තුරූ

 

කඳුවැටි පවා ඉරහඳ යට දුකට හුරූ

පවසයි නාය ගිය තැන මඩ කඳුරු පෙරූ

ගිරි හිස මුඳුන නිල් තණකොළ කිරුළු දැරූ

කිරිගල්පොත්ත මිරිකමි කිරි පනින තුරූ

 

කතරක පවා දැක ගමි යටගිය උරුම

මිනිසත් බව ම විඳ විඳ නෙක නෙක කරුම

හඳුනනු බැරි ද දහදිය කඳුළක අරුම

මිරිකමි පිරමිඩ ද කිරි පනිනා තුරුම

 

කිතුලක පපුව අත ගා අම රසට පෙරූ

තොල ගා සතුට ජෝතිගෙ හද බසට හුරූ

හඬ ගෑ එවුන් සිහිකර ගම කිරුළු දැරූ

සඳකඩපහන මිරිකමි කිරි පනින තුරූ

 

තල්මහ පවා මව්කිරි බොන සතෙකි ගරූ

කරදිය ගැඹුර වඩදිය බාදියට ගැරූ

දකිනට බොලව් මව්කිර උණුහුමක සරූ

ග්ලැසියර පවා මිරිකමි කිරි පනින තුරූ

 

ලොව්තුරු සිහින භූගත සිතියමක සරා

රියසක දුවයි ඉන්ධන දහදියෙන් උරා

දුහුවිල්ලේ ම කැලතෙන ජීවිතය පෙරා

සයිලන්සරය මිරිකමි කිරි පනින තුරා

 

ග්‍රහයෝ දුවති මේ ඉර හඳ තිබෙන තුරූ

උල්කාපාත කැරකෙයි සක්වලක සැරූ

සිහියට රැගෙන ජව බල මව්කිරක පෙරූ

ඈපා ලිත ද මිරිකමි කිරි පනින තුරූ

 

තත්පර කටුව ලෙස විරුදාවලිය දැරූ

කෙට්ටු ම එකා දිව යයි වේගයට හුරූ

මව්කිර බෙලෙන් සවි ගෙන කවියකට පෙරූ

ඔරලෝසුව ද මිරිකමි කිරි පනින තුරූ

 

පෙරුම් පිරූ ඉරණම සිහියට ගන්න

හැඟුම් දැනෙන මහතුනි ඔබ නැඟිටින්න

රිදුම් දරා එඩියෙන් අවදි ව ඉන්න

නෙළුම් කුලුන මිරිකමි සුළුදිය ගන්න