
හවසට තැළෙන බසයක පොදු ජන රාශී
හිටගෙන ගියපු තරමට පල දෙන වාසී
තෙරපෙන කලට දත් මිටි කන හඬ නෑසී
මොකට ද මචං කිසි දා නොතැළෙන පේශී
බොම්බයි මොටයි හසරැලි උතුරන කටක
කෘන්තක සමඟ රදනක ඉපිලෙයි විටෙක
සම්බල් වෙමින් මිරිකෙන කල එක මිටක
ගැම්මෙන් පිබිද මේදය දියවෙන පටක
එන්ජින් ඔයිල් බේරෙන අත පය හතර
ලංගම අවුල් විඳ විඳ කකියයි නිතර
ජංගම රතිය හිටගෙන විඳ බව කතර
වංගුව අනුව ඇඹරෙමු සුහුරු ව මිතුර
ලබ්බට තබන අත පුහුලට දෙනු පිණිස
තිබ්බත බැටළු සියොළඟ දෙන ලොම් පහස
තිබ්බටු කැකිරි වැටකොළු මිරිකෙන විගස
කජ්ජට වඩා පුහුලම වළඳයි මනස
සහරා කතර කුර ගෑ ඔටුවෙකුගෙ හතී
තොල ගා බැලූ කිරි කහටක උනනවැතී
උරගා බලනු බැරි ගිලගෙන සිටින රතී
ගජගා වන්නමකි සියොළඟ නටන කිතී
අත පය විහිදුවා හිත යට ගලන දොළේ
අට පහ නොදන්නා පැඟිරෙකි විහිළු කළේ
තුන පහ සුවඳ විඳ ඇඟ ලොම් මයිල් හැලේ
දහ අට පාලියකි යටි බඩ තොවිල් පොළේ
රෝම කූප පාමුල හී ගඩු ගැස්සේ
බූමරංග වදිනා ළැම තල ඉස්සේ
ප්‍රේමනීය කෙඳිරිලි මැසිවිලි අස්සේ
මෝහනීය විදුලිය පපුවට බැස්සේ
ගිලින මදන මෝදක රසයෙන් ඔකඳ
පනින පිනි මුවන් බසයෙහි ඇත නොමඳ
මදුරු කොයිල් බුදිනා දිවියක කිමිද
පැරණි ශිලා මෙවලම් පිබිදෙයි සබඳ
බැටරි වතුර ඇත පීනන ලූලන්ට
වැටෙන සුරත් පල උරුම යි වවුලන්ට
ඉදෙන සියඹලා නොදකින වඳුරන්ට
ගිලෙන චුවිංගම් හප ඇත රහ බොන්ට
උලා කෑව ඉපනැලි රස අනුහසිනී
වැටී වමාරා කන පුහු දන තොසිනී
නයා පෙනේ කරනා කල සෙනෙහසිනී
දනෝ ක්ෂීර සාගර පතුලට වැටුණී
පෙම්මා වඩන ස්පා සුරලොව සදන
සම්බාහනය නොමිලේ දෙන බස් ගමන
උම්මා දෙමින් දාඩිය ලුණු රස රැගෙන
නිම්මා නොමැති සුව අපි විඳගමු සොඳින
තැළෙනා පේශි තුළ රතු ලේ නහර නැමී
උනනා කවිය සෙනෙහෙන් හදවතට ගමී
හඬනා දුක ම මිරිකා මකරන්ද බොමී
තොල ගා බලන්නට මේ කවි ඔබට දෙමී

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්‍රිය බස් ගමනේ සුන්දර කවි රසය ගෙනදුන් ඔබට මේ හද පිරි තුතිපුදය... තව තව ලියන්නට ලැබදේවා...! දිරිය ලංකාදීපයට පලකරනෙමි තුතිය..!