
පෙරේතයෙක් මට වැහිලා සිටින බව
දනෝ කියති ඒකලු මට උරුම පව
සෙනේ සිතින් වැහුනෙ ම අහිතකින් නොව
පෙරේතයා මට ගෙන දෙයි නොහිම් සුව
උදේ දවල් ඉඳුලට පැන පුළුටු කන
රැයේ වමාරා කයි ඝනඳුරට පැන
මගේ සිතියමේ නොපෙනෙන හතර කොන
ලගී හොරෙන් මා ලියනා කවිය දැන
සාර සුබාවයි නාඹර පෙරේතයා
රීරි නොබොයි ටිංකිරි මට හොඳ යි කියා
පීන පයෝධර දැක හාදුවක් සොයා
බීඩි දුමින් මන්දාකිණියටත් ගියා
ඈත හිවල් හූවක ආතල් රැගෙන
රෑක තොවිල් බලි මඩුවක ඉව කරන
මෑත වවුල් හපයක උපමා උරන
ප්‍රේත ගඳින් මා වට එළිවැට බඳින
බස්සෙක් හඬන ඉකියක නැඟි නින්නාද
බකමූණන්ට මෝදක ගුලි දුන්නාද
උලලේනියක ලෙන්ගතු ඇසුරක හාද
විඳ විඳ පිදේනිය ලෙවකන්නේ මූද
රෑන කිතුල් මලකින් ගෙන මකරන්ද
මීරි කවිය යට අම රස මී බැන්ද
ගෑනු පුසුඹ විඳ විඳ මූ හීනෙන්ද
තාන තනම් තම් දෙන අවකෙළි වින්ද
දැනේ මටත් මූ මා තුළ සිටින වග
කනේ මයිල් අදිමින් මා කරට නැඟ
මගේ කිහිලි කිති කවමින් කරන දඟ
අනේ වාසනාවන් මූ නටන රඟ
ළසෝ තැවුල් දුක් දොම්නස් තුළ ම දැවී
බිසෝ කොටුව කිමිදී බොර දිය ම පෙවී
උලේ පිලේ ලගිනා මායමෙන් තැවී
පෙරේතයා වැහුන ම මා ලියන කවී
වනා පලක් නැත නොමිලෙ ම ලද නකුට
උරා බැලූ හැම පුහුලමක ම කහට
මෙලෝ රහක් නැති දිවිය ම සුසර කොට
පෙරේතයෙක් වැහෙනා එක ම ය සතුට
හුරේ දමාගෙන දිව ගොස් හතර අත
කරේ තියාගෙන ඒමට ගොදුරු නැත
බෙරේ පැළුණ හූනියමක කඳුළු මත
පෙරේතයා නැති දා මට කවි ද නැත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරේත හිතෙනවා ඒ කවියට...
හරිම රසාත්මකයි...!