
ආදරවන්තයකු ගෙනත් බෝගම්බර දංගෙඩියට
තදින් ම වහගෙන ඇස් දෙක බෙල්ල කපා මරනා විට
උහුල ගන්න බෑ දස්කොන් දරා ගන්න බෑ දස්කොන්
ආදරයෙන් උතුරා ගිය පපුවක් ඇති ගහලයකුට
අත්දෙක ලණුවෙන් බැඳලා අපි උඹ අරගෙන එනකොට
මං දැක්කා දිලිහෙන හැටි අසරණ උඹගේ ඇස් දෙක
අහස දිහා බලමින් උඹ හෙමි හෙමීට ඇවිදින කොට
කියා ගන්න බැරි තරමට දුක දැනුණේ මගෙ පපුවට
මන්දාරම කළුවර යට ගෙනියන කොට දංගෙඩියට
වැඩි කලබලයක් නැතුව ම උඹ පියවර තබනා විට
විලාප දී ළඟ පාතක කිරලෙක් හඬනා මොහොතක
කඳුළක් රූරා වැටුණා ගැහි ගැහි වෙව්ලන කොපුලක
ඇවිදින් දංගෙඩිය ළඟට හුස්මක් අරගෙන ඉහළට
හිස ඔසවා සන්සුන් ලෙස මා දෙස උඹ බලනා විට
අහක බලාගෙන හනිකට මං හැරුණේ අනික් පසට
වධකාගාරයෙන් දීපු කඩුව උඹට නොපෙනෙන ලෙස
කීප වරක් පා පැකිලී උඹ වැටෙන්න ගිය මොහොතක
හැරිලා උඹ මගෙ පැත්තට මං දිහා ම බලනා විට
උඹේ මූණ බලන්න මට බැරි හින්ද යි දස්කොන් මම
වහං වෙලා සෙබලළුන් හට අඩියක් පැන්නේ පස්සට
ප්‍රමිලාවගෙ සුවඳ ගලන හීතල හුළඟට තුරුලු ව
පෙනණලු පිරෙනා තරමට හොඳ හුස්මක් අරගෙන උඹ
දෑසින් මොනවද කියලා කට කොනකින් හිනාවුණේ
ආදරයක් පාමුල මරණය දණ ගහනා හින්ද ද.
කඩුව පහත් වෙන මොහොතෙ ම දස්කොන් උඹගේ බෙල්ලට
තොල හපාන මං හනිකට වහ ගත්තා මගෙ ඇස් දෙක
හීන් කෙඳිරියක් එක්ක ම හිස පොළොවට පෙරළෙන කොට
උඩ ගිය ඇස් දෙක තිබුණේ අනියත පැහැසර බැල්මක.
ගෑවුණ උණු ලේ මස් කැටි හෝදා පිසදා හනිකට
කඩුව බාර දී මහ වාසල ආවුද ගබඩා ගෙට
හිස නැති මළ කඳක් වගේ මගේ පැලට මං එනකොට
දස්කොන් උඹවත් දන්නෑ ගහලයකුට දැනෙනා දුක
මාත් මගේ ගෑනි එක්ක ආදර සුව වින්ද පැලට
රජ වාසල හේවායෝ කඩා පැන්නෙ හැන්දෑවක
ඈ කුදලාගෙන ගිහිල්ල දැම්මලු අන්තඃපුරයට
ඔටුන්න ඇඳ යට තියලා නිදි වදින්න මහ එකාට.
තිස්තුන් කෝටියක් ඉන්න හැම දෙයියන්ට ම වැඳලා
මහ වාසල මහ එකාට හෙණ හත වැදියන් කියලා
කිතුලක පපුවෙන් වෑහෙන කඳුලෙන් කඳුලට උරලා
දස්කොන් මං අද බොනවා පාන්පැලට ගිනි තියලා.
ආදරයක හැඟුම් දැනී සෙංකඩගල මහ පොළොවට
භූගත උල්පත් කකියා ලතා මඬුලු ඇහැරෙන කොට
මේකුළු කොපුලෙන් කොපුලට වැහි බීරම මෝරන කොට
සාගරය ම බිව්වත් මදි ආලවන්ත ගහලයකුට.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd