
වැඩබිම සේ ම දඩබිම සැම වෙහෙසින් ය
කඩවුණ පොරොන්දුව ලුහුබැඳ සරමින් ය
ඔරුවට වඩා රුවලට ලොබ බඳිමින් ය
ගොඩබිම පුරා ඔරු පදිනා මිනිසුන් ය
සිතිජය පුරා ඉහිරෙන දේදුනු තීරූ
සිතියම දිගේ මුහුදක සිතුවිලි පීරූ
අඩපණ දනන් ගොදුරට බුදිනට තේරූ
නොගැඹුරු දියේ පිහිනති බිහිසුණු මෝරූ
සාමෙන් සේ ම දැහැමින් ගුණ දහම් පිරූ
ප්‍රේමෙන් උදම් වී මල්සර වරම් දැරූ
මීරන් පතල බැස නාඹර හැඟුම් ගැරූ
මාදැල් එළාගෙන ලතවෙන මහත්තුරූ
බදාගෙන ම ඉකිරියෙකුගෙ සිනා වත
ගිලී මැරෙන සතුටක ලොබ බඳී සිත
රැඳී රැඳී ඉකිලන පපු කුහර මත
නඟී බහී වඩදිය බාදියක තෙත
කණපිට හැරුණ ඔරුවක පණ කලඳ රැකී
කරදිය සේ ම මිරිදිය කඳුළකට නොකී
කඩතොළු හීන දිය යට ගිනි පුළිඟු දකී
ගොඩබිම කියන්නෙ ම මුහුද ම නොවෙද සකී
ගිලෙනා ඇමක ආතල් විඳ විඳ නිතර
බිඳෙනා සුසුදු පෙණ බුබුළක් තුළ අතිර
හිඳිනා කලට කඩදාසිය උඩ වැතිර
දැනෙනා මිහිර කවියක උල්පත මිතුර
සියොළඟ දුලන කොරපොතු සිතුවමක පෙරා
බිකිනිය තෙමා වැගිරෙයි විදුලියක නුරා
හසරැලි ගඟුල සරුවත් වතුරකට පෙරා
දිය කිඳුරියෝ පිහිනති පටු වීදි පුරා
බූවල්ලන් ද අවයව මිරිකන බැවින
පනිනා ඉස්ම ගෙන බෙල්ලන් මුතු බඳින
ඇහිඳින සිප්පු කටු මසුරන් සේ දකින
කෙලවල්ලන් ම උම්බලකඩ වෙයි සොඳින
එළා ගත්ත දැල උඩ සිතිජය නමැද
අනෝතප්ත විල සිහිලස විඳ නොමඳ
බදා ගත්ත සිහිනෙක පතුලට කිමිද
බිලී කොක්ක විතරක් ගිලුණත් මදි ද
නිමක් නොමැති ගමනක අග ඉමක් ම ය
දුමක් කියන්නෙ ම හළු වන දුකක් ම ය
ළැමක් විඳින්නෙ ම ළංවන කෙනෙක් ම ය
පෙමක් කියන්නෙ ම ගිලිනා ඇමක් ම ය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd