
සාරා සංඛ්‍ය කප් ලක්සය පෙරුම් පුරා
සූවිසි සංඛ්‍ය හැඟුමන් හදවතින් පෙරා
ආවා රිදෙන කුර හතර ම ගෙවෙන තුරා
තාමත් ආවෙ නෑ සුන්දර සුපෙම්බරා
හිමයේ ගොසින් සිව් පා කුර ගෙවුණාද
තිබහට වතුර ගෙන ඇළ දොළ ගැලුවාද
සිදුහත් කුමරුගෙන් ලැබ ආදර හාද
හිටියත් නුඹට මං අමතක නෑ නේද
නේරංජනා ඉස්නානේ මනලොල්ලේ
බෝසත් හැඟුම් උතුරා ගඟ වැලපිල්ලේ
නේරංජනා ගඟ බඩ නිල් තණ ගොල්ලේ
හීනෙන් දකිමි කුර සටහන් සුදු වැල්ලේ
රන් යහනේ සැතපෙන කල බිසොවුන්ට
රන් මාලා වැහි වැහැලා යහන පිට
ඉස්තාලේ මං තනියම ලගින කොට
වස්සානේ වැටුණෙ ම උණු කඳුළු කැට
ඇතෙක් බරට ලැබුණත් නෙක අඩුවැඩිය
පුතෙක් වැදූ මවකගෙ කිරි බර වැඩිය
යසෝදරා දන්නව මවකගෙ දිරිය
සතෙක් වුණත් මගෙ මව්කිරි රන් කිරිය
රිදී යහන රන්වන් රන් වියන යට
මැණික් කරඬු පිරුණත් මව් කිරි බරට
ඇසේ රහල් බිලිඳුගෙ කටහඬ ද මට
නිමා නොමැති දුක උරුමය ගෑනුන්ට
නොහිම් පෙමින් බැඳෙමින් බව කතර පුරා
යොදුන් ගණන් ආවෙමු දිවි මඬල සරා
හදින් දරාගෙන ඉමු අපි කඳුළු පෙරා
ඉතින් අපිත් ගෑනු ම නේ යසෝදරා
ආව ගමන සංසාරේ පෙරුම් පුරා
තාම දැනෙන උණුහුම හදවතින් දරා
වානු බැරි ම තැන හැඬුවෙමු කඳුළු පෙරා
ගෑනු අපට දුක උරුම යි යසෝදරා
වෙළඹක දුක අහනා මෙත් සිතින් සැමා
අවසර දුන මැන මහතුනි වෙමින් කමා
පිරිමින් යන කල නිවනට නොවී පමා
අබිනික්මන වින්දෙම ගෑනුන් ම තමා
ඇඟ ලේ මස කිරිකර දුන් ගෑනුන්ට
සිදුවෙනු ඇත බිලිඳුන් හට කිරි දෙන්ට
පිරිමින් යන කල සතුටින් බුදුවෙන්ට
අබිනික්මන මඟ ඇරුණෙ ම ගෑනුන්ට

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd