කවියා , මහගම සේකරය .

හේ සදාකල් පෙම් කළැකි ගැහැනියක සොයමින් සිටියි . 

ඔහු ඉදිරියට එන " රතී " රූමත්ය . 

" ස්වර්ණා " ධනවත්ය .

" ප්‍රඥා " නැණවත්ය .

" කීර්ති " කීර්තිමත්ය .

එතෙකුදු කවියා විසින් මේ සියලුම ගැහැනු ප්‍රතික්ෂේප කරනු ලැබෙයි .

අන්තිමේදී ඔහු ඉදිරියට එන්නී මායාය .

ඕ මෙසේ තෙපළන්නීය .

මගේ නම මායායි 
ඈත අහසේ දිලෙන 
තාරකාවක් ලෙසට 
ඈත මුහුදේ පෙනෙන 
සිතිජයේ ඉම ලෙසට 
කිසි කලෙක කිසිවකුට 
ළඟා විය නොහැකි වන 
කිසි කලෙක කිසිවකුට 
ලබා ගත නොහැකි වන 
මිරිඟු මුහුදින් එපිට 
සිහින ලොව වසන මම 
සිහිනයක් සේ ආමි 
ඔබට ඇල්මක් නැතිද 

එකල්හි කවියා මෙසේ කියයි 

මම ඔබට ආදරෙයි 
මෙතෙක් කල් මා සෙවූ 
එකම ගැහැනිය ඔබයි ..... !

මහගමසේකර නමැති කවියා පහළ වුණේ එකී මායාව තුළය . හෙවත් මිත්‍යාව තුළය .

ඔහුගේ මුල්ම කාව්‍ය කෘතිය වන 
( කේ . ජයතිලකගේ උපමා කතා ද සහිතව එක්ව පළ කළ ) " ව්‍යංගා " හී එන , 
" මායා " නමැති රචනය තුළින් අප දකින්නේ ගුඪවාදී මිථ්‍යාවක හිරවුණු කවියෙකි . 

දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් ඉනික්බිතිව බිහි වූ චංචල සමාජ ක්‍රමය තුළ උපන් බුද්ධිමත්හු , විශේෂයෙන්ම තාගෝර් වැනි දැවැන්තයන් පවා අයත්වන පෙරදිග කවීහු ,  ව්‍යසනයෙන් පලා යන මාර්ගයක් සෙවූහ.

ඔවුන්ගේ රචනා විසින් සත්‍යය වෙනුවට මායාව විෂය කොට ගන්නා ලද්දේ එකී හේතුවෙනි .

මෙම නියාමය මුල් පරපුරේ අපේ නවීන කවීන්ටද පොදු විය .

එහෙත් මහගමසේකර සම්බන්ධයෙන් අපූර්වයක් සිදුවූයේය.

අවශේෂ කවීන් අර මායාව සහ ගුඪවාදී මිත්‍යාව තුළ සිරවෙද්දී , සේකර එකී සිරගෙය බිඳගෙන ඉදිරියට යන්ට වන්නේය .

හෙතෙම මායාව සමීපයෙහි නැවතී බලා සිටියේ නැත .

මහගමසේකරගේ කවියෙහි අපූර්වත්වය එයයි . 

ඔහුගේ කවියෙහි මෙන්ම ජීවන දැක්මෙහි පරිණාමය හෙවත් දෘෂ්ටි පරිණාමයේ කතාන්තරය තුළින් අප දකින්නේ මායාවේ සිට යථාර්ථය දක්වාත් , මිත්‍යාවේ සිට සත්‍ය දක්වාත් ,  තිරසර පියසටහන් තබමින් ගමන් කරන අකම්පිත , අචංචල , නිර්භය , කවියකුගේ දැවැන්ත ප්‍රතිරූපයකි.