"ඔබයි රම්‍ය සඳ කිරණ ගණ අන්ධකාරේ."නන්දා මාලනිය ගැයුවේ අසූව දශකයේ මුල් භාගයේ දී ඇගේ සත්‍යයේ ගීතය නම්  රට වටා ගිය සංගීත වන්දනාවකදීය. 

මට "සත්‍යයේ ගීතය"  විඳින්නට ලැබුණේ ද  අසූ දෙකේදී බව මතකය.අදමෙන් නොව එකල අගනුවර කැලඹූ ගෘහස්ථ සංගීත සංදර්ශනයක් ,එළිමහන් සංගීත සංදර්ශනයක් හෝ වේදිකා නාට්‍යයක් පොලොන්නරුවට එන්නට කල් ගතවූයේ නැත. එය අගනුවර ජය කෙහෙළි බඳින්නා පොලොන්නරුවේ එවකට සිටි රසඥතාවන් ගෙන් පිරි මනසක් සහිත  කණ්ඩායමක් කෙසේ හෝ එය පොලොන්නරුවට ගෙනෙන්නට සමත්වූයේය.

ඒ සියලු කලා සංදර්ශන පොලොන්නරුවට ගෙනෙන්නට සංවිධාකයන්ට ඉහළ පිරිවැයක් දරන්නට වුවද මේ සුවිශේෂි කණ්ඩායම ඊට පසුබෑවේ නැත. එවකට පොලොන්නරුවේ නිත්‍ය ගීත වාදන රඟ දැක්වීමට කෝකටත් තෛලය ලෙසින් තිබුණේම රාජකීය මහ විදුහල්  ප්‍රධාන ශාලාව පමණි.

අද මෙන් ප්‍රවාහන පහසුකම් එතරම් නැති, ත්‍රීරෝද වැනි කුලී රථ සේවා නොතිබූ එදා රාජකීය ශාලාවේ රඟ දැක්වූ සංගීත සංදර්ශනය හෝ වේදිකානාට්‍ය නැරඹීමට  පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හතර වටින් පැමිණිමහ සෙනඟ දර්ශන වාර තුනක්ම හවුස් ෆුල්  කලා මට මතකය.

පොලොන්නරුවේ හතර දිග් භාගයේ රසිකයෝ මහ රාත්‍රීයේ පොල් පැටවූවාක් මෙන් සිරවුණු  බස්වල එල්ලී  රඟහල වෙත ආවෝය. 

නන්දාවන් ගැයූ  "ප්‍රේමය නම්  සඳ එළිය සේ පාරිශුද්ධයි සුරම්‍යයි "
අසන්නට  ඉතා සංවර හා නිර්මල හදැති ප්‍රේමයක් තිබූ ප්‍රේමවන්‍තයෝ ශාලාවේ  ගෞරවණීය ලෙස අසුන්ගෙන එය රස වින්දෝය.

"මා හඬනා කඳුළු ගලා සැදුණු කඳුළු සාගරේ  
ඔබ ඇය හා ඔරු පැද පැද 
සිනාසුනේ ඇයි.."

මැයෙන්  ඈ ගයද්දී  කිසියම් පිපිරුමක් නිසා හද දැදුරුව උන් පතිනියක තනිව විත් මේ ගී සමුච්චිය වින්දේ කාටත් හොර රහසේ නෙතේ කඳුළු පිස දමමිනි.

ඉඳහිටෙක කුඩා දිදාලයක තරම් මත්පැන් වීදුරුවක් තොලගෑ  සැමියකුගේ රාත්‍රී ආරාධනාවක් ප්‍රතික්ෂේප කළ පතිනයක් ඔහුගෙන් එල්ල වු ගුටිබැට කඳුළකින් දරා නින්දට වැටෙන්නීය.

එහෙත් පසුදා පහන් වූ විගස එය අමතක කළඋන් දෙදෙනාම  දවසේ මෙහෙය නිමකොට අත්වැල් අල්ලාගෙන "සත්‍යයේ ගීතය "රාත්‍රී දර්ශනයක් බලන්නට ගියෝය.

ඉදින් සුදුවත හැඳි කත වේදිකාවේ සිට 

" පෙම්  ලොවදී දුටු ඔහුමද මේ
 ඔහුටද මා අන්ධ වුණේ
යව්වනයේ දුටු ඔහුමද මේ
 ඔහුටද මා අන්ධ වුණේ..

ගයද්දී සැමියා පෙරදා රාත්‍රියේ තම මුෂ්ටි ප්‍රහාරය සිහිපත්ව රතුව ඇති බිරිඳගේ කපොල දෙස නොබලා බිම බලාගන්නේ වධ දෙන හෘදය සාක්කියෙන්  මිදෙණු සඳහාය.  එය වටහා ගන්නා  බිරිඳද  ඔහුගේ සුරතකින් තරයේ අල්ලා ගන්නේ තමන් එය අමතක කළ බව සෙනෙහසින් ඉඟිකරමිනි.

මේ අතරේ ශාලාවේ කෙළවරක  තනිව අසුන් ගෙන නන්දාවන් ගේ ගී විඳින පතිගෙය කැණි මඬල බිඳුණු බිරිඳක විදුලිය නිවූ අඳුරු ශාලාවේ ඇති තරම් කඳුළු සලන්නේ..

" බිරිඳ මගේ නුඹ
නෑ මා ඔබගේ බිරිඳ නොවේ 
දෑඟිලි හුයකින් බැඳි පමණින් මා
 ඔබගේ බිරිඳ නොවේ.." 

ඇසෙද්දීය.

පස්වරු 1.30 පසල නිමවූ පසු රාජකීයේ සහ අසල්වැසි විද්‍යලවලිනුත් දරු දැරියෝ පාසල් දර්ශනය නරඹන්නට ශාලාවේ පොර බඳිති.
දැහැනට සමව සත්‍යයේ ගීතය විඳින ඔවුහු අතරින්  දැරියෝ ගණනාවක්ම යෙහෙළියන්ට හොර රහසේද තවෙකියක යෙහෙළියන් උරහිසේ මුහුන හොවාගෙන ද   කඳුළු සලන්නේ නන්දාමාලිනිය," බුදු තාත්තෙ බොන්න එපා..." යි ගයද්දීය.

සත්‍යයේ ගීතය සංගීත සන්ධ්‍යාවේ මිහිර විඳින්නට යන වකවානුව වෙද්දි මම 22 හැවිරිදි වියේ විය. 

නන්දාවෝගේ ගී රස මා මුලින්ම වැළඳගන්නා විට මට වයස අවුරුදු පහක් තරම් ඇත. නිවසේ සාලයේ මහා උස් තැනක වඩා හිඳුවණු ලැබූ එවකට සෝනි හෝ යුනික් වර්ගයේ ට්‍රාන්ස්සිස්ටර්  වර්ගයේ රේඩියෝව  ඇසෙන ආසන්නයේ  එරමිණිය  ගොතාගෙන වාඩිවෙන මම  සවනින් නොව මුවද මදක් අයාගෙන අසන්නේය.

" මල් කියන්නෙ කාට කාට ළමයින්ටයි පාට පාට
පෙළක් ළමයි සුවඳ ගොඩයි 
පෙළක් ළමයි හරිම හැඩයි 
පාසල මේ ළමයින්ගේ පොළොව යටයි නොපෙන්නේ..."

එහි අරුත හරි හැටි තේරෙන්නට මට තවත් වසර පහක් පමණ ගෙවෙන්නට ඇත. ඒ එකල ගුවන් විදුලියෙන් සවස ප්‍රචාරය  වූ ළමා මණ්ඩපය වැඩ සටහනේ  තේමා ගීතය විය.

" නන්දක්කා සුදුපාට යැයි " නන්දාවන් ට සමුදෙන්නට පැමිණි  මොහොතේ  එතුමිය ගැන තමන්ගෙන් විමසූ මාධ්‍යවේදින් ට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ  ගී පද රචක,ගත්කතුවරයෙකු මෙන්ම සන්නිවේදකයකුද වන සමන් ආතාවුදයෝද මල් කියන්නෙ කාට කාට තේමාවෙන් ඇරැඹි    ළමා මණ්ඩපයේ ළමා නිවේදකයෙක් වූහ.එවක  කොළඹ පොළොන්නරුව    අහස්ගව් දුරක් වූ කුඩා අපට ගී පෝෂණය කතන්දර හා මුළු ලෝකයම අතැඹුලක් කළේ නන්දාවෝ ගයද්දි එතුමිය හෙවණේ  මගේ වියේ කුඩා දරුවන් වූ සමන්ලා, නිරංජලාලා,  ලංකා රාජිණිලා, ඇතුළු   මේ සුන්දර  පරපුරය. 
කොළඹ බොහෝ දුර වුවද  ගුවන් විදුලියෙන් අප තම වසඟයට ගත්  නන්දාවන් ප්‍රමුඛ ( මෙහි නම් නොලියැවුණු තව මහා පිරිසක් උන්නෝය ) ඒ කණ්ඩායම  ඈත ගම්වල උන් අප මහා ශාන්තියකින් සමාධිගත කොට ගීතයෙන් රංගනයෙන් අනෙකුත් කලා කුසලතාවයන් ගෙන් හා දැනුමෙන් පෝෂණය  කළ ගෞරවනීය මතකයට  ගෙනෙමි.
 ළමා වියත් යොවුන් වියත් අතර අප  ඒ මේ අත හැප්පෙද්දී යළිත් නන්දාවන් ගේ හඬ අප ට ප්‍රේහේලිකාවක් ගෙනෙමින් ගැයීය.

" සකුරා මල් පිපිලා හරි පුදුමයි 
ගේ දොරකඩ නිල්වන පියසේ,
නිදිමත නැතිවී  හිරුපායා ඇත 
 මහ රෑ යාමේ "

එය අපූරු සිහිනයකි.  ඒද  එතුමිය ගැයුවේ ගැටවර අපටය.

යොවුන් විය  සපැමිණ  කෙල්ලන්  අප කන අසලින් කුඩා කෙහෙ රොදක් ඇද අම්මාට හොරෙන් එහි අග්ගිස්ස කපා කොම්බු හැඩයට  කම්මුලේ අලවා තැබෙන කාලයේදි යළිත්  නන්දා මාලිනිය  අප හදවත  සිනුඳුවට පීරී ගෑවාය.

" ගලන ගඟකි ජීවිතේ දයාලූ ලෝකයේ.. මිහිර පතා ආදරේ ළපලු නටයි ගංතෙරේ.."

මම යාන්තම් දණ ගානා වියේදි එතුමිය එය ගයා ඇත්තේ  1962 රන්මුතුදූව චිත්‍රපටයටය. එහෙත් මට ඒ ගීතය හදවතට දැනුණේ  මට වයස අවුරුදු දාසයේදි තරමය.
  "  රුක් අත්‍තන මල මුදුනේ බඹරු නටන හැන්දෑවේ.. කවුරුද එන්නේ.. නන්දාවෝ ගයද්දි කුඹුරේ කමතේ වෙහෙසෙව ගෙට එන පියතුමන් ගැන මගේ හදවතේ උපන්  ආදරය වඩා තදින් බැඳ තැබුවේ   එහෙමය.

පසුකලෙක  " බුදු තාත්තෙ බොන්න එපා ගයද්දී මගේ සියොලඟ හිරිවැටී දෑස් කඳුළින් පිරී ගියේ එක්තරා කාලයේදි මගේ පියා තරමක මත්ලෝලියෙක්ව සිටි කාලවකවානුවදීය.

මගේ හදවතේ ප්‍රේමය යම්තරමින් තට්ටු කරනා අවදියක "  මුළු නුවරම නිදිගත් මේ මොහොතේ ඔබ පමණක් අවදිව ඇත යහනේ..යි ඇය ගැයුවාය.

විවා ජීවිතවලට ඇතුළත්ව බොහෝ බර කරින් ඇදයන යුගයක මට නන්දාවන්ගේ ගීතය ඇසුණේ කුටුම්බයක බර සැහැල්ලු කරමිනි.

." කරදර පොදිබැඳ ගැලපිට පටවා කරුමයෙ කලුගොනු පෙරටුව බැඳගෙන මේ ජීවන මඟ අප යනවා..." 

සත්‍යයේ ගීතය රට පුරා ඇවිත්දී මගේ වියේ අය බහුතරයක් පෙම්වතියෝය.  බිඳුණු පෙම්වතියන්ට,  මුෂ්ටි ප්‍රහාර කෑ බිරියන්ට  ඈ ගැයුවේ නන්දා මාලනී ගෝකුල නාමයෙනි .

එදත් අද තරම් නොවුණත් ජනප්‍රිය කලාකරුවන්ගේ පෞද්ගලික ජීවිතය ගැන ඕපාදූප පත්තර කඩදාසි තුළ ගුලිවී රට පුරා දිව ගියේය. එතුමියගේ සැමියා වූ  සුනෙත් ගෝකුල හා  නන්දා මාලිනිය අතර වූ  බිඳුණු  කුලගෙය ගැන අපිට ඉඟි කළේම  ඇගේ ගී තුළ වූ පද රචනාවන්ගෙනි. 

රෝස කුසුමක් පිපේවී
 සොහොන් බිම මා වළ දැමු තැන
 ජීවිතේ කිසිදාක මෙලොවින්
 ආදරේ දිය බිඳක් නොලැබූ
 ගැහැනියක පෙර දවස විසු වග
 පිපුණු ඒ මල කියාවි...........මම එකල ඇදහූයේ එතුමිය මේ ගීය ගායනා කළේම  ඇගේ බිඳුණු හද සන්තානයෙන්ම යැයි කියාය.

 .මල් මල් හීනය හීතල උදයේ පැල්පත් මීදුම් මැද රැඳිලා
නිල්වන් අහසේ පින්බර යුගයක රන්වන් රන්වන් හිරු නැඟිලා .. මට ඇසුණු වසර අමතක වුණත්  ඒද පාසලට හෝ සේවයට යන්නට අසීරුවෙන් පිබිදෙන  උදෑසන  ඇසුණු ගීතයකි. 

1982 යස ඉසුරු චිත්‍රපටයට එතුමිය ගැයූ අම්මාවරුනේ අම්මාවරුනේ සම්මා සම්බුදු අම්මාවරුනේ.. දරුවන්ගේ දුක් කඳුළු දකිනදා සුරලොව සිට අතපා ඒ කඳුළැලි පිසිනා.... ගීතය ඇසෙද්දි අදත් මට  දරා ගත නුහුණු මහා සංවේගයකින් නෙත්පුරා කඳුළැලි උන්නන්නේ ඒ තරමටම නන්දාවෝ මේ මුළු රටේම දියණිවරුන්ගේ හදවතට  මවක් වී ගයනා කළ නිසාවෙනි.

88- 89 බිහිසුණු යුගයේ   අපි අපටද හිමි නැති යුගයක් පසු කරමින් සිටියෙමු.
එතෙක් රස විඳි ගීය,නවකතාව,චිත්‍රපට ,වේදිකා නාට්‍ය  අප වෙතින් ගිලිහිණ.

බොහෝ දුෂ්කර වකවානුවකට පසු  උතුරේද දකුණේද  රික්තකයක් ව ගොස් ගී රස මෙන්ම කලා විඳි මහා  පිරිසක් මිහිමත වැතිර දැඩි  නිශ්ශබ්දතාවට ,නිද්‍රාවට පත්වූහ.  

අපි ජීවිත තරගවල ඔහේ හැපි හැපී වැටි වැටී  දිව ගියෙමු.

යළිත් මට නන්දාවන්ගේ ප්‍රේමයේ ගී හඬ ඇසුණේ  තරමක විනෝදාත්මක ස්වරූපයෙනි
" සාරි ඉරල ජනෙල්වලට දමමු රත්තරං.." කුමක් හෝ නිසාවෙන් මගේ සවන නන්දාවන්ගේ ඒ ගී රස උකහා ගත්තේ නැත.

අවසානයේදි මගේ දිවියේ අඩ සියවසත් සපුරද්දී මට වඩා දශක දෙකකින් පමණ ජ්‍යෙෂ්ඨ එතුමිය යළිදු මට එදා මෙන්ම අදද ප්‍රේමය විපත්ව නොවන බව ඇඟවූයේ

" අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි
මේ විශ්වයේ මා දකින්නේ
ඔබම පමණයි.................... ගයමිනි.

 නන්දා මාලනී නම් වූ  නම් හෙළ ගී කලාවේ  මාතාවනි  ඔව් , 
අහස සේ ඔබ අනන්තයි.