
“හංසයින්ටත් මං ආසයි”, “වීරයා මැරිලා”, “ආපහු හැරෙන්න බෑ”, “ආදර වස්තුව”, “හිතලා ගත්තු තීරණයක්”, “මට වෙඩි තියන්න”, “සිහින හොරු අරන්”, “බකමූණා වීදි බසියි”, “නැතුව බැරි මිනිහෙක්”, “2019 ජූලි මාසෙ දවසක්” වැනි නාට්‍ය තුළින් ප්‍රේක්ෂක, විචාරක අවධානය දිනාගත් ප්‍රවීණ නාට්‍යවේදී රාජිත දිසානායකගේ නවතම නාට්‍ය නිර්මාණය, “අපේ ගෙදර ගිනි තියයිද” යන්න ය. මේ ඔහු සමඟින් කළ කතා බහක් අසුරින් සැකසුණු ලිපියකි.
ඔබ වේදිකාව සමඟ ඇති කරගත් බැඳීම පිළිබඳ කාරණාවන් සිහිපත් කළොත්?
මම හලාවත ශාන්ත මරියා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරුවා. ඒ කාලේ ඉඳලම නාට්‍යවලට ලොකු ලැදියාවක් තිබුණා. පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ අධ්‍යාපන කටයුතු කරද්දි “සක්වා දහවල” නාට්‍ය නිර්මාණය කර, 1995 දී ලයනල් වෙන්ඩ්ට් රඟහලේ වේදිකා ගත කළා. ඒ කාලේ ඉඳලා දිගටම ලියනවා. ජීවිතේ අත්විඳින කාරණා අත්දැකීම් මනුෂ්‍ය සම්බන්ධතා ආදිය ගැන. අපි ජීවත්වෙන සමාජයේ මීට වඩා යහපත් ජීවිතයක් ඇති කර ගන්න, ජීවිතය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න කලාවෙන් පුළුවන්. අපේ ජීවිත තීරණය කරන සමහර කාරණා වෙනස් කර ගැනීමටත්, මනුෂ්‍ය සමාජය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත්, කලාව පරිශීලනය කිරීමෙන් කලා කෘති රස විඳීමෙන් ඉඩ ලැබෙනවා. කලා රසිකයෙක් විදිහට කලාව රස විඳිමින් මනුෂ්‍යයෙක් විදිහට ලබන අත්දැකීම් තවත් අය එක්ක බෙදාගන්න නිර්මාණකරණයේ යෙදෙනවා. මට දැනෙන හැඟීම් මගේ සිතුවිලි මට දැනෙන ආකාරයට මම නිර්මාණය කරනවා.
ඔබ නිර්මාණය කළ සියලුම නාට්‍ය අපේ සමාජයට හා ජීවිතයට බද්ධව නිර්මාණය වූ ඒවාද?
හැම නාට්‍යයක්ම සමකාලීන ජීවිතය හා සමාජය පිළිබඳ සමාජයේ ජීවත්වෙන මනුෂ්‍යයන්ගේ සිතුවිලි හා අත්දැකීම් පිළිබිඹු කරනවා. ඒ ඒ අවදිවල අපි ගත කරපු ජීවිතය තමයි ඒ නාට්‍යවලින් කතා කළේ. “හංසයින්ටත් මං ආසයි” වැනි සමහර නාට්‍යවලින් ප්‍රේමය පිළිබඳ කතා කළා. “වීරයා මැරිලා”, “ආපහු හැරෙන්න බෑ” වැනි නාට්‍යවලින් මේ සමාජයට මාධ්‍ය විසින් තොරතුරු සැඟවීම හා මාධ්‍ය අපේ ජීවිතවලට කරන බලපෑම ගැන කතා කරල තියෙනවා. බලය පිළිබඳ කාරණාවලදි අපි හැසිරෙන විදිහ, ස්ත්‍රී පුරුෂ සබඳතා ආදිය ගැනත් සාකච්ඡා කළා. ජාතිවාදී හැඟීම් හා බලය අත්පත් කර ගැනීමේ යෙදෙන අවස්ථා, සැකය නිසා මිනිසුන් විනිශ්චය කරන විදිහ ආදිය කාරණා මගෙ නාට්‍ය ඇතුළෙ දකින්න පුළුවන්. දේශපාලනය කියන කාරණයට වඩා මනුෂ්‍ය සබඳතා එක්ක කතා දිග හැරෙන කොට ඒවා හැඟවෙන කාරණා විදිහටත් දේශපාලන අර්ථ මතුවෙන අවස්ථා සමහර නාට්‍යවල තියෙනවා. “නැතුව බැරි මිනිහෙක්” නාට්‍ය 2015 මැද භාගයේ ලංකාවෙ ඇතුළෙ තිබුණු බලය කියන කාරණාවත් එක්ක ආණ්ඩු බලය ක්‍රියාත්මක කරන්න දායක වන සමහර අය ආණ්ඩු බලය නැතිවෙන කොට බලය එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියන කාරණය කතා කරනවා. ඒ වගේම අහිමි වූ මාතෘ සෙනෙහස සොයන ජාතිවාදි පියෙකුගේ දුවක් මෙන්ම දෙමළ ජාතික තරුණයෙක් ඒ නාට්‍යයේ අපට හමුවෙනවා. අහිමි වූ බලය සහ ආදරය සොයන්නට උත්සාහ කරන පිරිසකගේ කතාවක් ඒ තුළ තියෙනවා. යටිපෙළ අර්ථ තියෙනවා මතුපිටින් කතා කරන දේශපාලන කාරණාවලට අමතරව. මම ජීවිතය දකින ආකාරය සමාජය පිළිබඳ මා තුළ තියෙන අත්දැකීම් ඒ ඒ චරිත හා සිදුවීම් ඔස්සේ ගලාගෙන යනවා. ඒ හරහා කිසියම් සිතීමක් රසිකයා, ප්‍රේක්ෂකයා තුළ ඇති කිරීම මගේ බලාපොරොත්තුව. ඒ තුළින් අපේ මිනිස් සබඳතා පොහොසත් කරගන්න, සකස් කරන්න උදව් වෙනවා කියල මම හිතනවා. මගෙ හැම නාට්‍යයකම සාකච්ඡා වෙන්නේ සමකාලීන අපේ සමාජය හා ජීවිතයයි. එය නොතකා හැර අපට කිසිදු නිර්මාණයක් කරන්න බැහැ. මනුෂ්‍ය ජීවිතය තරම් තවත් වැදගත් දෙයක් නිර්මාණකරුවකුට නැහැ.
වර්තමානයේ නිෂ්පාදනය වන නාට්‍ය නිර්මාණ අතර සමස්ත අර්ථය ඉක්මවා ගොස් අනෙකුත් අංග ඉස්මතු වී පෙනෙන ස්වභාවයක් තියෙනවා ද?
විවිධ නිර්මාණකරුවෝ විවිධාකාරයට තම නිර්මාණ මාදිලි භාවිතයට ගන්නවා. එහිදී සමහර ඒවා සරල, සැහැල්ලු, බොළඳ කාරණා විදිහට අපට පේන්න පුළුවන්. සමහරවිට අධි රංගයක් කියලා හිතෙන අවස්ථාත් තියෙනවා. තමන්ගේ නැණ නුවණ පරිදි රස වින්දනය කරනවා. බොළඳ හරසුන් නිර්මාණ කවදත් තිබුණා. ඒවා නරඹන්න සැලකිය යුතු පිරිසක් ඉන්නවා. රසවින්දනය වැඩි දියුණු කරන්න අවශ්‍ය කරන අධ්‍යාපනය ඇතුළු විවිධ දේවල්වලින් අපි තවමත් පරිපූර්ණ වෙලා නැහැ. ඒ ගැන අපි කනස්සල්ලට පත්වෙන්න ඕනෑ. ලංකාවේ තත්වය එහෙම තමයි. නමුත් හංසයා කිරි දියෙන් වෙන් කර ගන්නවා වගේ කලාත්මක ගුණයෙන් පොහොසත් නිර්මාණ නරඹන්න පුළුවන් ප්‍රේක්ෂක සමූහයක් ඉන්නවා. නිර්මාණකරුවෝ විවිධ වගේම ප්‍රේක්ෂකාගාරයත් විවිධයි. ඒක නිසා එකම විදිහෙ ඒවා පවතින්න ඕනැ නැහැ. ඒක එහෙම වුණත් කුමන හෝ නිර්මාණයකින් මිනිස්සු ක්ෂණිකව කුලප්පු කරලා, කිති කවලා, හිනා ගස්සවලා බොළඳ රසිකත්වයක් ඇති කරනවාට වඩා යම් සිතීමක් හාස්‍යජනක නාට්‍යයකින් හෝ ඇති කරන්න පුළුවන් නම් හොඳයි. එහෙම නොවන ඒවත් බලන්න කැමත්තෙන් ඉන්නවා නම් ඒක ඒ අයගෙ සතුට නිසා අපට මොකුත් කියන්න බැහැ.
මෑත කාලයේ නාට්‍ය ප්‍රේක්ෂකාගාරයේ වර්ධනයක් දකින්න පුළුවන්ද?
තරමක් සැලකිය යුතු ප්‍රේක්ෂක සහභාගිත්වයක් තියෙනවා. රටේ ආර්ථික තත්වය මත ඒවා සීමා කරන්නත් සිදුවේවි. ආර්ථිකය විසින් ඇති කරන බලපෑම නාට්‍ය කලාවටත් අදාළයි. තවදුරටත් අත්නොහැර කලාත්මක භාවය වර්ධනය කරගෙන නාට්‍ය කලාවේ නිරතවීම අභියෝගයක්. ඒක ජයගන්න උත්සාහ කරන පිරිසක් ඉන්නවා. ඒක අපිට සතුටක් අපි අපේ ජීවිත කාලය පුරාවටම විවිධ අසීරු කාලවකවානු පහුකළා. 88 – 89 කාලේ අපේ රටේ විශාල රාජ්‍ය මර්දනයක් ක්‍රියාත්මක වුණා. ඒ අතරම යුද්ධයත් එක්ක බෝම්බ පිපිරුණු කාලේ විශාල මරණ සංඛ්‍යාවක් සිදුවුණා. සුනාමි ව්‍යසනයත් ඒ වගේමයි. ඒ අපි සමාජයක් විදිහට තිගැස්සුණු අවස්ථා දේශපාලන අවස්ථාවර තත්වයන් වැනි දේවල් ද රටක් සමාජයක් විදිහට ඒ හැම අවස්ථාවකම අපිට මුහුණ දෙන්න වෙනවා. අනිත් ක්ෂේත්‍ර වගේම නාට්‍යවලටත් ඒ බලපෑම් එනවා. ඒත් ඒ හැමදේකදිම අපි නාට්‍යය කළා. කොවිඩ් වැනි තත්වයන්ටත් අපි මුහුණ දීලා නාට්‍ය කලාවේ නිරත වෙලා ඉන්නවා. ඒ වගේම මේ සජීවි සාමූහික කලාව රස විඳින්න කැමති ප්‍රේක්ෂකයෝ ඉන්නවා. ඔවුන් නාට්‍ය කලාවේ පැවැත්මට විශාල හයියක් වෙනවා. මොන බාධක ආවත් ඔවුන් නාට්‍ය කලාව අත්නොහැර ඉන්න එක සතුටට කරුණක්. ඒ නිසා මේ කලාව වර්ධනය වෙමින් තවදුරටත් ඉදිරියට යනවා.
“අපේ ගෙදර ගිනි තියයිද” ඔබේ නවතම නාට්‍ය නිර්මාණය පිළිබඳව සඳහන් කළොත්?
කෙනෙකුට හෝ සමූහයකට ගෙයක් ගිනි තියන්න පුළුවන්. ඒ වගේම වහලෙයි බිත්තියි හොඳට තියෙද්දිත් ගෙවල් ගිනි ගන්නවා. මේ දෙවිදියටම ගිනි ගත්ත ගෙවල් දෙකක් පවුල් දෙකක් අපිට මුණ ගැහෙනවා. කන්‍යාරාම නේවාසිකාගාරයක අධ්‍යාපනය ලබපු මිතුරියන් පිරිසක් කාලෙකට පස්සෙ හමුවෙලා ඉන්න අවස්ථාවක ඔවුන්ට අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දෙන්න වෙනවා. ඒ ඔස්සේ අපට ජීවිතය, ආදරය, පලිගැනීම, ද්‍රෝහිවීම, මිතුදම වගේ කාරණාවලදි මනුෂ්‍ය ස්වභාවයේ මතුවන හැසිරීම හා සමාජ මාධ්‍ය හරහා බෙදා හරින සමාජ වෛරය දිග හැරීම ආදි කාරණා ද මේ තුළින් කතාබහ කරනවා. පසුගිය කාලේ අපේ ජීවිත අත්දැකීම් ඇසුරින් රංගයක් විදිහට ගොඩනඟලා පෙරකී කාරණා පිළිබඳ මනුෂ්‍යයන්ට සිතීමක් ඇති කරවන්න අපි උත්සාහ ගත්තා.
මුල් වතාවට කාන්තා චරිත වැඩි ප්‍රමාණයක් මගේ නාට්‍යයකදි භාවිත වුණේ “අපේ ගෙදර ගිනි තියයිද” නාට්‍ය සඳහා. රචකයෙක් විදිහට ඒක මට විශේෂයි. මේ නාට්‍ය අපි දීර්ඝ කාලයක් පුහුණුවීම් කරමින් පරිපූර්ණ රංගයක් ගොඩනඟන්න ගුණාත්මක තත්වයෙන් ප්‍රේක්ෂකයා අතරට ගෙනියන්න උත්සාහ කරනවා. ඒ සඳහා කැපවුණු පිිරිසක් එක්ක කටයුතු කරන්න ලැබීම සතුටක්. ජයනි සේනානායක, ප්‍රසාද් සූරියආරච්චි, අමා විජේසේකර, බිම්සරා ප්‍රේමරත්න, යශෝධා රසඳුනි, ප්‍රදීප් අරූගම, තරුෂ කුමාරසිංහ රංගනයෙන් දායක වෙනවා. ඔබත් “අපේ ගෙදර ගිනි තියයිද” කියලා හිත හිත ඉන්නෙ නැතුව නාට්‍ය බලන්න එන්න. ජුනි 27 වැනිදා සවස 3.30ට හෝ 7.00ට නාමෙල් මාලිනී පුංචි තියටර් එකට.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd